දුර ඉලක්කයකට රට යොමු කළ අයවැය | දිනමිණ

දුර ඉලක්කයකට රට යොමු කළ අයවැය

අසේල කුරුළුවංශ

පසු විපරමක් තිබුණොත් හොඳයි

එළඹෙන වසර සඳහා රජයේ ආදායම් හා වියදම් ගලපා ගනිමින් රටේ ඉදිරි ගමන් මඟ කොයි ආකාරයට රජය සැලසුම් කරන්නේද යන්න පිළිබඳ යම් චිත්‍රයක් අයවැය වාර්තාව මගින් ලබා ගත හැකිය. මෙය නිදහස් ශ්‍රී ලංකාවේ 71 වන අයවැය ලේඛනය වන අතරම යහ පාලන රජය බලයට පත්ව ඉදිරිපත් කරන තුන්වන අයවැය ය.

මෑත කාලයේ ඉදිරිපත් වූ අයවැය ලේඛන හා සැසඳීමේදී මෙය යම් ප්‍රශස්ත මට්ටමක පවතින බව කිව හැකිය. ඒක පුද්ගල ආදායම ඉදිරි වසර තුළ ඇමරිකානු ඩොලර් 5000 ක අගයක් දක්වා ඉහළ දැමීම රජයේ අරමුණවී තිබේ. දැනට පවතින තත්ත්වය අනුව එම ඉලක්කය සපුරා ගැනීම පිණිස ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් දහසකින් පමණ වැඩි කරගත යුතුය. ආර්ථික වර්ධනය 5 % ක් දක්වා ඉහළට ගෙන එද්දී උද්ධමනය 6 % ක් බවට පත් කර ගැනීමද රජය අයවැයෙන් අපේක්ෂා කරන තවත් ඉලක්කයකි. අයවැය හිඟය වසර 2020 වන විට දළ ජාතික නිෂ්පාදනයෙන් 3.5 % දක්වා අඩු කර ගැනීමත් අපනයන ආදායම දැනට පවතින තත්ත්වය මෙන් දෙගුණයක් බවට පත් කර ගැනීම කෙරෙහිද රජයේ විශේෂ අවධානයක් යොමුව ඇත. විදේශ ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියන පහක් දක්වා ඉහළ නංවා ගැනීමත් දශ ලක්ෂයකට රැකියා අවස්ථා සැපයීමත් ඇතුළු කරුණු ගණනාවක් අන්තර්ගත මෙම අයවැය සංවර්ධනාත්මක ඉලක්ක සහිත හොඳ අයවැයක් ලෙස පෙන්වා දීමට පුළුවන.

ආර්ථික වශයෙන් රටේ යම් පිබිඳීමක් ඇති කළ හැකි යෝජනා මේ තුළ අඩංගුව තිබේ. ව්‍යවසායකත්වය ඉහළ නැංවීම පිණිස කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීම පිණිස විශේෂ පහසුකම් හා ණය යෝජනා ක්‍රම හඳුන්වා දීම කාලීන අවශ්‍යතාවක් වන අතරම රටේ සංවර්ධන ගමන් මඟ ශක්තිමත් කිරීමට එය ප්‍රබලව බලපාන්නා වූ කරුණකි. ව්‍යවසායකත්ව පුහුණුව පිළිබඳද විශේෂ අවධානයක් යොමු කරමින් මෙම වැඩපිළිවෙළ දියත් කිරීමට රජය සැලසුම් කර තිබීම අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස ප්‍රබලව බලපායි.

ඉදිරි දැක්ම

අයවැය ලේඛනය තුළ ඉදිරි දැක්මක් පැහැදිලිව පෙනෙනන්ට තිබෙන අතර එම අරමුණු ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමෝපායද ඊටම ඇතුළත්ව තිබීම ඉතා වැදගත් කරුණකි. දියුණු වෙමින් තිබෙන රටවල් අද ආර්ථික දියුණුව පිණිස යම් යම් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරද්දී මුහුණ දෙන ප්‍රබලතම ගැටලුවක් බවට පත්ව තිබෙන්නේ ඒවායින් සිදුවන පරිසර හානිය අවම කර ගැනීමයි. අද ලෝකයේ බොහෝ රටවල් වායූ දූෂණය, ජල දූෂණය, වනාන්තර ගහණය අවම වීම වැනි ගැටලු රැසකින් පීඩා විඳින තත්ත්වයක් පැහැදිලිව දක්නට ලැබේ. රජය මෙම අයවැය තුළින් සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා යන ගමනේදී පරිසර හිතකාමී අයුරින් කටයුතු කිරීමේ වැදගත්කම තේරුම් ගනිමින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග රැසක් යෝජනා කර තිබීම යහපත් ලක්ෂණයකි.

