ප්‍රජාතන්ත්‍රවාදය මිල අධිකයි | දිනමිණ

ප්‍රජාතන්ත්‍රවාදය මිල අධිකයි

වසන්ත ප්‍රිය රාමනායක

වර්තමානයේ නැවතත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ ක්‍රියාදාමයක් ගැන අසන්නට ලැබේ. එහි පෙර පැවති දෙකටම වඩා වෙනස්කම් කීපයක් දක්නට ලැබේ. උතුරේ ජනතාව නියෝජනය කරන දෙමළ සන්ධානය ඊට සක්‍රීයව දායක වීම හා පෙර අවස්ථා දෙකටම වඩා මහජන කථිකාවතක් ඇරඹීම ඉන් ප්‍රධානය.

1948 නිදහසින් පසු මේ වන විට ශ්‍රී ලංකාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකක් සම්මත කරගෙන ඇත. එය සිදුවූයේ එතරම් දුරදිග ගිය මහජන කථිකාවතකින් තොරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දය උපයෝගී කරගෙන බව පැහැදිලිය. සාමාන්‍යයෙන් සිදුවිය යුතුව තිබුණේ මහජන කථිකාවතකින් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමයි. මීට හොඳම උදාහරණය ද.අප්‍රිකාවයි. එහෙත් අපේ රටේ සිදුවූයේ එහි අනෙක් පැත්තයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තුනෙන් දෙකේ බහුතර බලය පමණක් උපයෝගී කර ගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්මත කර ගැනීමය.

1972 ව්‍යවස්ථාවෙන් ප්‍රධාන වශයෙන්ම සිදුවූයේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් ශ්‍රී ලංකාව නිදහස් වී රට ලැබූ නිදහස සම්පූර්ණ කර ගැනීමය. ඊට උතුරේ දේශපාලන පක්ෂවල නියෝජනයක් ද සිදුනොවුණි. එදා සමගි පෙරමුණු රජය සතු වූ තුනෙන් දෙකේ ශක්තිය මේ සඳහා උපයෝගී කරගැනුණි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යුහයට ‘ඒකීය’ සංකල්පය හා බුද්ධාගමට හිමි ප්‍රමුඛත්වය ස්ථාපිත වන්නේ 1972 ව්‍යවස්ථාව මඟිනි. ඒ සමගින්ම එම ව්‍යවස්ථාව අනුමත වන්නේ සුළුජන කොටස්වල නියෝජනයෙන් තොරවය. පසුකලෙක නිර්මාණය වූ ජනවාර්ගික අර්බුදය හා තිස්අවුරුදු සිවිල් යුද්ධයට ද මේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය ද වගකිව යුතුය.

ජනමතය යටයාම

1978 සිදුවූයේ ඊටත් වඩා අන්තයට යමින් පොදු ජනමතය හා සුළු ජනමතයෙන් ඈත්වූ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකි. එතෙක් පැවති ආණ්ඩුක්‍රම ව්‍යූහයම වෙනස් වූ හා උඩු යටිකුරු වූ ස්වරූපයක් 1978 ව්‍යවස්ථාවේ දක්නට ලැබුණි. ශ්‍රී ලංකාවට විධායක ජනාධිපති ක්‍රමයක් ස්ථාපිත වීම සිදුවන්නේ මෙමඟිනි. මෙම විධායක ජනාධිපතිවරයා කෙළින්ම මහජන ඡන්දයෙන් තෝරා පත්කර ගැනීම, පාර්ලිමේන්තුව හා පළාත් පාලන ආයතනවලට සමානුපාතික නියෝජනය ආදේශවීම 1978 ව්‍යවස්ථාවෙන් සිදුවූ මූලික ව්‍යූහාත්මක වෙනසක් ලෙසින් සැලකේ.

