අනේ අපොයි අපේ වෙරළ! | දිනමිණ

අනේ අපොයි අපේ වෙරළ!

 අප කතා කරමින් සිටින්නේ සුන්දර ශ්‍රී ලංකාවක් ගැන ය. මනබඳින වෙරළ තීරය, චිත්තාකර්ෂණීය කඳුකරය, ස්වාභාවික දිය ඇලි, සානු, නිම්න, මොහොර යනා දී සියල්ල අප සතු වටිනා ස්වාභාවික සම්පත් ලෙස ද, විදේශීය සංචාරකයන්ගේ සිත් ඇදගන්නාසුලු ස්ථාන ලෙස ද සටහන් වී තිබේ. සංචාරක කර්මාන්තය පිළිබඳ මහත් අපේක්ෂා තබා සිටින අප මේවා ආරක්ෂා කරන්නේ ද? මේවා වැඩි දියුණු කරන්නේ ද? යන ගැටලුව දැන් මතු වී ඇත. පළමුව අප මහත් ආඩම්බරයෙන් කතා කළ සුන්දර ශ්‍රී ලංකා යන උද්යෝග පාඨය ද අර්බුදයට යමින් තිබෙන බව දැනට සිදුවන දේවල්වලින් පෙනී යයි.

මීගමුව වෙරළ තීරය විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ප්‍රකට ස්ථානයකි. මේ පළාතේ හෝටල් කර්මාන්තය පවතින්නේ ද විදේශීය සංචාරකයන් නිසා යැයි කියන්නට පුළුවන. මේ වෙරළ තීරයේ මෝරවල වෙරළ තටාකය සංචාරකයන් බහුලව ගැවසෙන ස්ථානයකි. ගල්වැටියකින් නිර්මාණය වී ඇති ස්වාභාවික ජල තටාකය ආරක්ෂාකාරී ස්නානය සඳහා කදිම ස්ථානයකි. අද මේ ජල තටාකයට කිසිදු සංචාරකයකු එන්නේ නැත. එය ජරාවාස වූ විෂබීජ වළකි. මාළු ඔළු,මාළු වරල් ආදිය තටාකයට දමා එය අපිරිසුදු කර තිබේ. බෝතල් කටු ආදියෙන් ද ප්‍රදේශය විනාශ වී තිබේ. මුළු පළාත ම දුර්ගන්ධයෙන් පිරී ඇත.

පුවත්පත් මේ සිද්ධිය වාර්තාකර තිබුණේ මෝරවල වෙරළ කුණු වළක් වෙලා යනුවෙන් ය. මෝරවල පමණක් නො ව; සංචාරක ආකර්ෂණය දිනාගත් වෙරළ තීරයේ බොහෝ ස්ථානවලට මේ ඉරණම අත්වෙමින් පවතී. රටට අයත් වෙරළ සංරක්ෂණය සඳහා වෙනම ආයතන තිබේ. පරිසරය ආරක්ෂා කිරීම සඳහා නව ආයතන තිබේ. මහජන සෞඛ්‍යය පිළිබඳ සොයා බැලීමට තවත් ආයතන තිබේ. ඒ හැර මීට අදාළ භූමිය හා ස්ථානවල වගවීම නගර සභාව, ප්‍රාදේශීය සභාව, පළාත් සභාව වැනි ආයතනවලට පැවරී තිබේ. එහෙත් මහජන මතය වන්නේ මේ කිසිදු ආයතනයකට පැමිණිලි කිරීමෙන් පලක් නැති බව ය.

මේ සිද්ධිය නිරීක්ෂණය කරන විට මහජනයා ශුද්ධවන්තයන් නොවන බවද පෙනී යයි. මෝරවල වෙරළ තටාකයට මාළු ඔළු හා වරල් දමන්නට ත්‍රිකුණාමලයෙන් කිසිවකු එන්නේ නැත. මෙය කරවල නිෂ්පාදකයන්ගේ ක්‍රියාවක් බව ඉතා පැහැදිලි ය. බොහෝ දෙනකු ස්වාභාවික සම්පත්වල අගය දන්නේ නැත. ඔවුන්ගේ මුළු අවධානය යොමු වී ඇත්තේ ආදායම හා සමස්ත ලාභය කෙරෙහි පමණි. මේ ජල තටාකයට බෝතල් කටු අහසින් වැටුණේ නැත. ප්‍රදේශවාසීන් ම මත්පැන් සාද පවත්වා විනෝදයට හිස් බෝතල් ජල තටාකයට අත හරින්නට ඇත. ඇත්ත සිද්ධිය වන්නේ විනාශයට ප්‍රදේශවාසීන් ද වගකිව යුතු බව ය.

සිදුවන පාරිසරික විනාශයේ භයානකකම වටහා ගැනීමට නම්; අපේ රටේ වනාන්තර වැස්මේ ශේෂ පත්‍රය දෙස බැලිය යුතුය. 1900 දී අපේ වන වැස්ම මුළු භූමියෙන් 70% කි. 1956 වන විට 44% කි. 1981 වන විට 24% කි. 1985 වන විට 23% කි. අද වනවිට එය 20% කට වඩා අඩු බව පැහැදිලි ය. පිටරැටියන් පැමිණ අපේ වනය ශුද්ධ - පවිත්‍ර කළේ නැත. බහු ජාතික සමාගම් මේවායේ කර්මාන්ත ඇති කළේ ද නැත. වනය විනාශ කළේ අපම ය. නීති - රීති තිබූ පමණින් පරිසරය ආරක්ෂා වන්නේ නැත. ආයතන තිබූ පමණින් ද පරිසරයආරක්ෂා වන්නේ නැත. සමස්තයක් ලෙස ගත් කල සියල්ලන් ම පරිසරයට ආදරය කළ යුතුය.

