පුංචි ඡන්දය ජය ගැනීමට පක්ෂය සමඟි විය යුතුයි | දිනමිණ

පුංචි ඡන්දය ජය ගැනීමට පක්ෂය සමඟි විය යුතුයි

මැතිවරණ ජයග්‍රහණය සඳහා බෙදී සිටින ශ්‍රීලනිප කණ්ඩායම් දෙක එකට එකතු වීම අනිවාර්යයෙන්ම සිදු විය යුතු බවත් බෙදී වෙන් වූ සෑම අවස්ථාවකම පරාජය අත් වූ බව ඉතිහාසයෙන් පාඩම් ලබා ගත යුතු බවත් විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පෙන්වා දුන්නේ ය.

මැතිවරණ සටන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට ආරම්භ කර ඇති අතර එහි උණුසුම තවත් නොබෝ දිනකින් දැක ගත හැකි බව හෙතෙම සඳහන් කෙළේ ය. කොළඹ කාර්මික තාක්ෂණ ආයතනයේ ඊයේ (21) පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී රාජ්‍ය ඇමතිවරයා එම අදහස් පළ කෙළේ ය.

එහිදී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා මෙසේ ද කීය. පළාත් පාලන මැතිවරණය කල් යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් යම් චෝදනා එල්ල වුණා. නමුත් ජනාධිපතිවරයා සෑම විටම පැවසුවේ ඡන්දය කල් දැමීමේ අවශ්‍යතාවක් අපට නැති අතර ඒ සඳහා කිසිවිටෙක ඉඩ නොදෙන බවයි.

පසුගිය ආණ්ඩුව සේවා නිර්ණය නොගැලපෙන ලෙස සකසා තිබුණ නිසා එය වෙනස් කර නිසි ලෙස සකසන තෙක් මේ ඡන්දය පැවැත්වීමට කල් දමන්නට සිදු වුණා. නැතිනම් ශ්‍රීලනිප ඡන්දය කල් දානවාට කවදත් විරුද්ධයි. මේ වන විට ගම හා එක්ව වැඩකරන අපේක්ෂක කණ්ඩායමක් සෑම කොට්ඨාසයකටම වගේ ශ්‍රීලනිපය පත්කර අවසන්කර ඡන්දය සඳහා අප සුදානම් වූයේ මීට පෙර සිටයි.

පක්ෂය දෙකඩ කරන්න සමහරු උත්සහ කරනවා. එසේ පක්ෂය දෙකඩ වුණොත් එහි වාසිය එජායට ලැබෙන්නෙ. මහින්ද මහත්තයගෙ කාලෙත් ඊට පෙරත් අපේ පක්ෂය මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දුන්නා. එසේ දෙකඩ වූ අවස්ථාවල සිදු වුනේ විපක්ෂයට යාමට. එජාපයටත් එසේ බෙදීමෙන් පරාජය අත් වුනා. කුමන පක්ෂය බෙදුණත් පරාජය වූ බව අපි ඉතිහාසයෙන් පාඩම් ලබාගෙන තිබෙනවා. අප ඉතිහාසයේ මුහුණ දුන් දේ පාඩමකට ගෙන අනාගතයේ පක්ෂය ජයග්‍රහණයකර වීමට නම් බෙදී සිටින අය එක් විය යුතුයි. මෙය ශ්‍රීලනිපය ආරක්ෂාකර ගැනීමේ හා ජයග්‍රහණය කරවීමේ සටනක්.

ගමේ කඩ පිලේ කතාවෙනවා “දෙගොල්ලො එකතු වුනොත් බඩුම තමා“ කියලා. මෙයයි ඇත්ත ශ්‍රී ලංකා නිදහන් පක්ෂයේ පාක්ෂිකයන් මෙය තේරුම් ගත යුතුයි. පොදු විපක්ෂයේ බොහෝ දෙනෙක් මේ පිළිබඳ කතා කර තිබෙනවා. මේ ගැන මා කියන්නෙ ඔව් අපි එකතු වුනොත් තමයි ජය ගැනීමට හැකි වෙන්නේ. ඒ නිසා මොන ගැටලු තිබුණත් මේ මැතිවරණයේ දී එක් විය යුතුයි.

මේ වන විට අපි පොඩ්ඩ පොඩ්ඩ මැතිවරණ සටන ආරම්භ කර තිබෙන්නෙ. ඉදිරියේ දි වඩාත් උණුසුම් තත්ත්වයක් ඇති වේවි. මේ අනුව අපට මැතිවරණය කල් දැමීමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ.

අපි ඇත්ත සැඟවිය යුතු නැහැ දෙකට බෙදී කටයුතු කළොත් පරාජය අත්විඳීමට සිදුවේවි. එසේ දෙකඩ වුනොත් පක්ෂයට වන හානිය සුළුපටු නැහැ. එජාපයටත් ඉතිහාසයේ එවැනි දේට මුහුණ දීමට සිදු වුනා. එවිට වන්නේ විරුද්ධ පක්ෂයේ කාලයක් සිටීමට බව අපේ පාක්ෂිකයා දැනුවත් විය යුතුයි. මේ අපේ පරාජය පමණක් නොවේ. බෙදුණු දෙපිරිසම පරාජයට පත්වෙනවා. අපි පාක්ෂිකයන්ගෙන් ඉල්ලන්නෙ මෙසේ බෙදී වෙන් නොවන ලෙසයි.

