මහනුවරට දැවැන්ත ජයක් | දිනමිණ

මහනුවරට දැවැන්ත ජයක්

 ඩයලොග් කුසලාන අන්තර් සමාජ පළමුපෙළ ලීග් රගර් තරගාවලියේ ශ්‍රී ලංකා යුද හමුදා පිල සමග පැවැති තරගයෙන් ලකුණු 58 - 13ක ජයක් අත්කර ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත්විය.

මහනුවර නිත්තවල ක්‍රීඩාංගණයේ පෙරේදා පැවැති මේ තරගයේ පළමු භාගය අවසන් වන විට මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 34 - 6 ක් ලෙස ඉදිරියෙන් සිටියේය.

තරගය නිමාවන විට උත්සාහ දිනුම් 9 ක් ලබා ඉන් 5ක් ගෝල් බවට පත්කරමින් ද, තවත් දඬුවම් පහරක් ලබා ගනිමින් ද මහනුවර පිල මේ ලකුණු 58 ලබාගත්තේය.

මෙහිදී අනුරුද්ධ විල්වර සහ ධනුෂ්ක රන්ජන් උත්සාහ දිනුම් 3 බැගින් ලබාගත් අතර ශ්‍රීනාත් සූරියබණ්ඩාර, රිචඩ් ධර්මපාල හා ජේසන් දිසානායක ඉතිරි උත්සාහ දිනුම් ලැබූහ. තිළිණ විජෙසිංහ උත්සාහ දිනුම් 3ක් ගෝල් බවට පත් කළ අතර නයිජිල් රත්වත්තේ උත්සාහ දිනුම් දෙකක් ගෝල් බවට පත්කරමින් හා දඬුවම් පහරක් එල්ල කරමින් දස්කම් පෑවේය.

යුද හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගයාන් සාලින්ද දඬුවම් පහර 2ක් එල්ල කළ අතර උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළේය. යුද හමුදා පිල වෙනුවෙන් තුසිත සේනානායක උත්සාහ දිනුමක් රැස් කළේය.

ඡායාරූපය - අකුරණ සමූහ
ජේ. මොහමඩ් හාෆීස්

නව අදහස දක්වන්න