ක‍ටුගෙට සිරා වැඩක් දෙන්න පුළුවන් | දිනමිණ

ක‍ටුගෙට සිරා වැඩක් දෙන්න පුළුවන්

තම හැකියා හොඳින් හඳුනන ජූඩෝ මාස්ටර්ට අයත් බැද්දගාන පිහිටි සමාජශාලවට සේවයට යන ප්‍රියන්ත මේදිස් නොහොත් බලඔළුවාට එහිදී ‘බැද්දගාන සංජීව‘ නම් කලක පාතාල ලෝකයේ නායකයකු ලෙස නමක් දිනාගෙන සිටි පුද්ගලයා හමුවෙයි. එකී දැන හැඳුනුම්කම් මත ඔහු පසු කලෙක සංජීවගේ කණ්ඩායමට එකතුවෙයි. එහිදී පාතාල ගැටුම් මෙන්ම හිතවත්කම්ද මත තවත් පාතාල නායකයකුවූ නාවල නිහාල් හඳුනාගැනීමට ඉඩකඩ ලැබෙයි. ඒ නිසාම සංජීවගේ ඝාතනයෙන් පසුව කංගැට්ටා නාවල නිහාල්ගේ ගෝලයකු ලෙස ඔහුගේ නි‍ෙවසේම රැඳී සිටියේය. එකල නාවල නිහාල්ගේ මත්කුඩු ජාවාරමේ කුඩු ප්‍රවාහන කටයුතු බොහෝවිට සිදුකෙරුණේ ප්‍රියන්ත මේදිස් නොහොත් බලඔළුවාගේ සම්බන්ධීකරණය ඔස්සේය.

නාවල නිහාල්-කළු අජිත් ගැටුම ඇතිවන කාලයේ කළු අජිත් පාර්ශ්වයට සමීපව කෙටි කලක් එතැන රැඳී සිටීමට කංගැට්ටා කල්පනා කරයි. එහෙත් දෙපාර්ශ්වය එකිනෙකා ඝාතනය කර ගනිමින් තම තමන් පාතාලය තුළ බලය රැකගැනීමට අරගල කරද්දී ජීවිත අවදානමත්, අනවශ්‍ය ගැටුමක කොටස්කාරයකුවීමට පවත්නා අකමැත්තත් නිසාත් කළු අජිත්ගෙන් වෙන්ව තනිව හැකි පරිදි සොරකමක්, මංකොල්ලයක් කරගනිමින් ජීවත්වීමට තීරණය කරයි. ඒ අනුව ඔහු බස් රථවල, දුර ගමන් දුම්රියවල මගීන්ගෙ රන් මාල, බ්‍රේස්ලට්, මුදු ආදිය කොල්ලකෑම ආරම්භ කරයි. තමන් ප්‍රගුණ කර ඇති ජිම්නාස්ටික් හා ජූඩෝ සටන්කලාවන්හි නිපුණතා එහිදී සාර්ථකව අත්හදා බලයි. විශේෂයෙන්ම දුම්රියේ වේග සීමා කෙරෙහි සැලකිල්ලක් දක්වමින් ධාවනය වෙමින් පවත්නා දුම්රියෙන් අනතුරක් නොවන පරිදි පැනයන්නට ඔහු මෙම ක්‍රමෝපායන් හා පුහුණුව භාවිත කර තිබේ.

