ධනාත්මක කෙල්ලකුගේ ස්වයං-විවේචනය...! | දිනමිණ

ධනාත්මක කෙල්ලකුගේ ස්වයං-විවේචනය...!

රන්ජන් අමරරත්න
කරුණා පෙරේරා

මේ කතාවේ දී ධනාත්මක චින්තනයක් සහිත කෙල්ලක් අපට මුණ ගැසෙයි. ඇය ජීවිතයේ අවුල් ලිහාගන්නා ආකාරය ද, ජීවිතය ජයගන්නා ආකාරය ද හරි අපූරු ය. නවකතාව කියවන විට හැ‍ඟෙන්නේ ජීවත්වීමට උත්තේජකයක් සැපයීම කතාකාරයන්ගේ පරමාර්ථය විය යුතු බව ය...!

පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවලට පමණක් සීමා වූ “මෑන් බුකර්” සම්මානය අද වන විට මුළු ලෝකයට ම විවෘත ය. එහෙත්, ඊට අදාළ කෘති මහා බ්‍රිතාන්‍යයේ පොත් සමාගමක් ඔස්සේ ප්‍රකාශයට පත් කළ යුතු ය. කෙසේ වුව මේ තීන්දුව නිසා නව රටාවන්ගෙන් යුතු නවකතා එළිදකින්නට පටන්ගෙන තිබේ. ඉංග්‍රීසි නවකතාවේ නිම්වළලු මේ ඔස්සේ පුළුල් වෙමින් පවතී. එහිලා විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණු තුනක් පවතී. එක; නවකතාවෙන් සාකච්ඡාවට ගැනෙන විෂය ක්ෂේත්‍ර වෙනස් වීම ය. දෙක; නවකතාවේ ආඛ්‍යාන රටා වෙනස් වීම ය. තුන නවකතාවේ භාෂාව විවිධ රටාවන්ගෙන් යුක්ත වීම ය. 2017 වසරේ මෑන්බුකර් සම්මානය දිනාගත් ‘ලින්කන් ඉන් බ්‍රාවෝ’ ප්‍රබන්ධය රචනා වී ඇත්තේ චිත්‍රපට තිරනාටකයක ආකාරයෙන් ය.

සිංහල ස්වතන්ත්‍ර නවකතාවට ද අලුත් ආඛ්‍යාන රටා, නව වස්තු විෂය හා වෙනස් භාෂා භාවිතය ද අවශ්‍ය වේ. සාම්ප්‍රදායික ලිඛිත භාෂාවෙන් පමණක් නවකතා ප්‍රබන්ධ කළ යුතු යැයි මතයක් ඇතත්; එය පිළිගත නො හැකි ය. එයින් යම් සීමා වීමක් සිදු වේ. සිංහල ස්වතන්ත්‍ර නවකතාව ගතහොත්, එහි අත්හදා බැලීම් සිදුවන්නේ ඉතා කලාතුරෙකින් ය. එය හොඳ ලක්ෂණයක් නො‍ වේ.

ඉහත පූර්විකාව ලියා තැබූයේ සම්මානනීය ලේඛිකාවක වන කරුණා පෙරේරා මහත්මියගේ අලුත් ම ප්‍රබන්ධ කථාව වූ ‘විඩාපත් ඔබ නිසා’ නම් කෘතිය පිළිබඳ විචාර සටහනක් තැබීමට පසුබිමක් හැටියට ය. මේ නවකතාවෙන් රටේ දේශපාලනය ගැනත්; දේශපාලනය පවුල් සංස්ථාවට බලපාන ආකාරය ගැනත්; පවුල් අවුල් නිසා තරුණ ජීවිත මුහුණදෙන අකරතැබ්බ ගැනත් සාකච්ඡා වෙයි. එය සිංහල පාඨකයන්ගේ පොදු කතාවක් හැටියට සැලැකිය හැකි ය.

‘විඩාපත් ඔබ නිසා’ කතාව ආරම්භ වන්නේ ඉතා සිත්ගන්නා සුලු අවස්ථා නිරූපණයකින් ය. එය චිත්‍රපට ජවනිකාවක් සේ නිරූපණය වී ඇත.

“උතුමාණෝ පැමිණියහ!”

“නැත!”

“උතුමාණෝ සම්ප්‍රාප්ත වූවෝ ය...! ”

“නලින්ද විජේකෝන් බණ්ඩාර සැපත් වූයේය.”

