සාහිත්‍යකරණයේදී ආගම් ගැටලු නෑ | දිනමිණ

සාහිත්‍යකරණයේදී ආගම් ගැටලු නෑ

ධම්මික සෙනෙවිරත්න

බෞද්ධයෙක් හැටියට ඩ වින්චි කෝඩ් මං දකින්නෙ, මේ බෞද්ධ රටේ අපි බෞද්ධයො. ඒ තරම් පිරිසිදු දර්ශනයක් කොපමණ වෙනසට ලක් කරලා තියෙනවාද කියන තැනින්. ඒ වෙනසට ක්‍රිස්තියානි ආගම වගේ ඉස්ලාම් දහමත් ලක්වෙලා. කුරානයේ කොතැනකවත් අයි.එස්.අයි.එස්. ලාට මිනී මරන්න කියලා නෑ.

ඩැනියෙල් ජෙරාඩ් ඩෑන් බ්‍රවුන් ගේ 'ද ඩ වින්චි කෝඩ්' නවකතාව ලොවපුරා මහත් ආන්දෝලනයක් ඇති කළේ ය. 2006 වසරේදී එය සිනමාවට ද නැඟිණි. මේ කෘතිය ප්‍රවීණ පරිවර්තක කුමාර සිරිවර්ධන විසින් සිංහලයට පරිවර්තනය කරනු ලදුව, පසුගියදා නිකුත් විය.

‘ද ඩා වින්චි කෝඩ්’ සාහිත්‍ය ලෝකයේ පමණක් නොව, ඉන් පරිබාහිරවත් ආන්දෝලනයට තුඩු දුන්, ඒ ව‍ගේම විශාල පාඨක අවධානයක් දිනාගත් කෘතියක්. මේ කෘතිය පරිවර්තනය කිරීමට ඔබ කල්පනා කළේ ඇයි?

‘ද ඩ වින්චි කෝඩ්’ නවකතාව නිකුත් වූ කාලයේ පටන්ම ඒ ගැන මගේ අවධානය යොමුවෙලා තිබුණා. ඊළඟට චිත්‍රපටයත් ආවා. ඒක ශ්‍රී ලංකාවේ තහනමට ලක් වුණා. කොහොම නමුත් චිත්‍රපටය එන්න කලින් ම මම පොත කියවලා තිබුණා.

එක් පැත්තකින් ගත්තොත්, පරිවර්තන කෘති සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බොහොම ඛේදනීය තත්ත්වයක් තියෙනවා. ලෝකයේ යම් කෘතියක් නිකුත් වුණහම, ඒ සමඟම වගේ එය සිංහලට පරිවර්තනය කිරීමේ අසීරුතා ඇති වෙනවා. ඊට බලපාන්නේ වැඩි වශයෙන්ම ප්‍රකාශන අයිතිය පිළිබඳ ගැටලු. මේ අයිතිය ලබා ගැනීමට අපට ඔවුන්ට ගෙවන්න වෙන්නෙ ඩොලර්වලින්. එහෙම බාධකයකුත් ඩ වින්චි කෝඩ් සම්බන්ධයෙන් තිබුණා. ඒත්, ඒ සියල්ල මඟහරවාගෙන මේ පොත ශ්‍රී ලංකාවේ පාඨකයන් අත තැබීමට, ඒ තුළ තිබුණු ආන්දෝලනාත්මක තත්ත්ව බෙහෙවින් ම බලපෑවා. තවමත් ශ්‍රී ලංකාව ඕනෑම ප්‍රශ්නයක් අල්ල ගන්නෙ කොණකින්. ඩ වින්චි කෝඩ් තහනම පිටුපස තිබුණෙත් පැහැදිළි අරමුණක් නෙමෙයි. කොණක් අල්ලා ගැනීමත්, අපට අවශ්‍ය කළා, මෙහි සැබෑ තත්ත්වය පාඨකයන් වටහා ගන්නවා දකින්න . අනෙක තමයි, ලෝකයේ සංසරණය වන නව දැනුම ඔවුන්ට සමීප කරවීම සහ සාහිත්‍යයේ නිම් වළලු පුළුල්වනු දැකීම.

ප්‍රකාශන අයිතිය සම්බන්ධයෙන් පොත් ප්‍රකාශකයන්ගේ සංගමය හරි මැදිහත්වීමක් කරනවා නම්, ඉතාමත් හොඳයි. ඔවුන්ට පුළුවන් ඒ නියෝජිතයන් සමඟ සාකච්ඡා කරලා මේ සඳහා වැඩපිළිවෙළක් යොදන්න. එහෙම වුණොත් අපේ පාඨකයන්ට අලුත් ම කෘති කියවන්න ලැබේවි.

