පද්මා­වතී සහ දීපිකා | දිනමිණ

පද්මා­වතී සහ දීපිකා

දීපිකා පදුකෝන් ‘පද්මාවති’ චිත්‍රපටයේ

'එපා', 'බෑ', 'නෑ' කියා ඇතැම් අවස්ථාවලදී තදින් ප්‍රකාශ කිරීමට අපට හැකි විය යුතුය. විරෝධය පෑම සෑම විටම නොමනා ක්‍රියාවක් නොවේ. දූෂිත පාලනය, ජාතිවාදය, ආගම් වාදය, ගැහැනුන් සහ දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය, ලිංගික හිරිහැර ආදී නොයෙකුත් අපරාධ, අසාධාරණ සහ හිංසනයට එරෙහිව විරෝධය පෑමට අපට හැකි විය යුතුයි. විරෝධය පෑම සිදුවන්නේ අපරාධ, අසාධාරණය සහ හිංසනය වැනි දේට එරෙහිව නම් එම විරෝධය හිංසාකාරී, අසාධාරණ අපරාධයක් නොවිය යුතුය. පුරාතන ග්‍රීසියේ නාට්‍ය රචකයකු වූ ඇරිස්ටොෆනිස් (Aristophanes) ලියූ ලයිසිස්ට්‍රාටා (Lysistrata) හාස්‍ය නාටකයේ යුද්ධයට සහ තකතීරු පිරිමි නීතිවලට එරෙහිව ගැහැනුන් විසින් කළ කදිම විරෝධතා පෑමක් සඳහන් කරයි. සාමය ස්ථාපිත කරනා තුරු සියලු පිරිමින් හා ලිංගික එක්වීම්වලින් බැහැරව සිටින්නට ගැහැනුන් විසින් ක්‍රියාත්මක කරනා දැඩි පිළිවෙළ, විසිළු සහගත ලෙස පෙනුණත්, ඇත්ත වශයෙන්ම විරෝධය පෑමේ ක්‍රමය මත ඇතැම් දේ නැවැත්වීමේ හෝ ක්‍රියාත්මක කර ගැනීමේ ප්‍රතිඵල ඇති වේ.

මහත්මා ගාන්ධි එංගලන්තයේ අසාධාරණ යටත් විජිතවාදයට එරෙහිව කළ අවිහිංහාකාරී සත්‍යග්‍රහ ව්‍යපාරය ලෝකයේ අනෙක් අයට ඔවුන්ගේ මානුෂික අයිතිවාසිකම් වෙනුවෙන්, කෘෘරත්වයට එරෙහි ව්‍යාපෘතිවල අභිප්‍රායන් ඉටුකර ගැනීමට මඟ පෙන්වීය. මාර්ටින් ලූතර් කින්ග් ජූනියර්, අමෙරිකාවේ කළු මිනිසුන්ගේ අයිතීන් වෙනුවෙන් ගෙනගිය සාමකාමී මහජන වර්ජන, නෙල්සන් මැන්ඩෙලා වැනි නායකයන් විසින් දකුණු අප්‍රිකාවේ මිනිසුන් එක් රැස් කර ගැනීම වැනි ඓතිහාසික විරෝධතා පමණක් නොව එදා මෙදාතුර, අපරාධ, අසාධාරණය සහ හිංසනය වැනි දේට එරෙහිව මිනිසුන් එකතුවී සාමකාමීව විරෝධතා දැක්වීම අදත් නොයෙක් විට සිදු වේ.

නමුත් අවාසනාවකට මහත්මා ගාන්ධිගෙන් උගෙන යුක්තිය වෙනුවෙන් අවිහිංසාකාරී විරෝධතා දැක්වීම ලෝකයට පෙන්වූ ඉන්දියාවේම ඇතැම් මිනිසුන් තමන්ගේම මිනිසුන්ට, යුක්තියට, කලාවට, ගැහැනියට, නිදහසට, නීතියට පවා එරෙහිව හිංසාකාරී විරෝධතාවල යෙදෙන කිසිම ලජ්ජාවක්, බයක් නැති මැරයන්, ත්‍රස්තවාදීන් වී ඇත්තේ ඔවුන්ගේ නූගත්කම අපයෝජනය කරනා ඡන්ද ගිජු දූෂිත දේෂපාලකයන්ගේ අනුග්‍රහයෙනි. තමුන්ගේ රටේ කණ්ඩායම තරගයකින් පැරදි විට ක්‍රීඩකයන් මරාදැමීමට ඉදිරිපත්වෙන, ඔවුන්ගේ පුද්ගලික දේපළවලට හානි සිදුකරන, සිනමා චිත්‍රපටික කතාව ඉවසනු නොහැකිව සිනමාහල ගිනි තබන, මුග්ධ මැර ප්‍රහාර එල්ල කරන පිරිසකි.