“නලින්ද ආවා”

“නලින්ද මං ළඟට ආවා!”

කතාවේ ප්‍රධාන චරිතය වූ නාමලී මනතුංග සිය පරණ පෙම්වතා වූ නලින් ද බණ්ඩාර අපහසුවට පත් කිරීම සඳහා ඇය අභිමුවට ගෙන්වාගෙන ඇත. ඇය මේ ස්ථානයේ නායිකාව හා පාලිකාව ය. නායකත්වය හා බලය උපයෝගී කරගෙන පළිගැනීමකට හෝ සිත් රිදවීමකට හෝ සූදානම් වන ඇය, විදුහල්පතිනියකි. වෙනසක් නැත. විදුහල්පතිනියකට කලින් ඇය මනුෂ්‍ය දියණියකි. පොදු ගැහැනියගේ චර්යා රටා ව ද, ඇයගේ මානසික ක්‍රියාකාරිත්වය ද මේ ජවනිකාවෙන් කදිමෙට නිරූපණය වෙයි.

නවකතාවෙන් සංවාදයට ගැනෙන පුළුල් විෂය ක්ෂේත්‍රය අංශ තුනකට බෙදා වෙන්කර ගත හැකි ය.

(I) වාමාංශික දේශපාලනය හා

පවුල් සංස්ථාව

(II) ධනාත්මක චින්තනයක් සහිත

තරුණ පරපුර

(III) පවුල් අවුල් තුළ විඳවන චරිත

නාමලීගේ පියා වන මනතුංග රටේ වාමාංශික දේශපාලනය නිසා, පෞද්ගලික ජීවිතය අසාර්ථක කරගත් තලතුනා මිනිසෙකි. වර්තමානය වනවිට ඔහුට සිදු වී ඇත්තේ ධනපති දේශපාලන ව්‍යාපාරවල අනියම් කම්කරුවකු ලෙස සේවය කිරීමට ය. ඔහු තම දැනුම හා හැකියාව එම ව්‍යාපාර සඳහා අලෙවි කරයි. මෙය හිතට එකඟව සිදුවන දෙයක් නොවේ. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වමේ දේශපාලනයේ ඇත්ත ස්වාභාවය ගැන නිවැරැදි චිත්‍රයක් කතුවරිය විසින් සටහන් කර තබනු ලැබේ.

“මං මේ එක - එකාට විකිණෙන්නෙ ඇයි කියල ඔයා හිතුව ද? මගේ වගකීම මං කරල නෑ; කියලා මං දන්න නිසා... ඒවගකීම කරලා මැරෙන්න තමයි මං මේ හදන්නෙ”

(පිටුව 81)

වාමාංශික දේශපාලනයෙහි යෙදුණු බොහෝ දෙනකුගේ පෞද්ගලික වගවීම් හා යුතුකම් ඉටු වී නැත. ශ්‍රී ලංකාව හා ඉන්දියාව වැනි රටවල පොදු තත්ත්වයක් ලෙස මෙය ගත හැකි ය. මීට අදාළ සිනමා නිර්මාණ ගණනාවක් බොලිවුඩ් චිත්‍රපට ක්ෂේත්‍රයේ නිෂ්පාදනය වී ඇත. කතුවරිය මේ තත්ත්වය හොඳින් වටහාගෙන, අතිශයෝක්තියකින් තොරව එය නිරූපණය කරයි.

නාමලීගේ චරිතය ගොඩනගා ඇත්තේ ධනාත්මක චින්තනයක් සහිත ඉදිරිගාමී තරුණියක හැටියට ය. ඇය තමන්ගේ අධ්‍යාපන කටයුතු නිවැරැදි ලෙස හසුරුවා ගනී. නාමලීගේ චරිතය ඔස්සේ පාඨකයා යම් ප්‍රහර්ෂයක් ලබයි. ඇයගේ ජයග්‍රහණවලදී පාඨකයා ද ඒ සතුට භුක්ති විඳියි. ජීවිත විවරණයකට වඩා ජීවිතයට උත්තේජකයක් ලබාදීම අද නවකතාවේ මෝස්තරය වී තිබේ. එය වරදක් හෝ අඩුපාඩුවක් ලෙස දැකිය නොහැකි ය. හෙමිං වේගේ වීරයා සංකල්පය තුළ ඇත්තේ ද ජීවිතයට උත්තේජක සැපයීම යැයි කියන්නට පුළුවන.