වාහන සඳහා කාබන් බද්දක් අය කිරීමත්, විදුලියෙන් ක්‍රියා කරන හා දෙමුහුන් වාහන ප්‍රවර්ධනය කිරීමත් හොඳ යෝජනාය. රජයේ වාහන සියල්ල වසර 2025 වන විටත් රටේ සියලුම වාහන වසර 2045 වන විටත් දෙමුහුන් හා විදුලියෙන් පමණක් ක්‍රියා කරන වාහන බවට පත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. මෙම ඉලක්ක වෙත යෑමේදී ජනතාවගේ ජීවන මට්ටම සියලු අංශවලින් ප්‍රමාණාත්මකව ඉහළට ගෙන ඒම පිණිස ක්‍රියා කිරීම රජයේ වගකීමක් වන අතර එසේ නොවුණහොත් මේවා ඉලක්කවලට පමණක් සීමා වනු ඇත. අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වෙනම ඒකකයක් මුදල් අමාත්‍යාංශයේ ස්ථාපිත කිරීමටද අවධානය යොමුව තිබෙන අතර එවැනි යෝජනාවක් සිදුව තිබෙන්නේ ඉතිහාසයේ පළමු වරටය.

මෙය අයවැය යෝජනා ක්‍රියාත්මක වන්නේද නැත්ද යන්න සොයා බැලීම සඳහා වන පසු විපරම් ඒකකයක් තිබේ නම් වඩා හොඳය. මෙතෙක් කල් පැවැති රජයන්, අයවැය වාර්තා මගින් ඉදිරිපත් කළ යෝජනා ඉෂ්ට නොකළ බව ජනතාව පැත්තෙන් නැගෙන චෝදනාවකි. ඉලක්කම් හරඹයක් පමණක් දක්නට ලැබෙන විශ්වාසයක් නැති ලියවිල්ලක් බවට අයවැය පත්වීම නිසා ජනතාව තුළ ඒ සම්බන්ධයෙන් පැවැති උනන්දුව ක්‍රමයෙන් හීන වී ගියේය. මෙය පසුගිය දශක කිහිපය තුළ බලයේ සිටි සෑම පක්ෂයකටම එල්ල වන්නා වූ චෝදනාවකි. එම පසුබිම තුළ අයවැය ඉලක්ක සපුරා ගනු පිණිස පසු විපරම් ඒකකයක් ඇති වන්නේ නම් හොඳය. අයවැය යෝජනා කෙතරම් හොඳ වුවත් ඒවා ක්‍රියාත්මක කිරීමට රජය උනන්දු නොවන්නේ නම් අයවැය යථාර්ථයක් නොවන්නේය. දශක ගණනාවක සිට ශ්‍රී ලාංකීය ජනතාවට මේ සම්බන්ධව අත්දැකීම් පැවතීම නිසා ඔවුන් අද සියල්ල දෙස අවිශ්වාසයෙන් බලන්නට පෙළඹී තිබීම නිවැරැදි කළ හැක්කේ රජයටම පමණි.

