කළු ජූලියේ කඳුළු පිස­ලන්න ගාමිණී හෝල් නැවත ඉදි­ක­රන්න | දිනමිණ

කළු ජූලියේ කඳුළු පිස­ලන්න ගාමිණී හෝල් නැවත ඉදි­ක­රන්න

'ගාමිණී හෝල් බහින්ඩ...' මේ ඇමතුම අප සිය දහස් වර අසා ඇත. ඩාලි පාර ඔස්සේ ගමන් කරන120, 125 බස් රථවල මගීන්ට මෙය හොඳින් පුරුදු ය. මරදාන සහිරා විදුහල පිටුපස තුංමංහන්දියේ පිහිටා තිබූ ගාමිණී සිනමා හල නිසා මේ වගන්තිය නිර්මාණය විය. 1983 කළු ජූලියේ දී ඊනියා දේශප්‍රේමීහූ සිනමා හලට ගිනි තැබූහ. කිරුලපන කල්පනා. අනුරාධපුර සිත්තම්පලම්. වැල්ලවත්ත සැෆයාර් ඇතුළු සිනමා හල් රැසක් මේ අයුරින් විනාශ කෙරිණ. ගාමිණී සිනමා මණ්ඩලයට අයත් ප්‍රධාන සිනමා හල් වූ ගාමිණී. සැෆයාර්, සෙයින්තාස්න් යන කිසිවක් අද දක්නට නැත. ඇතැම් ඒවා ආදායම් මඳකමින් වසාදමන ලදි. 70 දශකයේ මේ සිනමා ශාලා රසිකයන්ගෙන් පිරීතිරී ගියේ ය. 83 කළු ජූලිය. 89 භීෂණ සමය. රූපවාහිනී ආගමනය යනාදී හේතු රැසක් මත සිනමා හල් වැසී යෑම හා රසිකයන් දුරස් වීම සිදු විය.

ගාමිණී හෝල් යනු එකක් පමණි. එසේ වතුදු මෙහි විශේෂයක් තිබේ. එනම් ගාමිණී නාමය දිගට ම පැවතීම ය. ඩාලි පාර පවතින තුරු එය දිනකට සිය දහස් වරක් කියැවෙනු නිසැක ය. සිනමා හල තිබූ තැන වෙනත් ගොඩ නැඟිල්ලක් ඉදිකර තිබේ. එතැනින් යන විට එහි නෙත් රැඳවීම නිතැතින් සිදුවේ. සෝබර හැඟුම් දහරාවක් හදවත වෙලා ගනී. 30 වසරක යුද්ධය නිසා රටට බෙහෝ දේ අහමි විය.

ඉන් උගත් පාඩමක් නැත යන්න උගත් පාඩම් කොමිසමේ නිර්දේශවලට අත්වූ ඉරණමෙන් පෙනේ. යුක්තිය ඉටු වීමේ ප්‍රමාදය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ද රටට හානිකර තත්ත්වයක් නිමාණය කර ඇත. සත්‍ය කොමිසම බෝඩ් ලෑල්ලක් පමණි. එය ක්‍රියාත්මක වුවා නම් ගාමිණී හෝල් ඛේදවාචකයට ද සාක්ෂි ගොනුකර හමාර ය. සත්‍ය කොමිසම පිහිටුවීමට පෙර ම එක් මිනිසෙක් ඒ කාරියට ආදර්ශය දුන්නේ ය.

ඊශ්වරන් බ්‍රදර්ස් සමාගමට අයත් දේපළ කළු ජූලියේ දී විනාශ කෙරිණ. එහි හිමිකරු දරුණු මානසික කඩා වැටීමකට ලක් විය. ඔහු අමාරුවෙන් හිත හදා ගතේ ය. සිංහල ජනයාට වෛර නොකළේ ය. රම්බඩගල්ලේ ලොව විශාල ම ශෛලමය ඉඳි පිළිමය තැනීම සඳහා ඔහු අනගි දායක්වයක් දුන්නේ ය.

අප්‍රිකානු සත්‍ය කොමිසම අර්ථවත් වූයේ නෙල්සන් මැන්ඩෙලාගේ සමාව දීමේ දර්ශනයෙනි. මරදාන ගාමිණී සිනමා හල රජයේ මැදිහවීමෙන් නැවත ඉදි විය යුතු ය. එය උත්සවාකාරයෙන් සිංහල, දෙමළ රසිකයන් සඳහා විවෘත කළ හැකි ය. සිදුවූ වැරදි නිවැරදී කිරීම සඳහා එය හොඳ ප්‍රවේශයකි. එය ජාතීන් අතර සංහිඳියාව ශක්තිමත් කෙරෙන සංස්කෘතික මධ්‍යස්ථානයක් හැටියට පවත්වා ගෙනයා හැකි ය. කළු ජූලියේ කඳුළු පිසලන සොඳුරු නවා තැනක් බවට පත් කරගත හැක. මරදාන ගාමිණී යළි පිබිදෙන දිනක අපට ද අපේ රට ගැන සතුටු විය හැකි ය.

තිඹි­රි­යා­ගම බණ්ඩාර

නව අදහස දක්වන්න