යහපාලන ආණ්ඩුව දූෂිතයන් රකිනවාද | දිනමිණ

යහපාලන ආණ්ඩුව දූෂිතයන් රකිනවාද

මැති ඇමැති නිලධාරීන් කරන ලද සියලු දූෂණ හා මිනීමැරුම් ආදියේ ලිපි ගොනු මහින්ද තබාගෙන එමඟින් මුළු රාජ්‍ය තන්ත්‍රයම බියගන්වා තමන්ට හා තම පවුලේ සාමාජිකයනට ජාතික ධනය රිසිසේ කොල්ලකෑමට අවස්ථාව උදාකරදී තිබුණි. මේ දූෂිත පාලන ක්‍රමය නිසා මුළු සමාජයම දූෂිතයන්ගේ සහ දූෂණයෙන් පිරුණු සමාජයක් බවට පත්විය.

2015 ජනවාරි 05 වැනිදා සිදු වූ දේශපාලන පෙරළිය නිදහස ලැබීමෙන් පසුව අප රට සිදු වූ වැදගත්ම සිද්ධියක් ලෙස ඉතිහාසයට එක් වී ඇත. කිසිවකුට පරාජය කළ නොහැකි යැයි සිතා සිටි රාජපක්ෂ ජුන්ටාව අන්ද මන්ද කරමින් මෙරට හැට‍දෙලක්ෂ පනස්දහසකට අධික ජනතාව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට ඔසවා තැබීම ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් ගත් අතිශය තීරණාත්මක බුද්ධිමත් තීන්දුවකි. එදා අප රටේ අහිංසක බුද්ධිමත් ජනතාව එම තීන්දුව නොගත්තා නම් අද අපේ රටට තවත් ‘රොබට් මුගාබේ’ කෙනෙක් ලැබෙන්නට ඉඩ තිබුණි.

යහපාලන රජය බලයට පත් වී දැනට මාස 34ක් පමණ ගත වී ඇත. මේ කාලය තුළ රජය ජනතාවට ලබාදුන් ප්‍රධාන පොරොන්දුවලින් සෑහෙන කොටසක් ඉටු කර ඇත. ප්‍රධාන වශයෙන්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, අධිකරණය හා පොලිසිය ස්වාධීන කිරීම, යහපාලනය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය වන ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම, තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කිරීම ආදී ව්‍යවස්ථාමය අණපනත් පාර්ලිමේන්තුව මඟින් සම්මත කොට ක්‍රියාත්මක කිරීමට සැලැස්වීම් අතින් යහපාලන ආණ්ඩුව සිය යුතුකම හා වගකීම ඉටු කර ඇත. 2015 ජනවාරි 08 යහපාලන රජය බලයට පත් කළ ජනතාව බලාපොරොත්තු වූයේ දූෂණය, භීෂණය, නාස්තිය තුරන් කර සැමට නිදහසේ ජීවත්වීමට හැකි පරිසරයක් බිහි කළ හැකි ආණ්ඩුවක් බිහි කර ගැනීමයි.