රජය සැලසුම් කර තිබෙන ඉලක්ක ගත වැඩසටහන්වලට සමපාත වන අයුරින් අයවැය සකස් කර තිබීම තවත් වැදගත් ලක්ෂණයකි. රජය 2025 වන විට ළඟා වීමට අපේක්ෂිත ඉලක්ක හා ඒවා සාක්ෂාත් කර ගැනීමට ගන්නා ක්‍රියාමාර්ග අඩංගු ඉදිරි දැක්මක් සහිත ලියවිල්ලක් විෂන් 20-25 නමින් පසුගියදා ඉදිරිපත් කෙරිණි. මෙවර අයවැය සම්පාදනයේදී එම ඉදිරි දැක්ම සැලකිල්ලට ගෙන තිබෙන බවක් පෙනෙනන්ට තිබේ. පිස්කල් ප්‍රතිපත්ති පිළිබඳ ස්ථායිකරණ තත්ත්වයක් අවශ්‍ය බවට යෝජනාවක් ජාත්‍යන්තර සංවිධාන විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ. රජය බදු ආදායම් තුළින් රාජ්‍ය වියදම් ආවරණය කරගත යුතු වීම එහි මූලික ලක්ෂණයකි. ඒ සඳහා රජය මුල්‍ය වියදම් පාලනයක් කර ගැනීම අනිවාර්යය කරුණකි. ඒ සඳහා මූල්‍ය විනයක් ඇති කර ගැනීම වැදගත්ය. මෙය විෂන් 20-25 තුළ අන්තර්ගත කරුණකි. මහ බැංකුවද මේ පිළිබඳ අවධානය යොමුකර ඇත. අයවැය තුළින්ද පිස්කල් ප්‍රතිපත්ති පිළිබඳ ස්ථායිකරණ අඩිතාලම දමා තිබේ.

අයවැය හිඟය දළ ජාතික නිෂ්පාදනයෙන් 4.5 % ක් දක්වා ඉදිරි වසර තුළ අඩු කිරීම සඳහා සැලසුම් මෙහි අන්තර්ගතව තිබේ. තවදුරටත් එම අගය 2020 වන විට 3.5 % ක් දක්වා පහතට ගෙන ඒම රජයේ අරමුණය. මේ අකාරයට රාජ්‍ය වියදම් සීමා කරමින් අයවැය හිඟය පියවා ගැනීමට කටයුතු කිරීමේදී ආර්ථිකයට සංකෝචනාත්මක බලපෑමක් ඇතිවිය හැකිය. සුබ සාධන සඳහා රජය වැය කරන වියදම් ක්‍රමයෙන් අඩු කර ගැනීමේ ප්‍රවණතාවක් අයවැය තුළ දක්නට පුළුවන. රාජ්‍ය අංශයේ රැකියා පිළිබඳද අයවැයේ කතාවක් නොමැත. සහනාධාර වෙනුවට රක්ෂණ ක්‍රම හදුන්වා දෙමින් රජය යම් ආකාරයකට මෙතෙක් පැවැති සුබසාධන වැඩසටහන්වලින් මිදීමට ගන්නා උත්සාහය මෙහි අන්තර්ගතය. එය වැරැදි යැයි කිව නොහැකිය. බටහිර රටවල මෙම ක්‍රමය ක්‍රියාත්මකය. පුද්ගල ආදායම් මට්ටම සලකා සේව්‍යයා හා සේවකයා යන දෙපාර්ශ්වයම එකතුව මෙම වැඩසටහන අවබෝධයෙන් ගෙන යා යුතු එකකි. මෙම රක්ෂණ ක්‍රමය විශ්වවිද්‍යාල හා පාසල් සිසුන් වෙනුවෙන් හඳුන්වා දී ඇත. රජය ක්‍රමානුකූලව අදාළ සුබසාධන වැඩසටහන්වලින් ඉවත්ව යන බවට ඉඟි, මෙම අයවැයේ දක්නට ලැබෙයි.

උද්ධමනය

උද්ධමනය 6 % ක පමණ මට්ටමක පවත්වා ගැනීම තරමක් ඉහළ අගයකි. නවසීලන්තය, ඔස්ට්‍රේලියාව වැනි රටවල උද්ධමනය අඩු කිරීම සඳහා ඉලක්කගත වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. එම රටවල උද්ධමනය 3 % -3.5 % පමණ අගයක පවතී. උද්ධමනය 6 % ක අගයක පවතිද්දී ස්ථිර ආදායම් ලබන අය යම් අපහසුතාවකට පත්වීම වැලැක්විය නොහැක. මෙමගින් ආදායම් බෙදී යාමේ විෂමතා ඇතිවීමට ඉඩක් තිබේ. පොළී අනුපාත ඉහළ යෑමටද මෙය හේතු විය හැකිය.