එසේම ව්‍යවස්ථාදායක හා අධිකරණ යන ක්ෂේත්‍ර දෙකම විධායක ජනාධිපති ධුරයට අවනත වීමේ ස්වරූපයක් පසුකලෙක එමඟින් දක්නට ලැබුණි. ඇමෙරිකාවේ ජනාධිපති වරයාටත් නොමැති බලයක් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා සතුව පවතිනවාය යන මතය රට තුළ ප්‍රචලිත වීමත්, එය ඒකාධිපති ස්වරූපය ආරෝපණය වූ බලයක් ලෙසින් හැඳින්වීමටත් සමහරු පෙලඹුනි.

වර්තමානයේ නැවතත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ ක්‍රියාදාමයක් ගැන අසන්නට ලැබේ. එහි පෙර පැවති දෙකටම වඩා වෙනස්කම් කීපයක් දක්නට ලැබේ. උතුරේ ජනතාව නියෝජනය කරන දෙමළ සන්ධානය ඊට සක්‍රීයව දායක වීම හා පෙර අවස්ථා දෙකටම වඩා මහජන කථිකාවතක් ඇරඹීම ඉන් ප්‍රධානය. එහෙත් මෙවැන්නක් වුවද කොතෙක් දුරට සාර්ථක වන්නේ දැයි කියන්න දන්නේ නැත.

මේ වන විට ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 70ක් සම්පූර්ණ කිරීමට ආසන්නය. එහෙත් තවමත් ශ්‍රී ලංකාව ජනතාව අතර පුළුල් කථිකාවතකට හා සංවාදයකට යොමු වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසා ගැනීමට නොහැකි වූ රටක් ලෙසින් ලෝක ඉතිහාසයට එක්ව තිබේ. එයම පවතින සංහිඳියාවේ ප්‍රශ්නයට හා සමෘද්ධිමත් රටක් නොවීමේ පසුබිමට ද හේතු වී තිබේ. යන්තම් පහළ මධ්‍ය ආදායම් ලබන රටක් බවට පත්වීම, වුවද සිදුවූයේ මෑත කාලයේදීය.

පසුගිය දා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ගෙවී ගිය සිවිල් යුද්ධය නිසා රටට අහිමි වූ මුදල රු. බිලියන 200ක් පමණ වන බවය. මේ නිසා නැතිවූ මිනිස් ජීවිත ප්‍රමාණය ලක්ෂයකට අධිකය. අහිමි වූ දේපළ වටිනාකම තවත් බිලියන සිය ගණනක් විය හැක. මේවා සම්බන්ධයෙන් තවමත් නිවැරදි තක්සේරුවක් සිදුකර නොමැත.

විශේෂයෙන්ම 1978න් පසු උඩුයටිකුරු වූ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ක්‍රමක්‍රමයෙන් ජනතාවට වග කියන පාලන ව්‍යූහයන් බවට පත් කිරීමේ යම් යම් ප්‍රතිසංස්කරණ මේ අතරතුර සිදු නොවෙනවාම නොවේ. මේ වන විට මුළු රටම සූදානමින් සිටින පළාත් පාලන ආයතනවලට නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද ක්‍රමය එවන් එක් ප්‍රතිසංස්කරණයකි.

දැනට පවතින පළාත් පාලන මැතිවරණ ක්‍රමය 1978 ව්‍යවස්ථාවේ ආකෘතියට අනුව සිදුවූවකි. එනම් කොට්ඨාසයකට වගකියන මන්ත්‍රීවරයකු වෙනුවට අදාළ පළාත් පාලන බල ප්‍රදේශයටම බලපාන පරිදි සමානුපාතික නියෝජනය යටතේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් පත්වේ. මේ නිසා නිෂ්චිතව ගමට වග කියන මන්ත්‍රීවරයකු පත් නොවුණි.