ජනතා ප්‍රසාදය හීන වීම

අද ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ මාධ්‍ය නිදහස දෝරේ ගලන ආණ්ඩුවක් පැවැතියද මහජනතාව බලාපොරොත්තු වූ දූෂණය හා නාස්තිය පිටුදැකීමට රජය ගනු ලබන තීරණ පිළිබඳ මහජනතාවගේ එතරම් ප්‍රසාදයක් නැත. විශේෂයෙන් රාජපක්ෂ සමයේ කරන ලද දූෂණයන් හා වංචාවන් පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙන නමුත් ඒවා ‘ඉබි ගමනින්’ ක්‍රියාත්මක වන බවට ජනතාව මැසිවිලි නඟති. පසුගිය රජයේ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන් සහ ඔහුගේ සහචර මැති ඇමැතියන් ඔවුනට කට්ටඩිකම් කළ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ආදිය මඟින් මේ දූෂිතයන්ට එරෙහිව නීත්‍යානුකූල විමර්ශන පවත්වා පරීක්ෂණ වාර්තා 125කට අධික ප්‍රමාණයක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත. පසුගිය වසර දෙක ඇතුළත මේ දූෂණය පිළිබඳ නඩු අසා දඬුවම් පැමිණවූයේ සිල් රෙදි බෙදාදීමේ වංචාවට හසු වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ලේකම් වූ ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වූ අනූෂ පැල්පිට යන විත්තිකරුවන් දෙදෙනාට පමණි. එම චූදිතයෝද එක් දිනක්වත් සිර කුටියක නොරැඳී ඉතා සුවසේ බන්ධනාගාර රෝහලේ ගත කොට ආශ්චර්යමත් ලෙස ඇප ලැබී අද නිදහස් සුවය විඳිමින් සිටිති. රුපියල් ලක්ෂ 6000ක රජයේ මුදල් මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය සඳහා වැය කිරීම නීති විරෝධී ක්‍රියාවක් බවට තීරණය කළ උගත් මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මේ දූෂිතයනට අවුරුදු 3ක සිරදඬුවමක් හා රුපියල් ලක්ෂ 1000ක දඩයක් නියම කරමින් අධිකරණ ඉතිහාසයේ ඉතාම වැදගත් නඩු තීන්දුවක් ලබා දුනි. මේ අතරට අඹ ගෙඩි 3ක් කඩා ගත් මහලු කාන්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ බවට පසුගිය දා පුවත්පත් වාර්තා පළ වී තිබුණි. යහපාලන ආණ්ඩුව ජනතාවට පොරොන්දු වූයේ නීතිය සෑම දෙනාටම සාධාරණව ක්‍රියාත්මක කරන බවයි. නමුත් සමාජයේ දිළිඳු ජනතාවට නීතිය සාධාරණව ඉටු වන බවක් පෙනෙන්නට නැත. මෙය මුළු මහත් සමාජයම කණස්සල්ලට පත්වන කාරණා බවට පත් වී ඇත.

මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ ශිරන්ති රාජපක්ෂ, නාමල්, යෝෂිත, රෝහිත, බැසිල්, ගෝඨාභය ආදී සියලුම පවුලේ සාමාජිකයන්ට එරෙහිව දූෂණ චෝදනා එල්ල වී එම චෝදනා විධිමත් ලෙස විමර්ශනයට ලක් කොට අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කොට උගත් නීති විශාරදයන් ලවා එම චෝදනා හා විමර්ශන වාර්තා නිරීක්ෂණය කොට නීතිපතිවරයා විසින් මොවුනට එරෙහිව නඩු පවරා ඇත.

මහින්ද රාජපක්ෂ සිය ජනාධිපතිවරණය සඳහා ස්වාධීන රූපවාහිනී ආයතනයේ ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් මිලියන 150කට ආසන්න මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් මහා පරිමාණ දූෂණ සෙවීම පිළිබඳ පරීක්ෂණ කරන ජනාධිපති කොමිසම මඟින් දීර්ඝ කාලයක් විමර්ශනය කර ඔහුට එරෙහිව නඩු පැවරීමට නිර්දේශ කෙරිණි. මීට අමතරව ජනාධිපතිවරණ රැස්වීම් සඳහා පුද්ගලයන් ප්‍රවාහනය කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යොදා ගැනීමටත් එම ආයතනයට රුපියල් මිලියන 1500ක් නොගෙවීම සම්බන්ධයෙන් ද විමර්ශනය කර නඩු පවරා ඇත. අද දක්වා මේ නඩුවලට සිදුවූයේ කුමක්දැයි යන්න අභිරහසක් වී ඇත.

ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය ගිණුමේ රුපියල් කෝටි 40 මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශනය සිදු කළ අතර ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව මඟින් ද මේ දූෂණ පිළිබඳ විමර්ශන කරනු ලැබීය. මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා පවා මේ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂිදීමට ගිය නමුත් ශිරන්ති රාජපක්ෂට එවක කථානායක චමල් රාජපක්ෂගේ නිල නිවසේ සාක්ෂි ලබාදීමට අවසර ලබාදී තිබුණි. මේ සිද්ධිය සිවිල් සමාජයේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය.