‘ඩ වින්චි කෝඩ්’ නවකතාව ලිවීම සඳහා ඩෑන් බ්‍රවුන් ගැඹුරු අධ්‍යයනයක් කර ඇති බව පැහැදිළියි. ‍මේ කාරණය ඔබ විග්‍රහ කරන්නෙ කොහොමද?

ලෝකය පුරාම ප්‍රධාන ධාරාවේ නවකතා සියල්ලක් පාහේ හොඳ අධ්‍යයනයකින් පසුව ලියැවුණු ඒවා. ශ්‍රී ලංකාවේ පවා සම්මානයට පාත්‍ර වූ ඇතැම් කෘති යම් දුරකට හෝ පර්යේෂණයකින්, අධ්‍යයනයකින් පසුව ලියැවුණු ඒවා. මීට වසර කිහිපයකට පෙර මගෙ අතින් ලියැවුණු ‘සසංකාර’ නවකතාව වුණත් ලියැවුණේ අවුරුදු දෙකක පමණ අධ්‍යයනයකින් පසුවයි. සාර්ථක නවකතාවක් බිහි වීමට නම් හොඳ අධ්‍යයනයක් තිබිය යුතුයි කියන කාරණයත් සමඟ මම එකඟ යි.

ලෝකයේ බිහිවූ විශිෂ්ටම කලා කෘති හා කලාකරුවන් පිළිබඳ කළ මනා අධ්‍යයනයකින් පසුවයි ඩෑන් බ්‍රවුන්, ඩ වින්චි කෝඩ් ලියන්නෙ. මෙහිදී ඔහුගේ බිරියත් ඔහුට විශාල සහායක් ලබා‍ දෙනවා. මේ කෘතියේ සාර්ථකත්වයට වගේම, එය ලොව පුරා ජනප්‍රිය වීමටත් ඒ අධ්‍යයනය මූලික හේතුවක් වුණා කියලා මම සිතනවා.

මෙය පරිවර්තනය කිරීමේදී ඔබටත් සෑහෙන අධ්‍යයනයක් කරන්න සිදුවන්න ඇති?

ඔව්. ඩෑන් බ්‍රවුන්ට තරම් නොවුණත්, මටත් සෑහෙන අධ්‍යයනයක් කරන්න සිදු වුණා. සාර්ථක පරිවර්තනයක් කිරීමට නම්, මුල් කෘතියට ඒ සාධාරණය ඉටු කිරීමට නම් එය එසේ විය යුතුයි. විශේෂයෙන් මෙවැනි කෘතියක් සම්බන්ධයෙන් එවැනි අධ්‍යයනයක්, හැදෑරීමක් අවශ්‍යයි.

මේ කෘතිය විශාල ආන්දෝලනයක් ඇති කළේ, ඉන් යම් ආගමකට අනර්ථයක් සිදුවනවා ය කියන අදහස නිසයි. මෙහි පරිවර්තකයා විදිහට ඔබට එවැනි දෙයක් දැනුණා ද?

නෑ .ඇත්තෙන්ම නෑ. සමහර වෙලාවට පොත කියවන්න කලින් සමහර අය තීරණය කරලා ඉන්න ඇති, මං බෞද්ධයෙක්, මං මෙය පරිවර්තනය කළේ කිසියම් ආගමකට පහර දෙන්න කියලා. නෑ. එහෙම දෙයක් නෑ. මීට වසර කිහිපයකට පෙර පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙනවිට, එතුමන් පිළිබඳ කෘතියක් ලිව්වෙත් මම . සාහිත්‍යකරණයේදී මට එහෙම ආගම පිළිබඳ ගැටලු නෑ. අපි මීට වඩා පුළුල්ව මේ ගැන සිතිය යුතුයි. ඩ වින්චි කේතය ගැන මම පරිවර්තන කාර්ය අවසන් කරලා, පොත අලෙවියටත් ගියාට පසුව ආපසු හැරී බලද්දී මට හිතෙන්නෙ නම් , ශ්‍රී ලංකාව මෙය තහනමට ලක්කරද්දී සහ ලොවපුරා මෙය ආන්දෝලනයට තුඩුදෙද්දී, මේ සියලු දෙනා කොණක් අල්ලා ගත්ත බවයි. ආගමික අන්තවාදය විසින් මෙහෙයවනු ලැබූ පිරිසක් මේ ආන්දෝලනය ඇති කරන්න ඇත කියන එකයි මගේ නම් අදහස.