1978ට පෙර පැවතියේ ගමට වග කියන ගමේම කෙනෙක් ‘මැම්බර් මහතා’ යන නමින් අදාළ ගම්සභාවට, සුළු නගර සභාවට හෝ නගර සභාවට පත්වීමයි. විශේෂයෙන් ගම්සභාවලට පත්වූ මැම්බර් මහතා මේ අය අතුරින් ප්‍රචලිතය. ඔහු දීමනාවක් නොලැබූ එවැන්නකට ගැති නොවූ ස්වේච්ඡාවෙන් වැඩ කරන දේශපාලනඥයෙකි. විශේෂයෙන්ම තම ධනය වැය කරමින් දේශපාලනය කළ අයෙකි.

මැම්බර් මහතා

තමන්ට අයත් දේශපාලන බල ප්‍රදේශය නැතිනම් ගම් සභා ආසනය කුඩා වූ නිසා ඔහුට වැඩ කිරීමේ කාර්ය පහසු විය. එසේම නිතර නිතර අදාළ ප්‍රදේශයේ ජනතාව හමුවන, හමුවිය හැකි අයෙක් විය. මේ නිසා එතරම් දේශපාලන භේදයකින් තොරව ගමට වැඩ කරන සුන්දර දේශපාලනඥයෙක් ලෙසින් ‘මැම්බර් මහතා’ ප්‍රචලිත වුණි. දේශපාලන පක්ෂයට වඩා නෑ හිතවත්කම්, ගමේ සමිති සමාගම්වල වැඩ කිරීමෙන් හදාගත් පෞරුෂය ගම්සභා අසුනක් ජයගැනීම සඳහා මෙම පිරිසට පහසුවක් වුණි. එසේම අදාළ ගම්සභිකයා ගමේ දේශපාලන සබඳතා ඉක්මවා ගිය විවිධ සබඳතාවලින්ගොඩනැගුන අයෙකි.

එසේ වුවද ගමේ පක්ෂ දේශපාලනය සම්පූර්ණයෙන්ම බැහැර වූ බවක් මින් අදහස් නොවේ. එහෙත් පක්ෂ දේශපාලනය බොහෝ තැන්වල ද්වීතික කරුණක් බවට පත්ව තිබුණි. ජනප්‍රියත්වයක් සහිත ජනතාව සමඟ වැඩ කිරීමේ හැකියාවක් තිබූ විවිධ සමිති සමාගම් නියෝජනය කළ ජනප්‍රිය චරිතවලට ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙසින් ගම් සභාවකට, සුළුනගර සභාවකට හෝ නගර සභාවකට පත්වීමේ ඉඩක් මේ ක්‍රමය යටතේ පැවතුණි. සාමාන්‍ය බයිසිකලයකින් ගමේ සැරිසැරූ මැම්බර් ලෙසින් විරුදාවලිය ලත් ගමේ සුන්දර දේශපාලනඥයා අතුරුදහන්වූයේ 1978 ව්‍යවස්ථාව සමඟිනි.

වසර 40කට පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දෙන යහපාලන රජය යටතේ එම පැරණි ක්‍රමයට ආවේණික කොට්ඨාසයකට මන්ත්‍රීවරයෙකු ලැබීමේ නව පළාත් පාලන මැතිවරණ සම්ප්‍රදායක් නැවතත් අපට ලැබී තිබේ.

මේ සඳහා ඇරඹුමක් ලෙසින් අදාළ පළාත් පාලන පනත සංශෝධනය වී නව මැතිවරණ ක්‍රමය හඳුන්වා දීම ඇරඹුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ය. එහෙත් වත්මන් යහපාලන සමයේ ඊට අදාළ සීමානිර්ණ කටයුතු හා ඒ හා සම්බන්ධ ගැටලු නිරාකරණය වී ඇත. ඊට ප්‍රජාතන්ත්‍රවාදීව සෑහෙන කාලයක් ගතවී තිබේ. කලක් ගතවී හෝ ජනතාව බලාපොරොත්තු වන ආකාරයට නිවැරදිව යමක් සිදුවන්නේ නම් එය වැදගත්ය.