අපි සෑම විටම පොදු විපක්ෂයේ අපේ කණ්ඩායම සමඟ සාකච්ඡා පවත්වමින් එකඟතාවකට ඒමට උත්සහ කරනවා. මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් අපි බොහෝ දේ අමතක කළ යුතුව තිබෙනවා. බොහෝ සංවිධායකවරුන්ට විරුද්ධව නීති මගින් කටයුතු කිරීමේ හැකියාව තිබුණත් මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ නොකර කාරුණිකව කටයුතු කරන්නෙ පක්ෂය සමඟව එකට එක්කර ගැනීමට ගනු ලැබූ පියවරක් ලෙසයි.

මහින්ද රාජපක්ෂ මහතා එක් වීමට එකඟ නොවී වෙනම පක්ෂයක් ලෙස ඉදිරිපත් වීමේ එකඟතාවයක ආවොත් එතුමාට අනාගතයේ දී ශ්‍රී ලනිපය කඩා දැමුවා ය යන චෝදනාව එල්ල වේවි. පක්ෂය පරාජය කරවීමේ වගකීම ඔහුට පිළිගැනීමට සිදුවේවි. මේ කුඩා ඡන්දයේ දී ගමේ ජනතාව බෙදා වෙන් නොකර එකමුතු කිරීම සඳහා හෝ එක් වීම වැදගත් . තරඟකර වෙන්ව ජය ගැනීමට අවශ්‍ය නම් පසුව මහ මැතිවරණයක දී එය කළ හැකියි. මෙය ප්‍රාදේශීය මට්ටමේ ඡන්දයක්. ගමේ පාක්ෂිකයා සමඟි කරවීමට එක්වීමයි අවශ්‍ය වන්නෙ. එමගින් අපට රටට පණිවිඩයක් දිය හැකියි.

මෙහිදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමතිවරයා මෙසේ ද සඳහන් කෙළේ ය.

මා කෝප් කමිටුවේ සාමාජිකයෙක් මහ බැංකු ගනු දෙනුව සම්බන්ධයෙන් එජාපයේ කණ්ඩායමක් වග කිව යුතු බව දුටුවා. ඒ අනුව ඉදිපත් කළ වාර්තාව අනුවයි ජනාධිපති කොමිසමක් පත්කළේ. ඇස් පනාපිටම වූ විශාල වංචාවක්. කෙසේ වුවත් මේ කොමිසම ඉදිරියේ අගමැති සාක්කි ලබා දීම ඉතා වැදගත් බව කිව යුතුමයි. එය රටට ආදර්ශයක්. කොහොම වුනත් මේ සොරකමට එක්වූ කිසිවෙකුට මෙයින් ගැලවී යා නොහැකියි. එමෙන්ම මේ කමිටු සාකච්ඡා යන අතර කමිටු සාමාජිකයන් හිටපු මහ බැංකු අධිපති සමඟ දුරකථන සාකච්ඡා පවත්වා තිබේ නම් අනිවාර්යයෙන්ම ඒ අය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගන්නා ලෙස මා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා. මෙහි වංචාවක් සිදුව තිබෙනවා . රටටම හෙළිව අවසන් කුමක් ද වි තිබෙන්නෙ කියා . නමුත් නීතිමය ක්‍රියාමාර්ග අනුව තීන්දුවක් එන තෙක් අප ඉවසා සිටිය යුතුයි. ජනතාවට හෝ වෙනත් කණ්ඩායමකට නීතිය අතට ගන්න බැහැ . ජනතාවට ඡන්දයක දි එයට නිසි පිළිතුරු ලබා දිය හැකියි. කෙසේ වුවත් සමහරු දුරකථන ඇමතුම් 200 ක් 300ක් ගෙන ඇති බව දැන ගැනීමට තිබෙනවා. මේ පිළිබඳ සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි.

මේ ගනු දෙනුව වගේම මීට පෙර මහ බැංකුවේ වූ ගනුදෙනු සම්බන්ධයෙන් ද සොයා බැලීමක් කළ යුතුයි.

එමෙන්ම මහ බැංකු අධිපති ලෙස විදේශිකයෙකු පත් කිරීම. පසුව තවත් තිදෙනෙක් සිරිකොතින් පත් කිරීම වැනි කාරණා ද ගැටලු සහගතයි. නමුත් අපට තීන්දු දිය නොහැකියි. ජනාධිපති කමිටුව ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත වාර්තා ලබාදීමෙන් පසු නිසි තීරණයක් ලබා ගැනීමට නීතිය කටයුතු කරාවි. ඒ අනුව අධිකරණයෙන් තීන්දුවක් දෙන තෙක් අපට බලා සිටීමට සිදු වෙනවා. කවුරු වුනත් වරදක් කර තිබේනම් දඬුවම් ලැබිය යුතුමයි .

ශ්‍රී ලනිපය කිසි විටෙක එජාපය සමඟ එක්ව තරඟ කරන්නෙ නැහැ. කුමක් වුවත් ඉතිහාසයේ පරාජය වූ අවස්ථා තිබුණත් ජලයේ එබූ රබර් බෝලයක් වගේ නැවත උඩට එනවා. එය වලක්වන්න බැහැ.

චන්ද්‍රිකා පෙරේරා
ඡායාරූපය- රුවන් ද සිල්වා 

නව අදහස දක්වන්න