කිසියම් ආගමකට පහරවදිනවා ය කියන අර්ථයෙන් ගත්තහම, මේ කෘතියේදී බුද්ධාගම පිළිබඳත් ප්‍රශ්න කරන බව අපට අහන්න වෙනවා. එහෙම සමහර තැන්වලදී විවිධ ආගම් පිළිබඳ ප්‍රශ්න කරනවා. එසේ ප්‍රශ්න කිරීම ආගමකට පහරදීමක් කියලා මම නම් හිතන්නෙ නැහැ. බෞද්ධාගමත් ඇතුළුව, ඉතිහාසය විසින් සඟවාගත් කරුණු සෑම ආගමක් පසුපසම තියෙනවා. ආගම, රාජ්‍ය සහ දේශපාලනයත් සමඟ බැඳිලා යම් යම් වෙනස්කම්වලට කාලයත් සමඟ ලක්වෙලා තියෙනවා. එය ප්‍රධාන ආගම් සියල්ලටම පොදුයි. ඒ නිසා, මේ කාරණා ගැන ඩ වින්චි කෝඩ් කෘතියේ කතා කිරීම ආගමකට හෝ ආගම්වලට පහරදීමක් නෙමෙයි. ආගම් අධ්‍යයනය කිරීම,මගේ පොඩි කාලයේ ඉඳන් ම විනෝදාංශයක් වගේ තිබුණා. මං බෞද්ධයෙක් වුණත් ඔවුන්ගේ ධර්ම ග්‍රන්ථ පිළිබඳ මා තුළ වැඩි අවබෝධයක් ඇති බවත් කිව යුතුයි. ඩ වින්චි කෝඩ් කෘතියේ ආන්දෝලනයට තුඩුදුන් සමහර ඓතිහාසික කාරණා ගැන මං ඒකාලයේ පටන්ම දැනුම්වත්ව සිටියා. වතිකානයේ සහ පාප් වහන්සේලාගේ ක්‍රියාකාරකම් ගැන වගේම, ක්‍රිස්තියානි ආගමේ පුනර්භවය ගැන සමහර සඳහන් කිරීම් සහ ඉවත් කිරීම් ගැනත් මට යම් දැනුම්වත්බවක් තිබුණා. බෞද්ධයෙක් හැටියට ඩ වින්චි කෝඩ් මං දකින්නෙ, මේ බෞද්ධ රටේ අපි බෞද්ධයො. ඒ තරම් පිරිසිදු දර්ශනයක් කොපමණ වෙනසට ලක් කරලා තියෙනවාද කියන තැනින්. ඒ වෙනසට ක්‍රිස්තියානි ආගම වගේ ඉස්ලාම් දහමත් ලක්වෙලා. කුරානයේ කොතැනකවත් අයි. එස්. අයි. එස්. ලාට මිනී මරන්න කියලා නෑ.

කෙනකුට ඉතිහාසය හා ආගම අධ්‍යයනය කරන්න හොඳ ම වේදිකාවක් ඩ වින්චි කෝඩ් කෘතිය මඟින් සපයා ඇති බවයි මගේ නම් අදහසය.

මෙය විශාල ප්‍රමාණයේ කෘතියක්. සිංහල පරිවර්තනය පිටු 600කට ආසන්නයි. එසේ වුවත් මෙය වෙහෙසකින් තොරව හා රුචියකින් යුතුව කියවාගෙන යාමට හැකි කෘතියක්. ඒ සම්බන්ධයෙන් පරිවර්තනයේදී ඔබ අනුගමනය කළ යම් විශේෂ උපක්‍රම තිබෙනවා ද?

පරිවර්තකයන් සඳහා යම් යම් නිර්ණායක 1960 පමණ සිට පනවාගෙන තිබෙනවා. මේවා අදටත් පවත්වාගෙන යනවා. ඒත්, මෙහිදී මා ඒ සියල්ල පසෙකින් තැබුවා. ඒකට හේතු තිබෙනවා. සිංහල පාඨකයාට වුණත් මේ කෘතිය කියැවීමේදී අඩුපාඩුවක් නොවීම සඳහා මං යම් යම් උපක්‍රම භාවිත කළා. එකක් සරල බව. මේ කෘතිය අමෙරිකාවේ පොතක් වෙන්න පුළුවන්. ඒත් මං ඒක පරිවර්තනය කරලා ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාවේ පාඨකයාට. එතකොට ඔවුන්ට මෙය අසීරුවෙන් තොරව කියවා ගෙන යාමට හැකි විය යුතුයි.

