බොරු ප්‍රචාර පතුරුවන අය පිළිබඳ සී.අයි.ඩී පරීක්ෂණ | දිනමිණ

බොරු ප්‍රචාර පතුරුවන අය පිළිබඳ සී.අයි.ඩී පරීක්ෂණ

බුද්ධිකා ඉඹුලාන,සිතාරා සේනානි,අසේල ලියනගේ 

 රටේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවීමට තුඩුදෙන අන්දමින් මහජනයා නොමග යැවීම සඳහා කටකතා, බොරු ප්‍රචාර පතුරුවන අය පිළිබඳ ව රහස් පොලිසිය දැනටමත් පරීක්ෂණ ආරම්භ කොට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය.

ගිංතොට ප්‍රදේශයේ පසුගිය සතියේ කලබලකාරී තත්ත්වයක් උත්ගතවූ බවට පැතිර ගියේ මෙවැනි කටකතා හා බොරු ප්‍රචාර බවද ගුණසේකර මහතා තවදුරටත් කීය.

වසර ගණනාවකට පෙර සිදු වූ බෝම්බ පිපිරීමකින් මියගිය අයගේ මළ සිරුරු සහිත ඡායාරූප ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි මගින් පළ කොට තිබුණේ ගිංතොට ප්‍රදේශයේ සිදුවූ ඝාතනවලින් මියගිය අයගේ සිරුරු ලෙස දක්වමින් බවද ගුණසේකර මහතා අවධාරණය කෙළේය.

පසුගිය දිනවල තෙල් හිඟයක් ඇතිබවට කෙටි පණිවුඩ හා සමහර සමාජ මාධ්‍ය ඔස්සේ කෙරුණු බොරු ප්‍රචාර නිසා ඉන්ධන පිරවුම්හල් අසල දින ගනනාවක් පෝලිම් පැවතුණා. ඒවගේම ම සුනාමියක් එන බවට පැතිර ගිය කටකතාවක් නිසා බියට පත් මුලතිව් ප්‍රදේශයේ ජනයා පසුගිය දා(21) නිවෙස්වලින් පිටත් ව ගොස් තිබූ අතර නගරය ද පාළුවට ගොස් තිබුණා.

මේ නිසා ඉදිරියේ දී මෙවැනි තත්ත්වයක් ඇතිවීම වළැක්වීම සඳහා 2017 අංක 50 දරණ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ දැඩි පියවර ගන්නවා. යැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

 

ඊයේ (22) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මේ බැව් අනාවරණය කෙළේය. 

නව අදහස දක්වන්න