දුර ගමන් දුම්රියවල ගමනාන්තය දක්වා ප්‍රවේශපත්‍ර ලබාගෙන රත්‍රන් පැලඳ සිටින අයවලුන් අසලින් හිඳ ඔවුන් දැන හඳුනා හිතවත්වීම කංගැට්ටාගේ පළමු උපක්‍රමයයි. තමන් ගෙන යන බෑගයේ සිසිල් බීම, බ්‍රිස්කට්, සුළු ආහාර විශේෂ අසල්වැසි අය සමග බෙදාහදා ගැනීමට ඔහු කැමැත්තක් දක්වයි. ටික දුරකින් කල්තියා සූදානම් කර පවත්නා මත්කුඩු වලට දැඩිව ඇබ්බැහිවූවන්ට නින්දයාම සඳහා ලබාදෙන ඖෂධ කුඩු ගල්වන ලද ආහාර හා ඒවා දියකරන ලද සිසිල්බීම ඔවුන්ට ලබාදී ඔවුන්ට නින්ද ගිය පසු, ගමන් වෙහෙස නිසාම අසල්වැසි අයගේ අවධානයද අවමවූ අවස්ථාවක ඔවුන්ගේ ස්වර්ණාභරණ, මුදල් පසුම්බිවලට විද ධාවනය වන දුම්රියෙන් උපක්‍රමිකව පැනයාමට ඔහු සමත්කම් දක්වා තිබේ.

දුම්රියේ දුරගමන් යෙදෙන මැද පංතියේ අයවලුන් කෙරෙහි මෙන්ම විදේශිකයින් කෙරෙහිද මොහු විශේෂ අවධානයක් දක්වා තිබේ. යම් තාක් දුරට ජර්මන් භාෂාවද හැසිරවිය හැකි බැවින් ජර්මන් විදේශකයෙකු හමුවුවහොත් මොහුගෙන් බේරීයාම ඉතාම දුෂ්කරය. තමන්ගේ භාෂාව කතා කරන මෙවන් රටක සාමාන්‍ය පුද්ගලයෙකු දුටුවිට නිරායාසයෙන්ම ඔවුන් මොහු කෙරෙහි ආකර්ෂණය වී මොහු කෙරෙහි විශ්වාසය තැබීම ඊට හේතුවයි. මෙවන් විදේශිකයන් කෙරෙහි ඇස ගසා සිටින කංගැට්ටා අත්දැකීම්වලින්ම උගත් බොහෝ දේ මෙහිදී ප්‍රයෝජනයට ගනියි.

විදේශීය සංචාරකයින් දුරගමන් යද්දී තමන් ගෙන යන බැක්පැක් හෝ විශාල ට්‍රැවලින් බෑගයකට අමතරව කුඩා බෑගයක් ගෙනයාමට කැමැත්තක් දන්වන අතර කැමරා බෑගයකට අමතරව එවන් බෑගයක් ඇත්නම් එහි බොහෝවිට පවත්නේ මුදල් හෝ වෙනත් වටිනාකියන උපකරණය. එවන් බෑගයක් නිතර නිතර ස්පර්ශ කරන්නේනම්, නිතර වැඩි අවධානයක් යොමුකරන්නේනම් එය අනිවාර්යයෙන්ම සැලකිය යුතු මුදලක් පවත්නේ යයි කංගැට්ටා විශ්වාස කරයි. එවන් විදේශිකයින් කොළඹ සිට දකුණට යන අවස්ථාවලදී කළුතර ප්‍රදේශය පසුවනවාත් සමග තමන් සතු වටිනාකියන දේට වඩා මුහුදු වෙරළේ ඡායාරූප ගැනීමටත්, අවට සිරි නැරඹීමටත් වැඩි අවධානයක් යොමුකරයි. එවන් අවස්ථාවක වහාම ක්‍රියාත්මකවී තම අරමුණ ඉටුකරගන්නා කංගැට්ටා දුම්රිය ස්ථානයකට මෙපිටදී ධාවනයවෙමින් පවත්නා දුම්රියෙන් පැනයයි. මුහුද ආශ්‍රිත මෙම ප්‍රදේශවල කෙටි මංමාවත්, ත්‍රී රෝද නැවතුම්පළ, මාර්ග හොඳින් දන්නා නිසා ඔහුට තම කාරිය පහසුවෙන් කරගැනීමට හැකියාව ලැබෙයි.

“එහෙම ගේම් කීයක් විතර දෙන්න ඇතිද? විමර්ශන නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කරද්දී විමසා තිබේ.

“ගාණක් කියන්න බෑ සර්. කීපයක්ම දුන්නා. පළවෙනි එක මාර සාර්ථක වුණා“ කංගැට්ටා කියයි.