කළු සල්ලි සුදු කිරීම

මහින්ද රාජපක්ෂගේ දෙටු පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව ද දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු පවරා ඇත. නාමල් රාජපක්ෂ සිය නීති සමාගම මඟින් කරන ලද කළු සල්ලි සුදු කිරීමේ නීති විරෝධී ක්‍රියාවලින් රුපියල් මිලියන ගණනාවක් අයුතු ලෙස උපයාගෙන ඇති බවට පොලිස් විමර්ශන මඟින් තහවුරු වී ඇත. මේ නඩු නිතිපතාම කල්යෑම සාධාරණත්වය බලාපො‍රොත්තු වන ජනතාවගේ කණස්සල්ලට හා දැඩි පිළිකුලට ලක් වී ඇත. රජය පවසන්නේ අධිකරණයේ කටයුතුවලට තමන් ඇඟිලි නොගසන බවයි. කරුණු කාරණා කෙසේ වුවද නඩුවලට උසාවි ගොස් එන අතරමඟදී මාධ්‍ය සංදර්ශන පැවැත්වීම මොවුන්ගේ පුරුද්දක් වී ඇත. මයික් අල්ලන එක් මාධ්‍යවේදියෙක්වත් මේ චූදිතයන්ගෙන් උසාවි පැමිණි කාරණය විමසන්නේ නැත. මේ චුදිතයන් මහා වීරයන් සේ පවසන්නේ දේශපාලන පළිගැනීම් සඳහා තමන්ට මේ චෝදනා ඉදිරිපත් කරන බවයි. පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව වසර ගණනාවක් මේ දූෂණ පිළිබඳ විමර්ශනය කර B වාර්තා මඟින් සාක්ෂි සහිතව සියලු දූෂණයන් පිළිබඳ කරුණු අනාවරණය කරගෙන තිබියදීත් චූදිතයන් පවසන්නේ මේ චෝදනා දේශපාලන පළිගැනීම් සඳහා ඉදිරිපත් කර ඇති ඒවා බවයි. මාධ්‍යකරුවන් ද ප්‍රශ්න කරන්නේ දූෂණ චෝදනා ගැන නොව හම්බන්තොට වරාය විකිණීම, මත්තල ගුවන්තොටුපළ විකිණීම, තෙල් ටැංකි විකිණීම ආදී කරුණු පිළිබඳවයි. මොවුන් උසාවියට පැමිණි කාරණය කිසිදු මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කරන බවක් පෙනෙන්නට නැත. රජයේ දේපළ බිලියන ගණනින් කොල්ලකා ඒවා පොලිස් පරීක්ෂා මඟින් ඔප්පු වී තිබියදීත් තමන් සටන් කරන්නේ ජනතා දේපළ රැක ගැනීමට බව වීරයන් සේ මේ දූෂිතයන් පවසන අතර, ඒවා ප්‍රධාන සිරස්තල බවට පත් කිරීමට සමහර මාධ්‍යකරුවෝ සැදී පැහැදී සිටිති. මෙය යහපාලන ආණ්ඩුව මඟින් ලබාදුන් මාධ්‍ය නිදහස වෛශ්‍යා වෘත්තියේ යෙදීමක් බඳුය.

යෝෂිත රාජපක්ෂ ද රජයේ මුදල් සහ දේපළ අවභාවිත කිරීමට සම්බන්ධව චෝදනාවලට ලක්වී බන්ධනාගාරගතව දැනට ඇප පිට සිටින පුද්ගලයෙකි. CSN නාලිකාවට රුපියල් මිලියන ගණනින් යෙදවූ ආකාරය නාවික හමුදාවේ නිලතල දරමින් සිටින විට පෞද්ගලික විද්යුත් නාලිකා පවත්වාගෙන යෑම අයුතු ලෙස උපයාගත් මුදල්වලින් දෙහිවල ප්‍රදේශයේ රුපියල් කෝටි ගණනක් වටිනා දේපළ අත්පත් කර ගැනීම මොහුට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනාවලින් සමහරකි. මේ දේපළ ඩේසි මිත්තණියගෙන් ලැබුණු බව යෝෂිත පවසයි. ඇය පවසන්නේ දිනක් පුද්ගලයෙක් මැණික් මල්ලක් ගෙනත් දී පසුව මැණික් මල්ල ඉල්ලාගෙන මුදල් මල්ලක් දී ගිය බවයි. ලෝක ඉතිහාසයේම මෙබඳු විශ්මිත සිදුවීමක් අසන්නට නැත. ඩේසි මිත්තණියගේ සාක්ෂිය ඇය ගෙතූ කථාවක් විය නොහැකිය. ඉහළින් ලැබූ නීති උපදෙස් අනුව මෙවැනි ප්‍රකාශයක් කරන්නට ඇත.