මේ රටේ ප්‍රසිද්ධ දිය ඇලි බොහොමයකට අදාළ පරිසරය අපවිත්‍රවෙමින් පවතී. එයින් වැළකෙන දිය ඇල්ලක් වෙතොත්; ඒ ගමන් දුෂ්කරතාව නිසා ය. දුෂ්කර තැන්වලට විනෝදකාමීන් යන්නේ නැත. පහසුවෙන් යා හැකි දිය ඇලි අසල මත්පැන් සාද පැවැත්වෙයි. මීට ප්‍රදේශවාසීන්ගේ ද සහාය ලැබෙන්නේ එය ඉපැයුම් මාර්ගයක් වී ඇති බැවින් ය. ප්‍රදේශවාසීහු කෑම - බීම හා නවාතැන් සපයා ආදායම් ලබති. ඒ අනුව සංචාරකයාට එරෙහිවීමට ප්‍රදේශවාසීහු උත්සුක නොවෙති. මෙහි ප්‍රතිඵලය වන්නේ දිය ඇලි අවට පරිසරය මුළුමනින් ම විනාශ වීම ය. මීට අදාළ සිද්ධි පිළිබඳ වාර්තා දිනපතා ම මාධ්‍යවල පළවන්නේ වුව යහපත් ප්‍රතිඵලයක් දැකගත නො හැකි ය.

කිසියම් සමාජයක් තමන්ට හිමි ස්වාභාවික සම්පත් භාවිත කරන ආකාරය අධ්‍යයනය කිරීමෙන් ඔවුන්ගේ අනාගතය පිළිබඳ තීන්දුවක් ගත හැකි යැයි ප්‍රකට කියමනක් තිබේ. මේ කියමනට අනුව බැලුවහොත් ශ්‍රී ලංකාවේ අප පසුවන්නේ ඉතා කනගාටුදායක තැනක ය. බහුතරය පරිසරය පිළිබඳ සංවේදී නැත. මෙහි ප්‍රතිඵලයක් ලෙස වායු දූෂණය, ශබ්ද දූෂණය වැනි අලුත් තත්ත්වයන් ද වර්ධනය වෙමින් පවතී. පරිසරයේ වටිනාකම දැක්වෙන දැන්වීම් නිතිපතා දකින්නට ලැබේ. ඒවා නරඹන හා කියවන අය ම පෙරළා ඒවාට සිනාසෙන බවක් පෙනෙන්නට තිබේ. මේ තත්ත්වය වහාම වෙනස් නොකළහොත් ශ්‍රී ලංකාව ඉතියෝපියාවක් බවට පත්වීම වැළැක්විය නොහැකි ය.

ජනාධිපතිවරයා රටේ නායකයා හැටියට පරිසර සංරක්ෂණය සඳහා අවංක උත්සාහයක යෙදී සිටී. ජනාධිපතිවරයා මේ විෂයයට අදාළ අලුත් හා අර්ථවත් වැඩසටහන් ගණනාවක් ද ආරම්භ කර තිබේ. ඊට සම්බන්ධ නිලධාරීන් හා කාර්ය මණ්ඩල ද පත් කර ඇත. එහෙත් සියලු දේ හොඳින් සිදු වන්නේ යැයි කිව නො හැකි ය. දිනපතා වාර්තා වන විනාශකාරී සිද්ධිවලින් ද එය සනාථ වෙයි. එහි එක් අර්ථයක් වන්නේ නිලධාරීන්, කාර්ය මණ්ඩල හා ආයතන තමන්ගේ කාර්යභාරය නිසි ලෙස ඉටු නොකරන බව ය. රටේ නායකයාට මේ සියල්ල ඇඟිල්ලෙන් ඇන පෙන්වා දිය නො හැකිය. ඒ වෙනුවට නිලධාරීන් ගවේෂණශීලීව ක්‍රියාත්මක විය යුතුය.

අප මුලින් ද සඳහන් කළ පරිදි වෙරළ තීරය යනු ශ්‍රී ලංකාවට වටිනා වස්තුවකි. සුන්දරත්වය පමණක් ‍නොව; එහි ඇති ආර්ථික වටිනාකම ද ඉහළ ය. මාලදිවයින් රාජ්‍යය ඔවුන් සතු මුහුදු තටාකය, දූපත් හා සුන්දර වෙරළ කෙතරම් සූක්ෂ්ම ලෙස ප්‍රයෝජනයට ගන්නේ ද? අප මාලදිවයින් රාජ්‍යයෙන් පාඩම් උගත යුතු යැයි සිතේ. අවසන් ලෙස කිව හැක්කේ පරිසරයට ආදරය නොකරන මිනිසා තම අනාගතය විනාශ කරගන්නා බව ය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...