අලුත් මැතිවරණ ක්‍රමය

වත්මන් මැතිවරණ ක්‍රමය පැරණි ක්‍රමයම නොවේ. කේවල හා සමානුපාතික නියෝජනයන් දෙකම මුසුවූ මිශ්‍ර ක්‍රමයකි. මෙමඟින් ස්ථිරවම පළාත් පාලන මැතිවරණ බල ප්‍රදේශයකට එක් මන්ත්‍රීවරයෙක් ලැබේ. එය සමහර විට ග්‍රාමසේවා වසම් එකක්, දෙකක් හෝ තුනක් එක්ව ගොඩනැගෙන කොට්ඨාසයකි. පවතින පසුබිමට සාපේක්ෂව බලන කල කුඩා මැතිවරණ කොට්ඨාසයකි. මීට අමතරව අදාළ පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ලබාගන්නා පරාජිත ඡන්ද නැතිනම් කොට්ඨාසයකට මන්ත්‍රීවරයෙක් පත් නොවන ඡන්දවලින් සමානුපාතික නියෝජනයෙන් ද මන්ත්‍රීවරුන් කණ්ඩායමක් නව පළාත් පාලන බල ප්‍රදේශවලට පත්වේ. ්‍

මෙය නැවුම් දේශපාලන අත්දැකීමකි. මෙමඟින් එක් මන්ත්‍රී කොට්ඨාසයක්වත් ජය ගැනීමට නොහැකි දේශපාලන පක්ෂයකට කොට්ඨාස සියල්ලේම ඡන්ද එකතු කර සමානුපාතික නියෝජනයක් මඟින් මන්ත්‍රීවරුන් කීපදෙනෙක් පත්කර ගැනීමේ හැකියාව උදාවේ. මෙය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ක්‍රමයකි.

එහෙත් මේ සඳහා (සමානුපාතික නියෝජනයට) කොට්ඨාස මට්ටමින් පත්වන මන්ත්‍රීන් ප්‍රමාණයට අමතරව 40%ක ප්‍රතිශතයක් වෙන්වීම එතරම් යහපත් නැත.

මේ නිසා මෙවර මැතිවරණයෙන් පළාත් පාලන බල ප්‍රදේශවලට පත්වන මන්ත්‍රීන් සංඛ්‍යාව පැවති ප්‍රමාණයට වඩා දෙගුණයකට ආසන්න වී තිබෙන්නේ ද 40%ක් මන්ත්‍රීවරුන් මනාප ක්‍රමයට පත්වීම නිසාය. මේ නිසා අදාළ සභා අස්ථාවර නොවී පවත්වා ගැනීම සම්බන්ධයෙන් ද ප්‍රශ්න පැනනැගිය හැකිය. එහෙත් පළාත් පාලන මැතිවරණය අවසන් වී, ප්‍රතිඵල නිකුත්වී අදාළ සභාවන් පවත්වනතුරු මේ පිළිබඳ අනාවැකි පළ කළ නොහැකිය.

මේ වන විට මුළු රටම නව ආරේ පළාත් පාලන මැතිවරණයට මුහුණ දීමට සූදානමින් සිටී. මෙය වසර 40කට පසු ග්‍රාමීය හා නාගරික ජනතාවට ලැබෙන අලුත් අත්දැකීමක් රැගත් මැතිවරණ ක්‍රමයකි. මන්ත්‍රීවරුන්ගේ පඩිනඩි දීමනා සමගින් මේ සඳහා රට වශයෙන් පෙරට වඩා වැඩි මුදලක් වැය විය හැකිය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගත් කල එය වැඩි මුදලක් නොවේ. මෙහිදී ප්‍රජාතන්ත්‍රවාදය මිල අධික බව කිව මනාය. පහසුවෙන් ලබාගතහැක්කේ ඒකාධිපති ක්‍රමයක් පමණි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...