මේ නඩුවත් දිනෙන් දින කල්යනවා විනා විභාගයට ගැනීමක් සිදුවන බව පේනතෙක් මානයකවත් නැත. ජනතාව දොස් පවරන්නේ ආණ්ඩුවටය. සමහරු පවසන්නේ රනිල් මහින්ද ඩීල් නිසා මේ නඩු ප්‍රමාද වන බවය. තවත් සමහරු හිටපු අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ නිසා නඩු ප්‍රමාදවන බවට චෝදනා කරති. කරුණු කාරණා කෙසේ වුවද දූෂිතයන්ට එරෙහි නීතිය ක්‍රියාත්මක වීම ඉතා මන්දගාමීව සිදුවන බවට ජනතාව කරන චෝදනාව සැහැල්ලුවෙන් බැහැර කළ නොහැක.

බැසිල් රාජපක්ෂටද දූෂණ චෝදනා කප්පරක් ඉදිරිපත් වී ඇත. සුප්‍රසිද්ධ මල්වානේ මාලිගාව පිළිබඳ බැසිල්ට ඉදිරිපත් වී ඇති චෝදනා ඉතා බැරෑරුම් ඒවා වුවද මේ දේපළ තමන්ට අයත් නොවන බව ප්‍රසිද්ධියේ කීමට තරම් බැසිල් නිර්භය වී ඇත. අධිකරණය මගින්ද මේ දේපළ රජයට පවරා ගැනීමට එක්වරක් යෝජනා කර තිබූ අතර තවත් වරෙක ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා දැමීමට තීන්දු කර තිබුණි. ඉදිරිපත් වී ඇති කාරණා අනුව බැසිල්ගේ බිරිඳ පුෂ්පා මේ මාලිගාව තැනීමට සුප්‍රසිද්ධ රාජකීය දෛවඥ සුමනදාස අබේගුණසේකරගෙන් නැකත් ලබාගත් බවත් ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩිට නිවාස සැලසුම හා ඉදිකිරීමට අවශ්‍ය උපදෙස් ලැබුණු බවත් පුවත්පත් වාර්තාවල සඳහන් විය. කොතරම් සාක්ෂි තිබුණද බැසිල්ගේ මේ දේපළ පිළිබඳ නිරවුල් තීන්දුවක් මේ දක්වාම ලැබී නැත.

ඥ‍ාතීන්ගේ නමට දේපළ

මාතර බ්‍රවුන්හිල් (Brown Hill) ඉඩම සහ ගෙය අත්පත් කර ගැනීම පිළිබඳ බැසිල්ට චෝදනා ඉදිරිපත් වී ඇත. පොලිස් පරීක්ෂණ අනුව අනාවරණය වී ඇත්තේ බැසිල්ගේ පිටරට සිටින ‍ඥාතියකුගේ නමට මේ දේපළ බැසිල් විසින් මිලට ගෙන ඇති බවයි. මීට අමතරව දිවි නැඟුම අරමුදලේ රුපියල් බිලියන ගණනින් වංචාවක් සිදුවී ඇති බවට චෝදනා ලැබී බන්ධනාගාරගත වී මාස ගණනක් සිටියත් එක් දිනක්වත් සිර මැදිරියක සිටීමට තරම් බැසිල් අවාසනාවන්ත වී නැත. අමෙරිකාවේ සිට දිවයිනට පැමිණෙන අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපළේ කටු කම්බි වැටවල් උඩින් පැනගෙන පැමිණි නමුත් අත්අඩංගුවට ගැනීමෙන් පසුව එක්වරම බන්ධනාගාර රෝහලට ඇතුළු වෙයි. ඉන්පසුව කොළඹ මහ රෝහලේ ඇති සුඛෝපභෝගී මර්චන්ට් වාට්ටුවේ නේවාසික රෝගියකු ලෙස මාස ගණනාවක් සනීප ගනී. අධිකරණයට ගෙන යනු ලබන්නේ ගිලන් රථයකිනි. විනිසුරුවරයා ගිලන් රථයට පැමිණ සුව දුක් විමසා නැවත බන්ධනාගාරගත කරයි. නමුත් යන්නේ මර්චන්ට් වාට්ටුවටය. මේ විහිලු තහළු මේ රටේ ජනතාව විඳ ගන්නේ කෙසේදැයි විමතියට කරුණක් වුවත් කරුණු කාරණා සිද්ධවූයේත් සිද්ධවන්නේත් ඒ ආකාරයටය. ඇප ලැබුණු පසු සියලු රෝග නිවාරණය වී නැවතත් රට වටේ යයි. දැන් අලුත් පොහොට්ටු පක්ෂය පිහිටුවාගෙන 2020 රාජ්‍ය බලය අල්ලා තමන්ට එරෙහිව කටයුතු කරන පොලිස් නිලධාරීන්ට දඬුවම් කරන බවට ද තර්ජනය කරමින් සිටී. බැසිල්ට විරුද්ධව මහාධිකරණයේ නඩු රාශියක් පවතින අතර එම නඩු ද දින නියමයක් නැතිව විවිධ හේතු දක්වමින් කල් දමමින් සිටී.

