වරාය අධිකාරිය සැලසුම් ගත ආර්ථික වර්ධනයක් අත්කර ගත්තා | දිනමිණ

වරාය අධිකාරිය සැලසුම් ගත ආර්ථික වර්ධනයක් අත්කර ගත්තා

නිදහස් වෙළෙඳ ආකෘතියක් ගොඩනඟා ගැනීම හේතුවෙන් සැලසුම් සහගත ආර්ථික වර්ධයක් කරා යොමුවීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමත් වූ බවත් වරාය හා නාවික ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවසීය.

දකුණු ආසියාවේ ප්‍රථමයෙන් නිදහස් වෙළෙඳ ආකෘතියක් ගොඩනැඟීමේ ඉඩකඩ ශ්‍රී ලංකාව සැලසුම් කළ බවත් ඒ අනුව කලාපයේ අනෙකුත් ජාතීන්ට ද ස්වකීය නිදහස් වෙළෙඳ ප්‍රතිපත්ති මත ආර්ථික සංවර්ධනයට අවස්ථාව උදාකර දුන් අතර ඒ ප්‍රථිපල හේතුවෙන් ආර්ථික සංවර්ධයක් කරා යොමු වීමට කොළඹ වරාය ප්‍රමුඛ ශ්‍රී ලංකා වරාය අධිකාරියට වර්තමානයේ දී හැකිව ඇති බවත් හෙතෙම අවධාරණය කෙළේ ය.

කඩිනම් සංවර්ධන වැඩසටහන් 1970 දශකයේ මුලින්ම ආරම්භ කිරීමේ ප්‍රතිපලයක් ලෙස වර්තමානයේ කොළඹ වරාය ලෝකයේ හොඳම වරායන් අතර 23 වැනි ස්ථානයට පැමිණ ඇති බව ද සඳහන් කෙළේ ය.

නමුත් ලබාගෙන ඇති මේ ස්ථානයට තමන් පෞද්ගලිකව සතුටු නොවන බවත් තම පාලන කාලයේ කොළඹ වරාය ලෝකයේ ඉහළටම ඔසවා තැබීම තම අපේක්ෂාව බවත් හෙතෙම කීය.

කොළඹ වරාය පිහිටීමේ සක්‍යතාව අනුව තවදුරටත්විවිධ සංවර්ධන සැලසුම් රැසක් අනාගතයේ දී ක්‍රියාත්මක කිරීමටත් යටිතල පහසුකම් පුළුල් කිරීමට හා කාර්යක්ෂමතාව වැඩිකිරීමෙන් වරාය ඵලදායිතාව ඉහළ මට්ටමක් කරා ගෙන ඒමට අපේක්ෂිත වේ.

නව වරායන් ඉදිකිරීමේ හා සංර්ධනය කිරීමේ සැලසුම් ක්‍රියාවට නැංවීමේ දී පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරේ.

මෙහිදී විදේශ පාර්ශ්ව පමණක් නොව දේශීය පෞද්ගලික අංශයේ දායකත්වය ද ලබා ගැනීමේ හැකියාව පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කිරීම අපේෂාවයි. මෙම සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රධාන එන්ජිම පෞද්ගලික අංශයේ දායකත්ය බව ද මේ වන විට රජය හඳුනාගෙන ඇති බවද කීය.

එමගින් කොළඹ වරාය 23වැනි ස්ථානයෙන් ඔබ්බට ගෙන ඒමට සුවිසල් දායකත්වයක් සපයන බවට තමන් දැඩි සේ විශ්වාස කරන බවද පෙන්වා දුන්නේ ය.

ලෝකයේ දෙවැනි විශාලතම වරාය සංවර්ධනය මෙහෙ‍යුම්කරු චයිනා මර්චන්ට් පෝර්ට් ආයතනය සමඟ කොටස් කරුවකු ලෙස කටයුතු කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට පසුගිය කාලයේ ප්‍රධානතම සංවර්ධන වැඩටහන් රැසක් ඇරඹීමට හැකිවීම ද සුවිශේෂී බවද පෙන්වා දුන්නේ ය.

