අපේ අධිෂ්ඨානය වුණේ පරාජය නොවී සිටීමයි | දිනමිණ

අපේ අධිෂ්ඨානය වුණේ පරාජය නොවී සිටීමයි

ඉන්දීය පන්දු යවන්නන් හමුවේ සාමාන්‍ය පරිදි ක්‍රීඩා කිරීමට තීරණය කළත් දුර්වල පහරවල් කරා යාමෙන් කඩුලු කිහිපයක් ඉක්මනින් බිඳ වැටීමෙන් පසුව අවසන් ඕවර කිහිපය ඉතා දුෂ්කර වූ බව ඉන්දියාවට එරෙහිව කල්කටා නුවර පැවැති පළමු ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරව නිමාවට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා පිලේ නායක දිනේෂ් චන්දිමාල් කියා සිටියේය.

‘අපිට වැඩිපුර කාලයක් තිබුණා නම් ඉලක්කය හඹා යන්න උත්සාහ කරන්න තිබුණා. නමුත් අපේ අධිෂ්ඨානය වුණේ පරාජය නොවී සිටීමටයි.’ චන්දිමාල් කීවේය.

බුව්නේෂ්වර් කුමාර් ඇතුළු ඉන්දීය වේගපන්දු බලඈණිය තමා මුහුණදුන් හොඳම වේගපන්දු ප්‍රහාරය බව කී ශ්‍රී ලංකා පිලේ නායකයා බුව්නේෂ්වර් කුමාර්, උමේෂ් යාදෙව් සහ මොහොමඩ් සාමිගේ විවිධාකර මුහුණුවරින් යුතු පන්දු ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් මහත් අසීරුතාවට පත් කළ බව ද සඳහන් කළේය.‘ඔවුන් එකිනෙකාට වෙනස් වර්ගයේ වේගපන්දු යවන්නන්.’ ඔහු කීවේය.

ඉන්දීය පිලේ දෙවැනි ඉනිම ගොඩගත් නායක විරාත් කෝලි කණ්ඩායමේ පිතිහරඹ තුරුම්පුව වූ බැවින් ශ්‍රී ලංකා පිලේ උත්සාහය වූයේ ඔහු වේලාසනින් දවාගැනීම බව චන්දිමාල් පැවැසීය.

‘අපි කණ්ඩායමේ රැස්වීම්වලදී ඔහු ගැන වැඩිපුර සාකච්ඡා කළා. අපිට ඔහුව දෙවැනි ඉනිමේදී අඩුලකුණු ගණනකට දවාලීමට හැකිවී තිබුණානම් මේ තරගය නිසැකවම දිනාගන්න තිබුණා. ඔහු තමා ඔවුන්ගේ ප්‍රධානතම පිතිකරු. ඔහු තරගය වෙනස් කළා. කෝලි කියන්නේ ලොව විශිෂ්ටතම පිතිකරුවෙක්.’ චන්දිමාල් කීවේය.

‘අපි සෑහෙන්න සැලසුම් කළා. අපි නිතරම කතාවුණේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩා කරමු කියලයි. ඒක අපේ ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ඉහළ දැමීමට සමත්වුණා. මේ තරගයේ අවසන් භාගය වනතුරුම අපි ඉන්දීය පිලට ලොකු පීඩනයක් දුන්නා.’ ඔහු සඳහන් කළේය.

තරගය පුරා ඉන්දීය පිතිකරුවන් මෙල්ල කිරීමට සමත්වූ වේගපන්දු යවන සුරංග ලක්මාල් නායක චන්දිමාල්ගේ ඉමහත් පැසසුමට ලක්විය. ඔහු ඉන්දීය පළමු ඉනිමේ දී කඩුලු 4ක් දවාලූ අතර දෙවැනි ඉනිමේදී බිඳ දැමූ කඩුලු සංඛ්‍යාව 3කි.

‘සුරංග මගේ ප්‍රියතම පන්දු යවන්නෙක්. ඒ වගේම මම ඔහුට ගරු කරනවා. ඔහු සියයට සියයක්ම දායකත්වය ලබා දුන්නා. ඕනෑම කණ්ඩායමක නායකයකුට ඔහු ඉතා හොඳ වත්කමක්.’ චන්දිමාල් කීවේය.

නව අදහස දක්වන්න