අනාගත ජනාධිපතිවීමට සිහින දකිමින් සිටින අමෙරිකානු පුරවැසි ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විවිධ මිනීමැරුම් හා දූෂණ සම්බන්ධයෙන් චෝදනා රාශියක් එල්ල වී ඇත. මේ චෝදනාවලින් ප්‍රධානතම දූෂණ චෝදනාව වන්නේ පසුගිය යුද සමයේ දී රුසියාවෙන් මිලට ගත් ජෙට් යානා ගනුදෙනුවකදී ඩොලර් මිලියන ගණනක් කොමිස් මුදල් ලබාගැනීමේ චෝදනාවයි. ‘වීරකැටිය ව්‍යාපෘතිය’ නමින් බොරු ව්‍යාපෘතියක් පෙන්වා පහත්බිම් සංවර්ධන මණ්ඩලයේ රුපියල් මිලියන 95ක් වැය කොට ඩී. ඒ. රාජපක්ෂ හා ඔහුගේ බිරිඳගේ සොහොන් කොත් සෑදීම පිළිබඳව ගෝඨාභයට එරෙහිව චෝදනා එල්ල වී ඇත. අනෙක් රාජපක්ෂවරුන්ට මෙන් නොව ගෝඨාභයට මිනීමැරුම් පැහැර ගැනීම් පිළිබඳ චෝදනාව එල්ල වීම විශේෂ කරුණකි. සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග, වසීම් තාජුඩීන් ඝාතනය, එක්නැලිගොඩ පැහැරගෙන යෑම, වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ ජනතාවට වෙඩි තබා සිසුන් තිදෙනකු ඝාතනය කිරීම, පුත්තලම ධීවරය ඝාතනය කිරීම, කටුනායක රොෂෙල් චානක ඝාතනය, 2012 වැලිකඩ බන්ධනාගාරයේ සැකකරුවන් 27 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීම, පෝද්දල ජයන්ත, කීත් නොයර්, තෙන්නකෝන් ආදී මාධ්‍යවේදීන්ව පහර දී අත පය කඩා දැමීම ආදී චෝදනා රාශියක් ගෝඨාභයට එරෙහිව එල්ල වී ඇත.

බිලියන ගණනින් කොමිස්

ඇවන්ගාඩ් සමාගමෙන් රුපියල් බිලියන ගණනක කොමිස් මුදල් ලබාගැනීම වැනි දූෂණ චෝදනාවලට ද මොහු ලක් වී සිටියද මේ දක්වා මොහුට විරුද්ධව නඩු පවරා නීතිමය පියවර ගැනීමට බලධාරීන් අපොහොසත්වීම ද යහපාලන ආණ්ඩුවට එරෙහිව ජනතාව එල්ල කරන තවත් චෝදනාවකි. මොහුට විරුද්ධව ඇති නඩු විභාග නිරන්තරයෙන්ම කල්යෑම සාධාරණය පතන ජනතාවගේ කණස්සල්ලට හා කෝපයට ලක්වී ඇත. ‘සියලුම කුණු බේරුවල බොක්කට’ කීවා සේ ජනතා අපවාදය එල්ල වී ඇත්තේ යහපාලන ආණ්ඩුවටය.

රාජපක්ෂවරුනට එරෙහිව එල්ල වී ඇති චෝදනා ගණන පිළිබඳ විමසා බලන විට මොවුන් සමාජයේ කිසිදු විලි ලැජ්ජාවකින් තොරව හැසිරෙන්නේ කෙසේදැයි ලැජ්ජා බය ඇති සාමාන්‍ය ජනතාවට ප්‍රශ්නයකි. රාජපක්ෂලාගේ විවරණය අනුව මේ සියලු චෝදනා දේශපාලන පළිගැනීම් නම් රජයේ නීතිපති ඇතුළු නීතිඥ මණ්ඩලවල සාමාජිකයන්, පොලිස්පති ඇතුළු උසස් පොලිස් නිලධාරීන් අධිකරණ විනිසුරුවරුන් ඇතුළු සියල්ලම ඒකපාක්ෂිකව කටයුතු කර ඇත. රටේ පවතින නීතියට අභියෝග කිරීමට තරම් දූෂිතයන් මිනීමරුවන් එඩිතර වී ඇති බවත් මෙයින් ගම්‍ය වේ.