මීට වසර දහයකට පෙර පැවැති ආණ්ඩුව ඇමෙරිකන් ඩොලර් බිලියන 1.5ක් ආයෝජනය කරමින් හම්බන්තොට වරාය ආරම්භ කළ අතර චීනයේ එක්සිම් මූල්‍ය ආයතනය සමඟ ගනු දෙනු කරමින් හම්බන්තොට වරායේ පළමු හා දෙවන අදියර ඉදිකිරීම් කටයුතු සිදු විය. එහිදී මූලික යටිතල පහසුකම් කටයුතු සිදුවුව ද සම්පූර්ණ මෙහෙයුම් වරාය තත්ත්වයකට පත් නොවීය.නව ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ මේ සම්බන්ධයෙන් අප දෙගිඩියාවකට පත්ව සිටින අතර ණය සම්බන්ධයෙන් අනුග්‍රාහකත්වය දැක් වූ කාලය අවසන් වීමත් සමඟ ශ්‍රි ලංකා වරාය අධිකාරියට එම ණය මුදල ගෙවීමට සිදු විය. ශ්‍රී ලංකා වරාය අධිකාරිය යනු ස්වයං තිරසාර පරිසරයක් සහිත ආයතනයකි. එය කිසි දින රාජ්‍ය භාණ්ඩාගාාරයේ ස්වකීය කටයුතු සඳහා මුදල් ලබා ගැනීම නොකළ බව ද කීය. මෙවැනි තත්ත්වයක හම්බන්තොට වරාය ඉදි කිරීම සඳහා ලබාගත් ණය ගෙවීමට සිදුවීමත් සමඟ විකල්පයක් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ චයිනා මර්චන්ට් වරාය සමාගම අතර ගිවිසුම් ගතවීම සිදු වූ බවත් හෙතෙම අවධාරණය කරයි.

කොළඹ කිංස්බරි හෝටලයේ පසුගිය දා පැවැති අන්තර් ජාතික අනුබද්ධිත වරාය ජාලයේ 19 වන සැසිය අමතමින් ඇමති මහින්ද සමරසිංහ මහතා එම අදහස් පළ කෙළේය.

මෙම ජාලයේ සභාපතිත්වය දරණ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා ද මෙහිදී අදහස් දක්වමින් තම ධූරකාලයේ දී මෙම ජාලයට තවදුටත් සාමාජික වරායන් වැඩිකර ගැනීමට කටයුතු කරන අතර ගත වූ කාලයේ දී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අභිවෘද්ධිය ජයග්‍රහණ වෙනුවෙන් කටයුතු කළ දායක වූ සියලු දෙනා ගෞරවනීය ලෙස සිහිපත් කරන බවද කීය.

වරායේ අනාගත අභිවෘද්ධිය උදෙසා ව්‍යාපෘති රැසක් සැලසුම් ‍කොට ඇති බවත් ඒ අනුව උතුරු කොළඹ වරාය ව්‍යාපෘතිය සැලසුම් කිරීමට සිදුවන බවත් පෙන්වා දුන්නේ ය. වරාය හා නාවික නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේ ය.

මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමුළුවට බංගලාදේශය, චීනය, ඉන්දුනීසියාව, ජපානය, දකුණු අප්‍රිකාව, දකුණු කොරියාව, පිළිපීනය, යන රටවල වරායන් හා සමුද්‍රීය ක්ෂේත්‍රයේ විශාල පිරිසක් එක්ව සිටි අතර දෙදිනක් පුරා මෙම සමුළුව පැවැත්විණි.

චන්ද්‍රිකා පෙරේරා
ඡායාරූප - සුදේශ් පටබැඳිගේ 

නව අදහස දක්වන්න