සභික සංඛ්‍යා ගැසට්ටුවට අතුරු තහනමක් | දිනමිණ

සභික සංඛ්‍යා ගැසට්ටුවට අතුරු තහනමක්

නෙල්කා මැදගෙදර

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ඡන්ද කොට්ඨාස සහ සභිකයන් සංඛ්‍යාව සඳහන් කරමින් ඉකුත් පෙබරවාරි 17 දින නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මකවීම තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ (22) අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙළේය. ලබන දෙසැම්බර් මස 04 වැනිදා තෙක් මේ අතුරු තහනම් නියෝගය බල පැවැත්වේ. එම ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළ අභියාචනාධිකරණය පෙත්සමෙහි වගඋත්තරකරුවන් වන පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුත්තාපා සහ එම අමාත්‍යාංශ ලේකම්වරයාට දෙසැම්බර් මස 04 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් නොතීසි නිකුත් කෙළේය.

පළාත් පාලන මැතිවරණ පනතේ 3 (ඩී) 1 වගන්තියට පටහැනිව යමින් පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවත් ඇමැතිවරයා සහ ඇමැතිවරයා පත් කළ දෙවැනි කමිටුව සිය බලය ඉක්මවා කටයුතු කර ඇති බවත්, අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කරමින් එල්.ටී.බී. දෙහිදෙනිය, කුමුදුනී වික්‍රමසිංහ සහ එල්.ටී.බී. දෙහිදෙනිය යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල මෙහිදී සඳහන් කෙළේය.

එබැවින්එම ගැසට් නිවේදනය නීතියට පටහැනිව නිකුත් කර ඇති බව පෙනී යන අතර එවැනි ගැසට් නිවේදනයක් මත පදනම්ව මැතිවරණය පැවැත්වුවහොත් එයින් සාධාරණ මැතිවරණ ප්‍රතිඵලයක් අපේක්ෂා කළ නොහැකි බවත්, එමඟින් ඡන්ද දායකයන්ගේ අයිතීන් උල්ලංඝනය විය හැකි බවත්, එහිදී සඳහන් කෙරිණි.

ඒ අනුව මෙම පෙත්සම සලකා බැලීමට ‍තරම් ප්‍රමාණවත් කරුණු පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඉදිරිපත් කර ඇති බවට අධිකරණය විසින් තීරණය කර ඇත.

පෙත්සමට එරෙහි විරෝධතා සතියකදී ගොනු කරන ලෙස පෙත්සමෙහි වගඋත්තරකරුවන්ට නියම විය.

දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද මැදිහත් පාර්ශ්ව පෙත්සම් පසුව සලකා බැලීමට තීරණය කළ අභියාචනාධිකරණය ඔවුන්ගේ විරෝධතාද ගොනු කරන ලෙස නියම කෙළේය. මහනුවර ඩබ්ලිව්.ඩී.ජී. විජේරත්න, කොළඹ 13 සිරිසේන ප්‍රනාන්දු, හල්මිල්ලවැව ආර්.කේ. මහින්ද කුමාර, බණ්ඩාරවෙල ඩී.කේ. ආරියරත්න, උඩවලව ජේ.කේ. ආර්. සේනාධීර, දෙනියාය පී.එම්.වයි. ධනුෂ්ක විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ඡන්ද කොට්ඨාස සහ සභිකයන් සංඛ්‍යාව සඳහන් අංක 2066/44 දරණ ගැසට් නිවේදනය පෙබරවාරි මස 17 දින නිකුත් කරන ලදී.

ජාතික සීමා නීර්ණය කොමිසමේ වාර්තාව නිකුත් කිරීමෙන් පසුව ඡන්ද කොට්ඨාස සීමාවන් නැවත තීරණය කිරීම සඳහා ඇමැතිවරයා විසින් දෙවැනි කමිටුවක් පත්කර ඇත. එම කමිටුව විසින් ඡන්ද කොට්ඨාස සීමාවන් පමණක් නොව සභිකයන් සංඛ්‍යාවද වෙනස් කර ඇතැයි පෙත්සමෙහි සඳහන් විය.

එමඟින් ඡන්දදායකයන්ගේ අයිතීන් වලට බලපෑමක් ද වන බැවින් අදාළ ගැසට් නිවේදනය අවලංගු කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ ඉල්ලා සිටියහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, එහි ලේකම් සාගර කාරියවසම්, ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා, කැෆේ සංවිධානය, පැෆරල් සංවිධානය සහ එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ඇතුළු සිවිල් සංවිධාන විසින් මැදිහත් පාර්ශ්ව පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එන්.එම්. සහීඩ් මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අර්ජුන ඔබේසේකර මහතා වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...