“ඒ ඇයි.?

“ඒ බෑග් එකේ සල්ලි මෙහේ රුපියල් වලට දැම්මම ලක්ෂ හැට හයක් තිබ්බා. මං සෑහෙන කාලයක් ඒ සල්ලිවලින් ආතල් එකේ හිටියා“

ප්‍රියන්ත මේදිස් නොහොත් කංගැට්ටා එවන් සුපිරි පන්නයේ මංකොල්ලයක් හෝ සොරකමක් කළ පසු එම මුදලින් රට පුරා ඇවිදිමින්, සුපිරි හෝටල්වල නවාතැන් ගනිමින්, සුඛෝපබෝගී ආහාරපාන හා මත්කුඩු වලින් සප්පායම්වී, මුදලට ලිංගික සතුට ලබමින් කුමාර ජීවිතයක් ගතකරයි. එම මුදල් සම්පූර්ණයෙන්ම වියදම් වූ පසු යළි අලුත් කුමක් හෝ අවැඩකට සැලසුම් දියත් කරයි. මේ අයුරින්ම 2010-11 කාලයේ රත්‍රන් මාල කැඩීමේ චෝදනාවකට අදාළව අත්අඩංගුව පත්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු චෝදනා ඔප්පුවී බන්ධනාගාරයට නියමවිය. ඒ අනුරාධපුර බන්ධනාගාරයටය. මෝටර් කාර්මික හා තාක්ෂණික දැනුමත්, වෙල්ඩිං කර්මාන්තය ගැන යම් අවබෝධයකුත් කංගැට්ටාට තම රස්තියාදුකාර ජීවිතයෙන් උරුමවී තිබිණි. මේ හේතුව නිසා සහෝදර රැඳවියන්ටත්, බන්ධනාගාර නිලධාරීන්ටත් නැතිවම බැරි චරිතයක් බවට පත්වූ හෙතෙම බන්ධනාගාරය තුළ ජනප්‍රියත්වයට පත්ව තිබිණි.

“මං බන්ධනාගාරයේ තිබිච්ච රජයේ වාහනවල තෙල් ඇදලා නිලධාරීන්ගේ වාහනවලට ගහලා දුන්නා. ඒවායෙ තිබ්බ හොඳ ස්පෙයාර් පාර්ට්ස් ගලවල නිලධාරීන්ගේ වාහනවලට හයි කරලා දුන්නා. තව කැඩිච්චි බිඳිච්ච ගේට්ටු, වැටවල් වෑල්ඩිං කරලා දුන්නා. මේ වගේ වැඩ හින්දා මට හැමෝම හොඳට සැලකුවා“ කංගැට්ටා තේරෙන සිංහලෙන් කියා සිටියේය.

මේ අයුරින් අනුරාධපුර බන්ධනාගාරය තුළදීම එම ප්‍රදේශයේ සිදුවූ සොරකමක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි අයෙකු මොහු හා වඩාත් මිත්‍රශීලි විය.

“සිරා වැඩක් දෙන්න පුළුවන් මෙහේ කටුගෙට. වැඩේ හරියට කරොත් අවුරුද්දක් විතර කාලබීල ජොලියෙ ඉන්න පුළුවන්“ මිතුරා කීය.

ඒ අනුව බන්ධනාගාරයෙන් නිදහස්වීමෙන් පසු දෙදෙනාම අනුරාධපුර කෞතුකාගාරය නැරඹීමට ගියහ. මිතුරා කී පරිදි හදිසියේ මුදල් බවට පත්කර ගත හැකි සැලකිය යුතු වටිනා දෙයක් එහි නොමැති බව කංගැට්ටා අවබෝධ කරගත්තේය. එහෙත් කොළඹ ජාතික කෞතුකාගාරයේ එවැනි දෑ ඇති බවට ඔහුට අනුමාන කළ හැකි විය. අනුරාධපුර කෞතුකාගාරය පිළිබඳ අදහස අත්හළ ඔහු කොළඹ කෞතුකාගාරය ගැන හිතන්නට වූයේ එයින් පසුවය.