“ඔය මගේ විදිය...! හැමදේම කල්පනාවට එන්නෙ වැඩේ සිද්ධවෙලා අවසාන වුණාට පස්සෙ. තැනට සුදුසු නුවණ මට නෑ කියල ඒ දවස්වලම මං තේරුම් ගත්තා...”

(පිටුව 34)

නාමලී බුද්ධිමත් තරුණියක බව ඇගේ ස්වයං විවේචනවලින් සනාථ වෙයි. ඇය බුද්ධිමත් නොවූයේ නම්; නාමලී සාර්ථක ගැහැනියක බවට පත්වන්නේ නැත. නූතන තරුණ පරම්පරාවට මේ චරිතය ඔස්සේ පාඩම් ගණනාවක් උගත හැකි ය.

පවුල් අවුල් නිසා ජීවිතය විඳවන බොහෝ පිරිසක් රටේ සිටිති. ඇතැම් අවස්ථාවක මේ ඔස්සේ බරපතළ විනාශ සිදුවන බව ද දැක ගත හැකි ය. මේ කතාවේ දී පවුල් අවුල් නිසා විඳවන චරිත හතරක් අපට හමු වේ. මනතුංග ගැහැනුන් දෙදෙනකු සහවාසයට ගත් තැනැත්තෙකි. අවසානයේ ඔහුට කිසිවකුගේ ප්‍රිය සමාගමය නැතිව යයි. නාමලීගේ මව දෙවන විවාහයකින් පසු පිටරටක පදිංචියට ගොස් සිටී. එහෙත් ඇගේ මුළු අවධානය යොමු වී ඇත්තේ පළමු විවාහයේ දියණිය වෙත ය. නාමලී වෙනුවෙන් බොහෝ කැපවීම් කරන්නට මවට සිදු වී ඇත.

නාමලී යනු මව් සෙනෙහස හා රැකවරණය නොලද තරුණියකි. ඇයට මව් සෙනෙහස අහිමි වන්නේ ජීවිතය පිළිබඳ තීන්දු - තීරණ ගැනීමට මවගේ උපදේශනය හා මඟපෙන්වීම අවශ්‍ය මොහොතක ය. මෙහි එන නැන්දා අවිවාහක ගැහැනියකබවට පත් ව සිටින්නී, සිය මල්ලී නිසා ය. සහෝදරයාගේ අධ්‍යාපනය හා දියුණුව උදෙසා අක්කා ජීවිතය කැප කර තිබේ. ඇයගේ චර්යා රටාවලින් පෙනී යන්නේ, අතීතය පිළිබඳ පසුතැවීමක් ඇති බව ය. පවුල් අවුල් නිසා ශ්‍රී ලංකාවේ ජීවිතවලට සිදු වී ඇති වින්නැහිය පිළිබඳ හරස්කඩක් මේ පොතෙන් උකහා ගත හැකි ය.

කතුවරියමේ නවකතාව රචනා කර ඇත්තේ කෙටි නවකතාවක් හැටියට ය. කෙටි නවකතාව කෙරෙහි වැඩි නැඹුරුවක් මේ දිනවල පවතී. චරිත, ආඛ්‍යාන රටා, භාෂාව හා සිද්ධි ගැළපීමක් කෙටි නවකතාවේ ශිල්ප - ධර්ම අනුව සිදු වී ඇත. අනවශ්‍ය විස්තර -වර්ණනා හා විවරණ කෘතිය තුළ නැත. කතුවරිය මැදින් පැන ඉදිරිපත් කරන විග්‍රහ ද නැත. නවකතාව වේගවත් විකාශනයකින් යුතු අතර, කථන භාෂාව යොදාගෙන ඇත. කථන භාෂාවෙන් කතුවරිය දක්වන හපන්කම් ද මෙහි දී දැකගත හැකි ය.

“ඉතා ඈතක ඔහු වෙසෙයි. මට ඔහු හමු විය නොහැක. ඔහු වෙසෙන මායිමේ කඳු අතරින් සීතල සුළං හමාගෙන ඇවිත් පිපුණුමල් යායවල් සොලවා ආපසු යන ගමනේ චමත්කාරය මට සිතින් මවාගත හැකි ය. ඒත් ඒ හා සමගම මගේ සිත ළඟ දැවටෙන පාළු තනිකම මට හැමදේම අහිමි වී ඇති බව මට මතක් කරයි.”