ඒවා වීමට ඉඩ දී ඇත්තේ, එවිට දේශපාලන සෙල්ලම් වලදී මහපරිමාණයෙන් කෙරෙනා මෙවැනි ගිනි තැබීම්, දේපළ විනාශ කිරීම, ජන සංහාරවල යෙදීම තනිකරම එරට වැසියන් ඔවුන්ගේ තීරණ මත කටයුතු කිරීම් ලෙස පෙන්වීමට උපයෝගී කර ගැනීමටයි. තරුණියක් සමූහ ලිංගික අපරාධයකට ගොදුරු වූ අවස්ථාවක නීතිය ඉටුකරන්නැයි ඉල්ලමින් පහන් එළියක් අතින් ගෙන සාමකාමීව ඇතැම් අය රැස්වෙද්දී, ගැහැනුන්, දරුවන් බොහෝ ගණනකට ලිංගික අතවර කළ ආගමික නායකයෙක් නීතියට අසු වූ විට, ඔහු නිදහස් කරන්නැයි බල කරමින් දේපළ විනාශකරමින්, උපවාස කරමින්, තමන් වෙත් ගිනි අවුලුවා ගනිමින් හිංසාකාරි විරෝධතාවල යෙදෙන පිරිසක්ද ඇත. ඒ දෙපිරිස අතර වෙනස පැහැදිලි එකකි.

මේ වසරේ දෙසැම්බර් පළමු වැනි දා එළි දැක්වීමට නියමිත 'පද්මාවති' නම් චිත්‍රපටියට, එහි නළු නිළි පිරිසට, එය තැනූ අධ්‍යක්ෂකවරයාට සහ අනෙක් ශිල්පීන්ට එරෙහිව මේ දිනවල ඉන්දියාවේ දැඩි විරෝධතා සිදුවේ. පද්මාවතී චිත්‍රපට කතාව ඉන්දියාවේ සිටි මාලික් මුහමද් ජයසි (Malik Muhammad Jayasi) යන කවියා විසින් ලියැවුණ පද්මාවත් (Padmavath) නමැති වීර කාව්‍ය ඇසුරින් නිර්මිත අපූරූ චිත්‍රපටියකි.

අති දක්ෂ සම්මාන ලාභී ශිල්පීන් පිරිසක් එකතුවෙන්, චිත්‍රපට ලෝකයේ දක්ෂයකු ලෙස නම තැබූ අධ්‍යක්ෂකවරයකු වෙන සංජය ලීලා බංසාලී (Sanjay Leela Bhansali) විසින් නිමැවෙන මේ චිත්‍රපටිය අනගි කලා නිර්මාණයක් වන බවට කිසි සැකැයක් නැත. ඇත්ත වශයෙන්ම සිදුවිය හැකි දේ නම් එම සිනමා පටය ඉන්දියාවේ සිනමාවට එකතු වෙන තවත් මහඟු නිර්මාණයක් වීමයි. නමුත් එය රූගත කිරීම ඇරඹි දා සිටම, චිත්‍රාගාරවලට හානි කරමින්, ශිල්පීන්ට හිංසාකරමින් දරුණු විනාශකාරී විරෝධතාවයක් ගොඩ නැගී ඇත.

මම නැවත කියමි. විරෝධතා පෑම සිදු වන්නේ ඉතාම විනාශකාරි ලෙසයි. එය තැනූ අධ්‍යක්ෂකවරයාට පාවැස්මෙන් පහර දෙන්නන්ට, චිත්‍රපටියේ ප්‍රධාන නිළිය ලෙස රඟපෑම ඉදිරිපත් කරන අති දක්ෂ කලාකාරියක් වන දීපිකා පදුකෝන්ගේ (Deepika Padukone) හිස ගසා දමන අයට තෑගි දීමට පවා ඉදිරිපත් වෙමින් ඇතැම් නායකයන් ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කර ඇත. සොයා බලද්දී මේ හිංසාකාරී, අපරාධකාරී, විනාශකාරී විරෝධතාවට අනුග්‍රහ දක්වන්නේ දේශපාලකයන්ම බව තේරුම් ගැනීම අපහසු නැත. ඉතින් විරෝධයට එක්වී ඇති අයගේ බුද්ධියේ තරම ගැන කීමට වචන නාස්ති කිරීම අවැසි නැත.

ගාන්දර්වසිංහ නම් රජෙකුටත් චම්පාවති නමැති බිසවකටත් දාව ශ්‍රී ලංකාවේ/සිංහල රාජධානියක ඉපිද වැඩි පද්මාතී කුමරිය යුද ශිල්පය මැනැවින් ප්‍රගුණ කළ, දුටු අය වශී කරවන රූ සපුවකින් යුතු, ගුණ නැණ බෙලෙන් අනූන කෙනකු ලෙස වැයෙමින් කවියා පද්මාවත ලියා ඇත. මේ කාරණා ගැන මා විශේෂ දැඩි පර්යේෂණයක නොයෙදි නිසා ඒවා පිළිබඳ කියවා සොයා බලන ලෙස ඉල්ලා සිටිමි.