එහෙත් හදිසියේ කොළඹ යන්නට එන්නට හැකියාවක් හෝ කැමැත්තක් නොතිබුණු කංගැට්ටා අනුරාධපුරයේම කම්කරුවෙක් ලෙස තැන තැන දෛනිකව මුදලක් සොයාගැනීම සඳහා වැඩ කළ අතර එහිම තාවකාලික නවාතැන්පොළක රැඳී සිටියේය. එහිදී දැන හඳුනාගන්නා තවත් මිතුරෙකු මාර්ගයෙන් දහයියාගම හංදියේ වී හාල් මෝලක ඇබෑර්තු පවත්නා බවට ලද ආරංචියක් අනුව එම ස්ථානයට යන ඔහු එහි සේවයට එක්වෙයි. ගල්ගමුවේ වෙසෙන සුවිනීතා ඔහුට හමුවන්නේ එහිදීය.

සුවිනීතාගේ ඥාතීන් බියගම, සියඹලාපේ ප්‍රදේශයේ සිටින නිසාත්, ප්‍රියන්ත මේදිස්ගේ උපන්ගමද එහිම වීමත් නිසා ඉතා කෙටි කලක් තුළ වඩාත් සමීප මිත්‍රත්වයක් ඔවුන් අතර ගොඩනැගෙයි. තාවකාලික කුලී කාමරවල රැඳී සිටිමින් කඩවල ආහාරවලින් යැපෙන ප්‍රියන්තට ඇය නිෙවසේ පිසින ආහාර, කැවිලි පෙවිලි ගෙනත් දෙයි. දෙදෙනා වැඩට එන්නේත්, පිටව යන්නේත් එකම වෙලාවටය. කෑම බීම ගන්නේ එකටය. වැඩකරන්නේත් එකිනෙකාට සහයෝගය දෙමිනි. මේ නිසාම ඉතාම කෙටි කලක් තුළ ඔවුන්ගේ සමීප මිත්‍රත්වය ආදර සම්බන්ධයක් බවට පෙරළෙයි.

“අද මගෙත් එක්ක අපේ දිහෑ යන්.“ එක් දිනෙක ඇය ඔහුට යෝජනා කරයි.

“අපොයි බෑ. මහත්තයා දැනගත්තොත්?

“නෑ. එයා දැනගත්තත් ලොකු ප්‍රශ්නයක් නෑ. මං ඒක බලාගන්නම්. අනික එයා මේ දවස්වල රෑ වැඩ“ සුවිනීතා තමන්ගේ නිදියහන ඔහුත් සමග බෙදාහදා ගන්නේ එතැන් සිටිය. ඇයගේ නමට ලබාගන්නා සිම්කාඩ් පත කංගැට්ටාගේ දුරකථනය බවට පත්වන හැටිත්, එකී සම්බන්ධතාවය ඔස්සේ කංගැට්ටා මාට්ටුවන අයුරුත් මීට පෙරාතුව පළවූ කොටස්වල සාකච්ඡා කෙරිණි. එසේම සුවීනීතාද මීට පෙරාතුව සඳහන් කළ පරිදි ඇය සමග කංගැට්ටා තෙවරක් කොළඹ කෞතුකාගාරය නැරඹීමට පැමිණ ඇත.

ඒ අනුව සිව් වරක්ම කෞතුකාගාරයට පැමිණි කංගැට්ටා තමන් එකී විවිධ අවස්ථාහි එහි ඇතුළත හා පිටත පරිසරය, පවත්නා වටිනා කෞතුක වස්තු, ඒවායේ පරිමාණයන්, ඇතුළුවිය හැකි හා පිටවිය හැකි මාර්ග පිළිබඳ අධ්‍යයනය කළ අයුරු සිහිපත් කළේය. ආසන්නතම කාලයේ කෞතුකාගාරය ඉදිරිපස රටේ නම ගිය ව්‍යාපාරික ප්‍රභූවරයෙකුට අයත් මහා මන්දිරයක් ගොඩනගමින් පැවති නිසා තමන් මීට පෙරාතුව බැද්දගාන සමාජශාලාව ආදී සමාජශාලාවල වැඩකරද්දී හැඳිනගත් දැන හැඳුනුම්කම් මත මෙම වැඩබිමේ කෙටි කලක් වැඩකළ බවද ඔහු අවධාරණය කළේය.