ඇතැම්විට කෙනකුට කම්මැළි හිතෙන්න පුළුවන්. විෂය දෙස වන් මේ දෙසටත් කතාව ගලාගෙන යනවා. එවිට එතැනදී පාඨකයා මෙය අත්නොහරින පරිදි වගබලා ගැනීමට සිදුවෙනවා. මං මේ පරිවර්තනය කරද්දී ඩෑන් බ්‍රවුන් අනුගමනය කළ ශෛලිය වෙනස් කළේ නැහැ. ඒත්, ‍මෙවැනි දේ මම කළා. උදාහරණයක් හැටියට යම් චිත්‍රයක් ගැන ඩෑන් බ්‍රවුන් පාද සටහනක් යොදා තිබුණා නම්, පරිවර්තනයේදී මා එය යෙදුවේ සරල පැහැදිළි කිරීමක් ලෙස. එතැනම එක් වාක්‍යයකින් එවිට පාඨකයාට පාදසටහන කියැවීමට අමුතුවෙන් පිටුව පහළට එන්න අවශ්‍ය නැහැ. මේ උපක්‍රමය ම‍ගේ ඉදිරි පරිවර්තන කාර්යයන්වලදීත් ‍බොහෝ දුරට මං භාවිත කරනවා. මගේ වගකීම තියෙන්නෙ, මගේ යුතුකම මම ඉටු කරන්නෙ, සිංහල පමණක් කියවන පාඨකයාට එසේ නැතිව , ඉංග්‍රීසියෙන් නවකතාව කියවලා, චිත්‍රපටයක් නරඹපු ප්‍රජාවට නෙමෙයි. මුල් කෘතියේ කිසිවක් අඩු නොකර, කෘතියට වගේම සිංහල පාඨකයාටත් කිසිදු අසාධාරණයක් නොකර, මං මේ කෘතිය මේ ‍පොළොවේ පැළ කළා.

ඩෑන් බ්‍රවුන් මේ කෘතිය රචනා කිරීමේදී භාෂාව හසුරු වන්නේ සජීවීව, ගතික ස්වභාවයකින්. ඔහු‍ගේ මේ ශෛලිය ගැන ඔබට මොකද හිතෙන්නේ?

ඒක ඔහු‍ගේ උපක්‍රමයක්. ඔහු ඒ උපක්‍රමය ඔහුගේ අනෙක් පොත්වලත් පාවිච්චි කරනවා. ‍මේ කෘතිය පරිවර්තනය කිරී‍මේදී මං ඔහු හා සමානව එය සිංහලට ගළපා ගත්තා. සමහර කාරණා ඉදිරිපත් කිරිමේදී සිංහලෙන් එය ගැළපීම අභියෝගාත්මක වුණත්, මං ඒක සාර්ථකව කළා කියලා හිතනවා. මෙතැනදී තිර රචකයෙක් හැටියට මං ලබා ඇති අත්දැකීම් මට හුඟක් ඉවහල් වුණා. ඩෑන් බ්‍රවුන්ගේ මේ නවකතාව තිර රචනයක් වගේ. ඒ නිසා, මේ ක්ෂේත්‍රවල එකට නියැළීමෙන් ලැබූ අත්දැකීම් මෙවැනි කාර්යයකදී හරිම ප්‍රයෝජනවත්.

‘ඩ වින්ඩ් කෝච්’ ග්‍රන්ථය ඇසුරින් නිර්මාණය වූ චිත්‍රපටය ගැන යම් සඳහනක් කරන්න ඔබ කැමැතිද ?

මං හැමදාමත් කියන දේ, ඕනෑම සාහිත්‍ය කෘතියක් කියන්නේ එය ඒ කෘතිය වශයෙන්ම තමයි ගන්න වෙන්නෙ. සිනමාවත් එහෙමයි . සිනමාව කියන්නෙ සිනමාව. මට කියන්න තියෙන්නේ ඩ වින්ච් කෝඩ් චිත්‍රපටයෙන් ඩ වින්චි ‍කෝඩ් පොත කියවන්න උත්සාහ කරන්න එපා කියලයි. ඒ වගේම, ඩ වින්චි කෝඩ් පොතෙන් ඩ වින්චි කෝඩ් චිත්‍රපටය දකින්න උත්සාහ කරන්නත් එපා.

ඡායාරූපය-මාලන් කරුණාරත්න

නව අදහස දක්වන්න