රාජපක්ෂ පවුල හැරුණු විට ඔහුගේ ආණ්ඩුවේ සිටි මැති ඇමැතිවරු රාශියක් දූෂණ චෝදනාවලට ලක්වී සමහරු බන්ධනාගාරගත වී සිට අද ඇප මත මුදා හැර ඇත.

රෝහිත අබේගුණවර්ධන හෙවත් රත්තරං රුපියල් මිලියන 400 වත්කම් ඉපැයූ ආකාරය තහවුරු කිරීමට අපොහොසත් වීම නිසා අල්ලස් කොමිසම විසින් නඩු පවරා එම නඩු විභාගයට දින නියම කර ඇත. මහින්ද රාජපක්ෂ සමයේ මොහුට එරෙහිව අල්ලස් කොමිසම විමර්ශන කටයුතු සිදුකරන විට නාගයකු දෂ්ඨ කිරීම නිසා පරීක්ෂණයට පැමිණීමට නොහැකි බව දන්වා පරීක්ෂණයට ඉදිරිපත් නොවීය. එම විමර්ශන මහින්ද රාජපක්ෂ රජය සදාකාලිකව හමස් පෙට්ටියට දා තිබුණි.

ශ්‍රීලනිප උප සභාපතිවරයකු වන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගමට එරෙහිව අල්ලස් ලබාගැනීම හා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කරන ලද නීති විරෝධී පත්කිරීම් සම්බන්ධව දැනට මහාධිකරණයේ නඩු පවරා ඇත.

හිටපු සමුපකාර හා වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව දූෂණ චෝදනා රාශියක් එල්ල වී බන්ධනාගාරගතව සිට දැනට ඇප පිට සිට මොහුට විරුද්ධව නඩු 5ක් පමණ මහාධිකරණයේ විභාගවීමට නියමිතය.

අල්ලස් චෝදනා

හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව ද අල්ලස් කොමිසමේ හා මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් චෝදනා රාශියක් ගොනු කොට මහාධිකරණයේ නඩු විභාග වෙමින් පවතී.

ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු වන ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා රජයේ ඉඩමක් පුද්ගලයකුට නීති විරෝධී ලෙස ලබාදී රුපියල් මිලියන 64ක් අල්ලස් ගැනීම පිළිබඳව මහාධිකරණයේ නඩු විභාග වෙමින් පවතී.

මහින්ද රාජපක්ෂගේ බැගේජ් බෝයි (Baggage Boy) ලෙස රාජපක්ෂ පවුලේ අය හැඳින් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන රුපියල් බිලියන ගණනාවක රජයේ මුදල් අවභාවිත කොට තමාගේ සමාගම්වලට යෙදවීම සම්බන්ධව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශනය කොට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කොට දැනට ඇප මත නිදහස්ව සිටී.

ප්‍රභාකරන්ට රුපියල් මිලියන 800ක කප්පම් ගෙවීමට අතරමැදියකු ලෙස ක්‍රියා කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ද බන්ධනාගාරගතව සිට දැනට ඇප පිට නිදහස්ව මහාධිකරණ නඩුවලට පෙනී සිටීමට නියමිතව සිටී. උතුරේ නිවාස ව්‍යාපෘතියකට රජයේ මුදල් රුපියල් මිලියන 600ක මුදල් ලබාගෙන එකම ගෙයක්වත් සාදා නැති බව පොලිස් පරීක්ෂණවල දී හෙළිවී ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දේශ හිතෛෂියා ලෙස ජනතාව ඉදිරියේ පාරම්බාන මහින්දගේ අග්‍ර පුරෝහිතයකු වන විමල් වීරවංශ රජයේ වාහන 41 අවභාවිතය කිරීම, රුපියල් කෝටි ගණනක් වටිනා නිවාස තම ඥාතීන්ට ලබාදීම, ව්‍යාජ ගමන් බලපත්‍ර සැකසීම හා තම බිරිඳ සමඟ එම ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිත කොට විදේශ සංචාර කිරීම යන චෝදනාවලට ලක්වී බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව මහාධිකරණ නඩු විභාගවලට මුහුණ දෙමින් සිටී.