“ඒක විශාල ගෙයක්. රටේ හැමෝම වගේ දන්න කෙනෙක්ගෙ. එහෙම තැනක වැඩකරන ගමන් මං රෑට ඒ ගේ ඉස්සරහ පාරෙ ඇවිදිනවා. වාඩිගෙන ඉන්නවා. එතකොට රෑට මුර සංචාරෙ යන පොලීසියෙන් මුල් දවස්වල මං ගැන විස්තර ඇහුවා. මං අහවල් තැන වැඩකරන්නෙ කීවම ආයෙත් කිසිම දෙයක් අහන්නෙ නැතුව ඒ අය යන්න ගියා. එතන ඉඳන් මං රෑටත් කෞතුකාගාරය පැත්තට ආවා ගියා. රෑට මුරකාරයින් නිදාගන්නා හැටිත්, ආරක්ෂාව අඩු බවත් මං තේරුම් අරන් හිටියා“ කංගැට්ටා කියා සිටියේය.

“එතකොට සී.සී.ටී.වී එහෙම වැඩකරන්නෙ නැති බව දැනගෙන හිටියේ කොහොමද?

“ඒවා වැඩකරන්නෙ නැති විත්තියක් මං දන්නෙ නෑ. මං හිතුවෙ සීසීටීවි තිබුණට ඒවා බලන්න කෙනෙක් නැතුව ඇති කියලා. මොකද මං ඇතුළට ගියපු වෙලාවක රාජසිංහ රජ්ජුරුවන්ගෙ භාණ්ඩ තිබ්බ තැන තිබිච්චි රන් කාසි තිබුණු වීදුරු පෙට්ටියේ ඉබ්බා දෙතුන් පාරක් අල්ලලා හයිය බැලුවා. මෝඩයෙක් ගාණට එහෙම කෙරුවේ සීසීටීවි බලන මහත්තයෙක් ඉන්නවනම් දුවගෙන ඇවිත් මට අවවාද කරයි කියලා. ඒත් එහෙම දෙයක් වුණේ නෑ. ඊට පස්සෙ මං ඇතුළෙදි බීඩි දෙක තුනක් බීලා ස්මෝක් එලාම් දිහාට පිම්බා. එහෙම කෙරුවේ ඒවා වැඩද බලන්න. ඒව වැඩ නැති විත්තිය මං දැනගත්තා“ ඔහු අනාවරණය කළේය.

මේ අයුරින්ම රාත්‍රී කාලයේ ආරක්ෂාවට සිටින රැකවලුන් තම රාජකාරිය නිසි ලෙස ඉටුකිරීම වෙනුවට සෑම තැනම හොඳින් පෙනෙන සේ විදුලි බල්බ් දල්වා තම මුරකුටි තුළට වී හොඳහැටි නිදාගන්නා බවත්, දහවලට හෝ ඔවුන් තම රාජකාරිය පිළිබඳ නිසි වගකීමකින් කටයුතු නොකළ බවත් ඔහු විසින් සවිස්තරාමකව පෙන්වාදී තිබුණි. විශේෂයෙන්ම විදේශිකයින් පැමිණි පසු අභ්‍යන්තර කුටි ආරක්ෂාවට සිටින ආරක්ෂකයින් කෞතුක භාණ්ඩ පිළිබඳ ඔවුන්ව දැනුම්වත් කොට ඔවුන් පසු පස ඔවුන්ගේ බස් රථ හෝ පුද්ගලික මෝටර් රථ දක්වාම කැටුවයාම සිය රාජකාරිය කරගෙන තිබුණි. එවිට තමන් කෙරෙහි වැඩි සැලකිල්ලක් හෝ ගෞරවයක් දැක්වීයයි කල්පනා කරන සංචාරකයෝ මෙම ආරක්ෂකයින්ට යම් මුදලක් අතමිට මොලවති. ඒ අනුව විදේශිකයින්ට පුමුඛත්වයක් ලැබෙන එවන් අවස්ථාවල අභ්‍යන්තරයේ රැඳී සිටින දේශීය සංචාරකයින් පිළිබඳ ඔවුන් කිසිදු උනන්දුවක් හෝ අවධානයක් නොදක්වන බව ද කංගැට්ටා විසින් තම පාපොච්චාරණයේදී පෙන්වාදී තිබුණි.