නිදහසින් පසු සෑම රජයකින්ම ජනතාව සහන බලාපොරොත්තු විය. සුබ සාධන මානසිකත්වයෙන් ජනතාව මුදවාලීමට කිසිදු රජයක් ක්‍රියා නොකළ අතර ජනතාව අද රටක් සංවර්ධනය කරා ගමන් කිරීම සඳහා ඉවහල් වන අයවැයකට වඩා වැඩි මනාපයක් දක්වන්නේ සුබ සාධන වැඩි අයවැයකටය. ජනතාව සෑම විටම අපේක්ෂා කරන්නේ රජය මගින් නොමිලේ මොනවා හෝ ලබා ගැනීමටය. රජය නඩත්තු වන්නේ ජනතා බදු වලිනි. ආණ්ඩුව කරනුයේ ජනතාව ගන්නා බදු මුදලින්, පෙරළා ජනතාවට අවශ්‍ය සේවාවන් සැපයීමයි. දරිද්‍රතාවයෙන් පෙළෙන හා ස්වාභාවික විපත්වලට ලක්ව, අසරණ වූ අය සඳහා සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමකි. අවශ්‍ය අවස්ථාවක මිස රජය ප්‍රතිපත්තියක් ලෙස සුබසාධන වැඩසටහන් දියත් කිරීම අවශ්‍යම දෙයක් නොවන්නේය. ආයෝජන වැඩි කරමින්, ව්‍යසායකත්වය පුළුල් කරමින් ජනතාවට ප්‍රතිලාභ ලැබෙන වැඩසටහන් රජය ක්‍රියාත්මක කළ යුතුය. නිදහසින් පසු මෙරට ආණ්ඩු බලයට පත් වූ ආකාරය සැලකීමේදී ජනතාව උදෙසා බලයේ සිටි හා බලයට පත්වීමට අපේක්ෂාවෙන් පසු වූ පක්ෂ, දියත් කළ හා දියත් කරන බවට පොරොන්දු වූ සුබසාධන වැඩසටහන් ප්‍රමුඛත්වයක් ගත් බව නොරහසකි. සුබසාධන මත දේශපාලන බලය තීරණය වූ බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි. ජනතාවට වැඩිපුර සහන දෙන, රජයන් බලයට පත් කිරීම උදෙසා, ජනතාව ක්‍රියාකරන බව පැහැදිලිව දක්නට ලැබිණි. සහනාධාර ලබා දී බලය තහවුරු කර ගැනීමට රජයන් උත්සාහ කිරීමේ අවසන් ප්‍රතිඵලය වූයේ රටේ දියුණුව ඇණ හිටීමය. සහනාධාර වෙනුවට ව්‍යවසායකත්ව වැඩසටහන්වලට ජනතාව පෙළඹවීම යහපත්ය. එය බඩගින්නේ සිටින පුද්ගලයකුට මාළු කෑල්ලක් දෙනු වෙනුවට බිලි පිත්තක් දීම වැනිය. මුදල් ඇමැතිවරයා අයවැයට පෙර ඉදිරිපත් කළ එම අදහස බොහෝ දුරට අයවැය තුළ අන්තර්ගතය.

රජයකට ණය ලබා ගැනීමට බොහෝ විට සිදු වන්නේ සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටය. අද රටට දරගත නොහැකි ණය කන්දරාවක් ගොඩගැසී තිබේ. හැට, හැත්තෑව හා අසූව දශකවල මෙම තත්ත්වයෙන් බැහැරව ගොස් කටයුතු කරන්නට පසුබිම උදාකර ගත හැකිව තිබූ නමුත්, එය ක්‍රියාත්මක නොවිණි. රජයන් විශාල ලෙස සහන දීමට යෑමේ ප්‍රතිඵලයක් ලෙස සිදු වූයේ රටේ යටිතල පහසුකම් ඇති කිරීම සඳහා වන සංවර්ධන ව්‍යාපෘති දිනෙන් දින කල් යෑමය. පසුව එම වැඩසටහන් වෙනුවෙන් විශාල ලෙස ණය ගැනීමට රජයන්ට සිදුවිය. අවසානයේ සිදු වූයේ රට ණය උගුලක සිරවීමය. ව්‍යවසායකත්වය පුළුල් කිරීම, කාර්මික හා කෘෂිකාර්මික දියුණුව ඇති කිරීම, ශ්‍රම බළකාය පුහුණු කිරීම, වෘත්තීය දැනුම ලබා ගැනීම සඳහා වන අවකාශ ඇති කිරීම වැනි වැඩසටහන් වෙනුවෙන් වැය කරන මුදල් එක් පැත්තකින් අනාගත ආයෝජන වනු ඇත. ඉලෙක්ට්‍රොනික මෝටර් රථ ජනතාව අතර ප්‍රචලිත කිරීම තුළින් විශාල ලෙස පරිසරය ආරක්ෂා වීමක් අපේක්ෂා කළ නොහැකිය. ඒ සඳහා වැලි ගොඩදැමීම, වන සංහාරය, ජල මූලාශ්‍රවලට හානි කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුව තිබේ.