ඇල්වතුර පවා නිවා බොන බව පවසන පිවිතුරු හෙළ උරුම නායක (සභාපති ලේකම් මාධ්‍ය ප්‍රකාශක) උදය ගම්මන්පිල මහතා ද ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් (Brian Shaddick) සතු සමාගමකින් රුපියල් මිලියන 21 කොටස් වංචා සහගතව විකිණීම සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාරගතව සිට දැනට ඇප පිට නිදහස්ව මහාධිකරණ නඩු විභාගයට පෙනී සිටිමින් සිටී.

මීට අමතරව කෙහෙළිය රඹුක්වැල්ල, සරත් කුමාර ගුණරත්න, ප්‍රියංකර ජයරත්න යන මන්ත්‍රීවරු රජයේ මුදල් දේපළ අවභාවිතය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අධිකරණය ඉදිරියේ නඩුවලට පෙනී සිටී.

මහින්ද රාජපක්ෂගේ මැති ඇමැතිවරුන් හැර ඔහුගේ වටේ සිටි උසස් රාජ්‍ය නිලධාරීන්වන ලලිත් වීරතුංග, අනූෂ පැල්පිට, අජිත් නිවාඩ් කබ්රාල්, පී. බී. ජයසුන්දර මහාමාර්ග ඇමැති හිටපු ලේකම් රංජිත් ප්‍රේමසිරි වෛද්‍ය නිහාල් ජයතිලක, ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයා වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ, මහින්දගේ මස්සිනාවන අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය වරායේ හිටපු සභාපති වික්‍රම හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවා යන පුද්ගලයන් ද රාජ්‍ය දේපළ මංකොල්ල කෑම පිළිබඳ චෝදනාවලට ලක්වී බන්ධනාගාරගතව අද ඇප පිට නිදහස්ව මහාධිකරණ නඩුවලට චූදිතයන් ලෙස ඉදිරිපත් කර ඇත. මහින්ද රාජපක්ෂගේ කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු කණ්ඩායමක් රුපියල් කෝටි 4500ක් වංචා කිරීම නිසා අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් භාරයේ පසුවෙති.

මේ කරුණු විස්තර සහිතව ඉදිරිපත් කළේ යහපාලන රජය දූෂිතයන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ඇතැම් අන්තගාමී කොටස් ඉදිරිපත් කරන චෝදනාවලට පිළිතුරු වශයෙනි. චූදිතයන්ට එරෙහිව ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග ඉතා මන්දගාමීව සිදුවන බවට බොහෝ දෙනා දරන මතය අසාධාරණ යැයි පැවැසිය නොහැක. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට ගරු කරන නීතිය සැමට සාධාරණව ඉටු කිරීමට බැඳී සිටින යහපාලන ආණ්ඩුවකට පවතින නීති රාමුවෙන් පරිබාහිරව අත්තනෝමතිකව ක්‍රියා කිරීමට නොහැකි බව ද සිහි තබාගත යුතු කරුණකි. රාජිත සේනාරත්න ඇමැතිවරයා පවසා ඇති පරිදි ‘ආණ්ඩුව වෙනස් වුවද රාජ්‍ය තන්ත්‍රය වෙනස්වී නැති බව’ මෙහි දී විශේෂයෙන් සඳහන් කිරීම වටී.

නීතිය සර්ව සාධාරණව

මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු ඉතා වැදගත් කරුණක් වන්නේ යහපාලන ආණ්ඩුව පසුගිය ආණ්ඩුවේ දූෂිතයන්ට පමණක් නොව යහපාලන ආණ්ඩුවේ දූෂණ ක්‍රියාවලට සම්බන්ධ යැයි චෝදනා ලැබ ඇති එහි ඇමැතිවරුන්ට හා නිලධාරීන්ට එරෙහිවද නීතිය සර්ව සාධාරණව ක්‍රියාත්මක කිරීමයි. හිටපු මහ බැංකු අධිපතිවරයා සහ ඔහුගේ බෑනාට එරෙහිව තිබූ චෝදනා විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කිරීම, හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා මුදල් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීම, හිටපු ගුවන් සේවා අධ්‍යක්ෂ ප්‍රියංකර ජයරත්න ඇමැති ධුරයෙන් ඉවත් කිරීම, අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ කැබිනට් සාමුහික වගකීම කඩකිරීම නිසා ඇමැති ධුරයෙන් ඉවත් කිරීම, දැනට විදේශ ඇමැති තිලක් මාරපන ඇවන්ගාඩ් දූෂණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කරන ලද ප්‍රකාශයක් නිසා ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීම, ඇමැති ෆවුසිට එරෙහි වාහන අවභාවිතය සම්බන්ධයෙන් නඩු පැවරීම ආදී සිද්ධීන්ගෙන් පැහැදිලි වන්නේ යහපාලන ආණ්ඩුව දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් පුද්ගල‍යාගේ තරාතිරම නොබලා නීතිය හමුවට ගෙනඒමට තරම් නිර්භය වීමයි.

