හද­වතේ ඇති දේ සත්‍ය ඉල­ක්ක­යයි | දිනමිණ

හද­වතේ ඇති දේ සත්‍ය ඉල­ක්ක­යයි

සාරා ජැනට් මාස්

'ද ත්‍රෝන් ඔෆ් ග්ලාස්' කෘතියේ කතුවරිය වූ සාරා ජැනට් මාස් සමඟ writers and artists වෙබ් අඩවිය සිදුකළ සාකච්ඡාවක පරිවර්තනයකි මේ. ඇයගේ ප්‍රථම නවකතාව වන මෙය, බ්ලූම්ස්බරි විසින් ප්‍රකාශයට පත් කෙරිණි. 1986 මාර්තු 05 වැනි දින උපත ලැබූ ඇය, නිව්යෝර්ක් ටයිම්ස් හා අ‍මෙරිකා එක්සත් ජනපදයේ හොඳ ම ෆැන්ටසි කතෘවරියකි.

ඔබේ කෘතිවලට බලපෑම් කළ පොත් හෝ ලේඛකයන් කවුද?

සංගීතය, විශ්ෂයෙන් ම චිත්‍රපට සංගීතය , ලිවීම සඳහා මගේ හැඟීම් අවුස්සන්නේ. ඒත්, මම චිත්‍ර ශිල්පය, චිත්‍රපට හෝ රූපවාහිනිය, ගමන් සහ ඉතිහාසය පරිශීලනය හරහා මගේ උනන්දුව වැඩි කර ගන්නවා. මම පොඩි පොඩි පොත් කියවන්න කැමැති වුණා. ඒ වගේම ඒ වගේ පොත් ලියන්නත් මම කැමැත්තක් දැක්වූවා. මට අමතක නොවනම පොත් දෙකක් තමා ගාර්ත් නික්ස් ගේ 'සැබ්රියෙල්' සහ මැකින්ලි ගේ 'ද හීරෝ ඇන්ඩ් ද ක්‍රවුන්' කෘති දෙක. ඔවුන් දෙදෙනාම පුදුමාකාර මනඃකල්පිත ලෝකයක් තුළ කතාව ගොඩනගනවා. මම රොබට් මුන්ෂ්ගේ දරුවන්ගේ නව කතාවක් වන 'ද පේපර් බෑග් ප්‍රින්සස් 'ඒකාලේ මා බොහෝ සේ සංවේදී කළ තවත් කතාවක්.

'ද ත්‍රෝන් ඔෆ් ග්ලාස්' කෘතිය කියවා නැති අය සඳහා, ඒ කෘතිය ගැන ටිකක් අපට කියන්න පුළුවන්ද?

'ද ත්‍රෝන් ඔෆ් ග්ලාස්' කතාවෙන් ප්‍රධාන වශයෙන්ම කියැවෙන්නේ ඝාතකයකු ගැනයි. විශේෂත්වය වෙන්නේ, ඒ තරුණියක් වීමයි .දුෂිත පාලකයකු ඉවත් කර, නව පාලකයකු පත් කිරීම සඳහා වූ දැඩි තරගයකදී , ඒ දුෂ්ට පාලකයා ඝාතනය කිරීම සඳහා මේ ඝාතකයාට භාර දෙනවා. ඒ සමඟ ගලා යන කතාව තමා මෙහි අන්තර්ගතව තිබෙන්නේ.

ඔබගේ කතාවේ එන සෙලීනා සර්ඩෝතියන් චරිතය සඳහා අදහස එන්නේ කොහොමද?

මට මේ කතාව ගැන අදහස ආ ගමන්ම වගේ, මගේ හිතේ මුලින්ම ගොඩනැඟුනේ සෙලේනා චරිතය. මම ස්ටාර්ට් වෝර්ස් කතා මාලාවේ දැඩි රසිකයෙක්. එහි ආභාෂයත් මේ චරිතයට ලැබෙන්න ඇති කියලා මම හිතනවා.ඇය ඝාතකයෙක්. ඇය මිනිසුන්ට වද දෙන ආකාරය දන්නවා. ඒත් ඇය කියැවීමට ආදරය කරනවා. ඒ අතර සංගීතය හා කලාවටත් ආදරය කරනවා.