කෙසේ වුවත් ඉලෙක්ට්‍රොනික මෝටර් රථ සඳහා විදුලි ආරෝපණ ස්ථාන රට පුරා ඇති කිරීම ප්‍රමුඛත්වය ලබාදී කළ යුතු කරුණකි. නැතහොත් ජනතාව ඊට යොමු වීමේ ශීඝ්‍රතාව අඩුවිය හැකිය. අයවැය තුළින් මෙම යටිතල පහසුකම් ඇති කිරීම පිළිබඳ අවධානය යොමු කර ඇති බව පෙනෙන්නට ඇත.

අපනයන ආදායම දෙගුණ කිරීම සඳහා යෝජනාවක් ඇතත් එය සාක්ෂාත් කර ගැනීම සම්බන්ධ විධිමත් ක්‍රියාමර්ග අයවැයේ නොමැත. අපනයන ආදායම වැඩි කර ගැනීමටත් ආයෝජකයන් ගෙන්වා ගැනීම ඉහළ නැංවීමටත් අවශ්‍ය උපාය මාර්ග අයවැය තුළ අන්තර්ගත වූයේ නම් හොඳය. බැංකු මගින් සිදුකරන රුපියල් දහසකට වැඩි ගනුදෙනු සඳහා ශත 20 ක් අය කිරීම සිදුවන්නේ මූල්‍ය ආයතනයෙන් බව රජය පවසා තිබේ. එසේ වන්නේ නම් හොඳය. එය ගනුදෙනුකරු වෙත පැටවෙන්නේ නම් ඉන් සිදුවන්නේ නව ගැටලු නිර්මාණය වීමයි. මෙවර අයවැයේ බදු පැනවීම් බොහොමක නිශ්චිත ක්‍රමවේදයක් දක්නට ලැබෙයි. මත්පැන් සඳහා මධ්‍යසාර ප්‍රතිශතය අනුවත් වාහන සඳහා ඇන්ජින් ධාරිතාව අනුවත් බදු පැනවීම ඊට උදාහරණය. අවශ්‍ය නම් මෙය අඛණ්ඩව ඉදිරියට පවත්වා ගෙන යා හැකි පැහැදිලි ක්‍රමවේදයකි.

බදු සංයුතිය වෙනස් කිරීම සඳහා රජයේ අවධානය යොමුව තිබුණත් ඒ සඳහා පසුබිම සැකසීමක් මෙම අයවැය තුළ දක්නට නොලැබෙයි. ඍජු බදු ප්‍රතිශතය අඩුකර වක්‍ර බදු ප්‍රතිශතය වැඩි කර ගැනීම සඳහා වන රජයේ අරමුණ ක්‍රියාත්මක කිරීමට නව සැලසුම් අවශ්‍ය බව මෙම අයවැය පෙන්වා දෙයි. ආයෝජකයන්ට හා ව්‍යවසායකයන්ට සහන දෙන විට ඔවුන් බදුවලට ඇතුළත් කර ගැනීම අසීරුය. මෙය එක් පැත්තකින් විවෘත ආර්ථික ප්‍රතිපත්ති පුළුල් කරන අයවැයකි. මෙහි අනිසි ප්‍රතිඵල ඇතිවීමද වැලැක්විය නොහැකිය. විවෘත ආර්ථිකය 1977 හඳුන්වාදීමෙන් පසු අදායම් බෙදී යාමේ විෂමතාවක් නිර්මාණය විය. ඊට සමාගාමීව සුබසාධන වැඩසටහන් කිරීමට රජයට සිදුවිය. රජය මේවා ගැන අවබෝධයෙන් පසුවීම අතිශයින් වැදගත්ය.