රාජපක්ෂ සමයේ මැති ඇමැති නිලධාරීන් කරන ලද සියලු දූෂණ හා මිනීමැරුම් ආදියේ ලිපි ගොනු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තබාගෙන එමඟින් මුළු රාජ්‍ය තන්ත්‍රයම බියගන්වා තමන්ට හා තම පවුලේ සාමාජිකයනට ජාතික ධනය රිසිසේ කොල්ලකෑමට අවස්ථාව උදාකරදී තිබුණි. දූෂිතයන්ගේ ලිපිගොනු තමා ළඟ තිබෙන බව මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබුණි. මේ දූෂිත පාලන ක්‍රමය නිසා මුළු සමාජයම දූෂිතයන්ගේ හා දූෂණයෙන් පිරුණු සමාජයක් බවට පත්විය. මේ දූෂිතයන් හා දූෂණයන් සාධාරණව කිරීමට ඇතැම් භික්ෂූන් පවා ඉදිරිපත්වීම කෙතරම් ‍ශෝචනීය තත්ත්වයක්ද? රාජපක්ෂලා හොරකම් කලා තමයි ඒත් සංවර්ධන වැඩ කළා යැයි ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලා ලවා දේශනා කරවීමට තරම් රාජපක්ෂලා නින්දිත තත්ත්වයට පත්ව තිබුණි.

යහපාලන ආණ්ඩුවට එරෙහිව එල්ලවන ප්‍රධානම චෝදනාවක් වන දූෂිතයන්ට එරෙහි ක්‍රියාමාර්ගයන් මන්දගාමීවීමට යහපාලන ආණ්ඩුවේ සිටි මැති ඇමැතිවරුන් ද වගකිවයුතු බව සිවිල් සමාජ ක්‍රියාකාරීන් නඟන චෝදනාවකි. හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ බොහෝ සිවිල් ක්‍රියාකාරීන්ගේ විවේචනයට ලක්වූ පුද්ගලයෙකි. අවුරුදු දෙකහමාරක් පමණ ඉතා වැදගත් ඇමැති ධුරයක් දැරූ මොහු රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීමට කොතරම් උනන්දුවෙන් තම කටයුතු කළාද කිවහොත් ‘තමා අධිකරණ ධුරයේ සිටින තාක්කල් ‘ගෝඨාභය’ අත්අඩංගුවට ගැනීමට ඉඩ දෙන්නේ නැතැයි’ වහසි බස් දෙඩීමට පාර්ලිමේන්තු වරප්‍රසාද උපයෝගී කර ගැනීමට තරම් නිර්භීත විය. එමෙන්ම ගෝඨාභය සමඟ එක්වී රුපියල් බිලියන ගණනක් නාවුක හමුදාවට පාඩු කළ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති සමඟ අමෙරිකාවේ පවුල් පිටින් විනෝද සවාරි ගැසූ බවද ඡායාරූප සමඟ පුවත්පත්වල පළ විය.

දූෂිතයන් ආරක්ෂා කළ අධිකරණ ඇමැතිවරයකු යටතේ මේ තරම්වත් නඩු ප්‍රමාණයක් රාජපක්ෂවරුන්ට එරෙහිව‍ ගොනු කිරීමට ක්‍රියා කළ පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා එම විමර්ශනවලින් පසු අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නීතිමය කටයුතු සිදු කළ නීතිපති දෙපාර්තමේන්තුවට ජාතියේ ගෞරවය හිමිවිය යුතුය. එමෙන්ම පක්ෂ පාට පවුල් බලය ධන බලයට හිස නොනමා විමර්ශනවලට බලපෑම් නොකොට එම විමර්ශන සර්ව සාධාරණව ඉටු කිරීමට එම ආයතනවලට ස්වාධීනව ක්‍රියා කිරීමට අවස්ථාව ලබාදුන් ජනපති ඇතුළු යහපාලන රජයට ජනතාවගේ ගෞරවය හිමිවීම අතිශයින්ම සාධාරණය.

සුමේධ සූරියආරච්චි 

නව අදහස දක්වන්න