දෙපා නගද්දී අගේ පතුල ගැටි පොලොවෙන් මල් පීදූනු බව සඳහන් වෙමින් ශ්‍රී ලංකාවේ කවි කතාවල කියැවෙන පද්මාවතී කුමරිය මේ පද්මාවතී කුමරියමදැයි කියා කීමට තරම් දේ මම ගවේශණය නොකළෙමි. කෙසේ නමුත් මේ වීර කාව්‍යයේ කියැවෙන ප්ද්මාවතී කුමරිය ඉන්දියාවේ රාජ්පුත් පෙළපතට විවාහයෙන් එකතු වී රාවල් රතන් සිං (Rawal Ratan Singh) රජතුමාගේ බිරිය ලෙස ඇගේ කිතු ගොස පතුරමින් ජීවත් වී ඇත. පද්මාවතීගේ රුව නොදැකම ඈ වෙත බැඳී ඈ ලබා ගැනීමේ අරමුණින් ඇගේ සැමියාත් රාජ්‍යයත් විනාස කළ දිල්ලි සුල්තාන් රාජ්‍ය කළ අලුව්දීන් කිල්ජී (Alauddin Khilji) රජුට විරෝධය පෑමක් හැටියට පද්මාවතී/පද්මිනී රැජින ගින්නට පැන සියදිවි තොර කරගත් බව කියැවේ. ඈ අනුව යමින් අනෙක් පරිවාර ගැහැනුන්ද එසේ කළ බව වීර කාව්‍යයේ කියැවේ.

අපරාධයකට හිංසාවකට ගොදුරු වෙද්දී ජීවිත් වීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස වර්තමාන ලෝකයේ අප දැනුවත් වී මුත් දාහරවන ශතවර්ශයේදී ඉන්දියාවේ/ ශ්‍රී ලංකාවේ රජ පෙළපතක විශේෂ රැජිනියක ගැන ලියැවෙන කතාවක එවැනි අවසානයක් නිසා ඈ තවත් වටිනා කෙනකු බවට පත්කරවයි.

විවාහ වීමට තමන්ගේ අතපතා කුමරුන් පැමිණි ස්වයංවරයේදී තමන්ගේ දක්ෂකමට සරිලන කෙනකු හා මිස විවාහ නොවන්නට කොන්දේසි දමා, තමන් හා කඩු සටනකට එළඹ එයින් ඈ හා සමාන ශිල්ප දකවනු හැකි පුරුෂයා තෝරා ගැනීමට තරම් ආත්ම විශ්වාසයක් වූ ගැහැනියක් මැරෙන තුරු සටනක් නොකර ගින්නට පැනීම අභව්‍ය නොගැළපෙන ලෙස මම දකිමි.

නමුත් මා කලින් කීවා වාගේම කතාව දාහතරවැනි සියවසේ වූ ගැහැනියක ගැන පිරිමි කවියකු ලියු කතාවකි. සමහර විටෙක පද්මාවතී රැජින තමන් හා සටන් කිරීමටවත් තත්ත්වයක නැති කෙනෙක් ලෙස ගෙන ඇගේ විරෝධයේ ප්‍රබලත්වය එසේ පෙන්නුම් කළා විය හැකිය. යුද ආරවුල් නැවැත්වූ, සාමය පැතූ ගැහැනියක ලෙස ඈ ගැන කියැවේ.

පද්මාවත වීර කාව්‍යකි. එහි සිදු වීම් සනාත කිරීමට ඓතිහාසික නියත සාක්ෂි නැත. චිත්‍රපටියේ කිසිම තැනක, රාජ්පුත් පෙළපතට හෝ පද්මාවතියට අපහාස සිදු වෙන දර්ශන නැති බව අධ්‍යක්ෂකවරයා පොරොන්දුවේ. රැඟුම් පාලක මණ්ඩලය ඒ සනාථ කරයි. රාජපුත් පෙළපත/පවුල එයට එරෙහිව නීතිමය කටයුතු කරන්නේ නම් ඒ ඔවුන්ගේ වැඩකි. නමුත් චිත්‍රපටිය එළිදැක්වීමට එරෙහිව අනුවණ මහජනතාව කුපිත කිරීමට කිසියම් පිරිසක් සමත් වී ඇත.

ඔප්පුකර පෙන්විය නොහැකි ඉතිහාසයක් ගැන ලියැවි කලා නිර්මාණයක් වූ වීරකාව්‍යයකින් පිබිදී මේ චිත්‍රපටියත් තවත් කලා නිර්මාණයක් බව තේරුම් ගැනීමට බැරි තරම් මන්ද මානසික මිනිස්සු සිටිති. තමන්ගේ හොඳම කලාකාරිය මරා දැමීමට ඔවුන්ට උවමනා වී ඇත. මාලික් මුහමද් ජයසි සිටියා නම් දීපිකා පදුකෝන් ගැන වීර කාව්‍යයක් ලියනු ඇත.

හිමාලි එන්. ලියනගේ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...