ආයෝජන ප්‍රවර්ධනය

ව්‍යවසායකත්වය පුළුල් කිරීමේදී හා ආයෝජන ප්‍රවර්ධනය කිරීමේදී ඔවුන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට ඇති බාධා ඉවත් කිරීම අතිශයින් වැදගත්ය. ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා අවසර ලබා ගැනීම ඉතා අසීරු කටයුත්තකි. ව්‍යාපාරයට අදාළ අවසර ලබා ගැනීම පිණිස ආයතන විසි ගණනකට යෑමට සිදුවෙයි. ඒවා එකිනෙකට සම්බන්ධ නොවීම නිසා මේ වෙනුවෙන් විශාල වියදමක් මෙන්ම කාලයක් ගත කරන්නට සිදුවෙයි. මෙය ව්‍යවසායකයන් හා ආයෝජකයන් අධෛර්ය කරන්නට හේතුවකි. මේවාට විසදුම් නොදී ව්‍යවසායකත්වය පුළුල් කිරීම අසීරුය. වාර්ෂිකව ගෙවිය යුතුව තිබෙන විදේශ ණය ප්‍රමාණය මෙරට දළ දේශීය ආදායමෙන් 76 % කි. වසර 2001-2002 සමයේ මෙය පැවතියේ 102 % ක පමණ අගයකය. පසුගිය වසර තුනක කාලය මුළුල්ලේ මෙම අගය 76 % ක අගයේම පැවතිණි.

ණය ගෙවීම සඳහා ණය වී තිබෙන තත්ත්වයෙන් අපි මිදිය යුතුව තිබේ. පසුගිය කාලයේ ලබා ගත් ණය වෙනුවෙන් මුදල් වාරික ගෙවීම ඉදිරි දෙවසර තුළ කළ යුතුය. රට සංවර්ධනය කරන අතර මෙම ණය ගෙවීම අභියෝගයකි. එය ජය ගැනීම සඳහා මුදල් නිසි පරිදි කළමණාකරණය කිරීම අතිශයින් වැදගත්ය. මධ්‍ය ආදායම් උගුලින්(Middle Income Trap) නිදහස් වීම අප හමුවේ ඇති ප්‍රධානතම අභියෝගයකි. ලෝක බැංකුව පෙන්වා දෙන පරිදි රටක් දියුණුව කරා ගමන් කරමින් ආර්ථිකයේ පැහැදිලි වෙනසක් ඇති කර ගැනීම පිණිස මධ්‍ය ආදායම් උගුලින් මිදීමට නම් ඒක පුද්ගල ආදායම ඩොලර් 12600 සීමාව ඉක්මවිය යුතුය.

මැලේසියාව වැනි රටවල් මේ වන විට මෙම සීමාව පසු කරන්නට සූදානම්ව සිටින්නේ එම අගය ආසන්නයට ළඟා වෙමිනි. අප මෙම අයවැයෙන් අපේක්ෂා කරන්නේද ඩොලර් 5000ක ඒක පුද්ගල අගයකට ළඟා වීමටය. මෙම පසුබිම තුළ මධ්‍ය ආදායම් උගුලින් පැන ගැනීම අපට අභියෝගයකි. සුබසාධන නැති වූ විට, විරැකියාව ඉහළ ගිය විට, දේශපාලන අස්ථාවර භාවයක් ඇති වීම මෙරට දේශපාලන සංස්කෘතියේ ස්භාවයයි. මේ සියල්ල කෙරෙහි අවධානය යොමු කරමින් වංචාව දූෂණය නැති කරමින් ඉදිරි ගමනක් යෑමට අවශ්‍ය මාවත අයවැය තුළ දක්නට ලැබෙයි. රජය ඉදිරි කාලය තුළ කටයුතු කරන ආකාරය තුළින් අයවැය යථාර්ථයක් වන්නේද නොවන්නේද යන්න තීරණය වනු ඇත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...