ලෝක ආරක්ෂක සේවා ගොල්ෆ් තරගාවලියේ කාන්තා හා පිරිමි ශූරතා අමෙරිකාවට | දිනමිණ

ලෝක ආරක්ෂක සේවා ගොල්ෆ් තරගාවලියේ කාන්තා හා පිරිමි ශූරතා අමෙරිකාවට

 පළමුවරට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය ලබා දුන් වසර 4කට වරක් පැවැත්වෙන ලෝක ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ ගොල්ෆ් තරගාවලියේ කාන්තා හා පිරිමි ශූරතා අත්කර ගැනීමට අමෙරිකාව සමත්විය.

ලෝක ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින් 11 වැනි වරටත් පවත්වනු ලබන ලෝක ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ ගොල්ෆ් තරගාවලිය පසුගියදා චීන වරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල් ගොල්ෆ් ලින්ක්ස් පිටියේදී පැවැත්විණි.

දින හතරක් පුරා පැවැති මේ තරගාවලියට විවෘත ඒකල සහ ජ්‍යෙෂ්ඨ තරග ඉසව් සහ කණ්ඩායම් තරග ඉසව්වක් ඇතුළත් විය. තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය චීන වරාය ගුවන් හමුදා භූමියේ බේ වීව් අවන්හලේ පැවැත්විණි.

ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් ආර්.සී.විජේගුණරත්න මහතා සහභාගි විය. ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාෂල් කේ.වී.බී.ජයම්පති, නාවික හමුදාපති වයිස් අද්මිරාල් එස්.එස්.රණසිංහ, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාෂල් ඩී.එල්.එස්. ඩයස්, ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ සහ ගුවන් හමුදා ගොල්ෆ් කමිටුවේ සභාපති එයාර් වයිස් මාෂල් එස්.කේ.පතිරණ, ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ලේකම් කර්නල් ඩෝරා මම්බි කොයිටා මහත්වරු සමග ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයන් සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු රැසක් මේ අවස්ථාවට එක්වූහ. 

නව අදහස දක්වන්න