මේ දවස්වල මන:කල්පිත කතා බොහෝ සේ ජනප්‍රියයි. මේ හරහා ඔබට සම්පුර්ණයෙන්ම අලුත් ලෝකයක් නිර්මාණය කරන්න පුළුවන්.

මන:කල්පිත කතා නිර්මාණ කරුවන්ට දෙන්න තිබෙන අවවාදය මොකක්ද?

පළමුවැනි දේ තමයි, යම් චරිතයක් නිර්මාණය කිරීමට පෙර ඔබම ස්වයං ප්‍රශ්න කිරීමක් කර ගැනීම. උදාහරණයක් විදිහට ඒ චරිතයට අදාළ ඇඳුම්, ඔහුට ඒවා ලැබෙන්නේ කොහොමද ? ඒවා ,ඔහු ගත කරන ජීවිතයට , පරිසරයට අනුව ගැළපෙනවද? ආදිය ගැන සිතිය යුතුයි. ඔබ කැමැති ලෝකයක් නිර්මාණය කරන්න පුළුවන්. ඒත් හැම දේකටම සම්බන්ධයක් පැවතිය යුතුයි. නැතිනම් පාඨකයාට මෙය කල්පිතයක් ලෙසට නොහැඟෙන විදිහට කතාව ගොඩනැගිය යුතුයි. ඔබ ගොඩනගන ලෝකය තුළ ඇති සියලු දේ අතර ඇති සම්බන්ධය තාර්කික වියයුතුයි. එය සැබවින්ම ඔබ දැන් ජීවත් වන ලෝකය හා සමාන වෙනත් ලෝකයක් විතරයි.ඒ වගේ ම එය කල්පිතයක් බව නොහැඟිය යුතුයි.

ඔබේ ලෝකයට නීති මාලාවක් තිබේද? එම නිර්වචනය සඳහා උපකාර කරන ක්‍රියාවලියක් තිබේද?

මම හිතන්නේ තිබෙනවා. මට අදහසක් පැමිණි හැම විටම මම මුලින්ම එය ලියනවා. මට එය ගැළපෙනවා යයි හැඟුණොත් මම ඒක ඇතුළත් කරනවා.

ඔබ Throne of Glass හි පළමු කොටස මුලින්ම FictionPress.com වෙත ප්‍රචාරය කර , වෙබ් අවකාශයට මුදා හරිනවා. මුළු කෘතියම ප්‍රකාශයට පත් කරන්නේ නැතිව එහෙම තීරණයක් ගත්තේ ඇයි?

ඒකාලේ මට වයස අවුරුදු 16යි. මම ඒක ප්‍රකාශයට පත් කළ යුතු දැයි කියාවත් මම ඒ වෙද්දී දැනන් හිටියේ නැහැ. මට සම්පුර්ණ පොතක් ලියන්න පුළුවන් කියලවත් මට ඒ වෙද්දී හිතුණේ නැහැ. ඒ නිසා මම වැඩිය හිතන්නේ නැතිව ඒක අන්තර්ජාලයට මුදා හැරියා. මම හිතුවටත් වඩා ඒකට ප්‍රතිචාර ලැබුණා. ඊට පසුව තමා මම එම කතාව සම්පුර්ණ කළ යුතු යැයි තීරණය කළේ.

මුලින් අන්තර්ජාලයේ පළ කිරීම නිසා පසුව එය වාසියක් කියා ඔබට හැඟෙනවාද?

අනිවාර්යෙන්ම. මම දැන් හිතනවා මම ඒ මොහොතේ කළේ හරි දේ කියලා. මට එමඟින් අන්තර්ජාල ආශ්‍රිත පාඨකයන් පිරිසක් ලැබුණා. එය හොඳ දෙයක්.

අවසාන වශයෙන්, නවක ලේඛකයන් සඳහා ඔබට දෙන්න තිබෙන උපදෙස කුමක්ද?

ඔබ ආදරය කරන දේ ලියන්න. ඔබ වැඩ කරන්නේ සැබෑ නොවන ඉලක්කයක් සඳහා කියලා බොහෝ මිනිසුන් පවසාවි . ඔබේ හදවතේ ඇති දෙය තමා සත්‍ය ඉලක්කය. අනෙක් අයට එය නොපෙනුණත්, යම් දිනක ඔබේ සාර්ථකත්වය ඔවුන්ට පෙනේවි.

යශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න