(පිටුව 96)

කතුවරිය මෙහිලා භාවිත කරන්නේ කථන ලිඛිත මිශ්‍ර භාෂාවකි. එහෙත්, කතාව තුළ බහුලව ඇත්තේ කථන භාෂාව ය. මේ අවස්ථා නිරූපණයෙන් කියැවෙන්නේ, නාමලීගේ සිත තුළ කැකෑරෙන හුදෙකලාව ය. නලින් ද බණ්ඩාර පේරාදෙණියේ ඉගෙනුම ලබයි. ඔහු නාමලීගේ සිහින කුමරා ය. එහෙත් ඔහුගෙන් තොරතුරක් නැත. සරසවිය හා ප්‍රේමය එකට යාවෙන විෂයයන් දෙකකි. නලින්ද නාමලී මඟහරින බවක් පෙනෙයි. එහි බලවත් ශෝකය හා හුදෙකලාව දැනෙන්නේ නාමලීට ය. නාමලීගේ ශෝකය හාතනිකම ඉහත ඡේදයෙන් මනාව නිරූපණය වෙයි. නූතන ඉංග්‍රීසි නවකතාව භාෂාව, චරිත නිරූපණය හා ආකෘතිය කෙරෙහි වැඩ සැලැකිල්ලක් දක්වයි. කරුණා පෙරේරා මහත්මිය ද සරල - සුගම, එහෙත් හැඟීම් සහිත භාෂාවක් කෙරෙහි උනන්දු වී ඇත. ඇගේ සංවාද දෙස බලන විට ද එය පසක් වෙයි.

“ය කෝ මාරබැල්මක් නේ...!

“නෑ ඉතින් කියන්ඩ ආපුදේ

කියපන්කෝ...”

“හරි හරි ඉතින්... ගිරා, කොවුල්, හංස, සැළලිහිණි දැන් චිත්‍රානි සංදේශය...”

(පිටුව 83)

තරුණ පරපුර නියෝජනය සඳහා යොදාගන්නා තාත්වික භාෂාව අප ප්‍රහර්ෂයට පත් කරයි. මෙහි එන සංවාද ඒ චරිතවලින් ම එළියට එන ස්වාභාවික වචන බව පෙනෙයි.

කතුවරිය නවකතාවේ පරණ ශිල්පීය ලක්ෂණයක් ද සිය ආඛ්‍යානය සඳහා යොදා ගනී. එය හැඳින්විය හැක්කේ, නැචුරලිසම් හෙවත් ස්වාභාවික වාදය හැටියට ය. එක්දහස් අටසිය ගණන්වලදී ප්‍රංශයෙන් බිහි වූ මේ කතා රැල්ලෙහි ප්‍රමුඛයා ලෙස සැලැකිය හැක්කේ එමිල් සෝලා ය. ඔහු දක්වන එක් තර්කයක් වන්නේ චරිතවල සිතිවිලි හා හැඟීම් සංස්කරණයකින් තොරව ඉදිරිපත් කළ යුතු බවය. නිය ම චරිත නිරූපණය යනු එම චරිතවල සැබෑ ස්වාභාවයන් නොසඟවා දැක්වීම යැයි මේ රැල්ලේ අය තර්ක කළහ. කරුණා පෙරේරා මහත්මිය නාමලීගේ චරිතය ගොඩනඟා ඇත්තේ ඉහත ශිල්ප ධර්මයට අනුකූල ලෙස යැයි කියන්නට පුළුවන.

මේ කතාවේ දී අපට ධනාත්මක චින්තනයක් සහිත අපූරු චරිතයක් හමුවෙයි. ඒ නාමලී ය. ඇය ජීවිතයේ ජයග්‍රාහී සන්ධිස්ථානයකට ප්‍රවේශ වන්නේ බොහෝ අවුල් - වියවුල් මධ්‍යයේ ය. අවසන් සන්ධිස්ථානය දෙස බලන විට “බුමු තුරුණු” නවකතාව සිහියට නැ‍ඟෙයි. ජීවිතයේ අරුඅත් සොයන පාඨකයකුට මේ නවකතාව අලුත් අත්දැකීමක් වනු ඇත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...