“මං මුලදි මේ ගැන ලොකුවට හිතුවෙ නෑ. දවාලක සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට ඇවිත් මොන මොනව හරි පුංචි දෙයක් බෑග් එකේ දාගෙන යනවා කියලයි හිතුවෙ. ඊට පස්සෙ මේ විදිහට මෙතන වැඩි ආරක්ෂාවක් නෑ කියලා තේරුණාම රෑට සුපිරි ගේමක් දෙන්න පුළුවන් බව මං තේරුම් ගත්තා. ඊට පස්සෙ මගේ සැලසුම් වෙනස් කරලා ගේමට බැස්සා.“ ඔහු අවධාරණය කළේය.

ඒ අනුව 2012 වසරේ මාර්තු මස 16 වන දිනයේ සවස ප්‍රියන්ත මේදිස්, ඉස්කුරුප්පු නියනක්, අඩු මිටියක්, බෙඩ්ෂීට් එකක්, බීඩි මිටියක්, කුඩු පැකට් දෙකක් ආදී වශයෙන් තමන් උපකාරී විය හැකි යයි සිතන බඩු භාණ්ඩ කිහිපයක් බෑගයේ අසුරාගෙන සාමාන්‍ය පුද්ගලයකු ලෙස ප්‍රවේශපත්‍රයක්ද මිලදී ගෙන කෞතුකාගාරයට ඇතුළුවෙයි. ඒවන විටත් පාසල් ළමුන් පිරිසක්ද, විදේශිකයින් කිහිපදෙනෙක්ද කෞතුකාගාරය ඇතුළත කෞතුක භාණ්ඩ නරඹමින් හා ඒවා පිළිබඳ සාකච්ඡා කරමින් සිටියහ. අසල සිටි මෙම පිරිස් එහා මෙහා යනු හොඳින් නිරීක්ෂණය කළ ඔහු ශිල්ප හා කලා ආයුද මැදිරියේ භාරකරුවා, විදේශිකයින්ට යමක් පැහැදිලි කරමින් ඉවතට ගිය අවස්ථාවේදී නුගවෙල අදිකාරම්ගේ බඩු භාණ්ඩ තබා තිබූ අල්මාරිය හා ප්‍රතිමාව පිටුපස සැඟවෙයි.

ඇඳිරිවැටී සියලුදෙනා පිටත්ව ගොස් ඇතුළත විදුලිපහන් නිවාදැමුණු පසු රාත්‍රී හතට පමණ සැඟව සිටි තැනින් එළියට බසින ඔහු තමා අත තිබුණු ලයිටරයෙන් ගිනි දල්වා එක් කුඩු පැකැට්ටුවක් භාවිත කරයි. බලාපොරොත්තුවූ පරිදිම ස්මෝක් එලාම් ක්‍රියාත්මක නොවුණු බැවින් හොඳහැටි කාල වේලාව ගෙන තමන් අත පැවති ඉස්කුරුප්පු නියනෙන් හා මිටියෙන් වීදුරු පෙට්ටි හා අල්මාරිවල කොණ්ඩිපට්ටම් ගලවා අදාළ කෞතුක භාණ්ඩ තමන් ගෙනා බෑගයට අසුරාගෙන තිබේ.

හෙට අවසන් කොටස

කංගැට්ටාට නොසිතූ විරූ අකරතැබ්බයක් රංජිත් විජේබණ්ඩාර

 


නව අදහස දක්වන්න

Or log in with...