මහ­වැ­ලිය නව මඟ­කට | දිනමිණ

මහ­වැ­ලිය නව මඟ­කට

 

මහවැලි සංවර්ධන වැඩපිළිවෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අතමිට සරු ගොවි පරපුරක් බිහිකිරීමේ නව මාවතකට යොමු වී ඇත.

ශ්‍රී ලංකාව සතු විශාලතම ස්වාභාවික සම්පත් ජාලය අතර ප්‍රමුඛයා ලෙස මහවැලි ගඟ පත්කොට, ඒ ඇසුරින් රටේ ගොවිතැන, විදුලිය, පානීය ජලය වැනි මූලික මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමේ කඩිනම් ඉලක්කගත වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්. එම්. ගෝඨාභය ජයරත්න මහතා ප්‍රකාශ කෙළේය.

ශ්‍රී ලංකාවේ භූමියෙන් තුනෙන් එකක් ආවරණය වන මහවැලි ගොවි ජනපදවල ජීවත්වන පවුල් ලක්ෂ තුනකට ආසන්න ගොවි ජනතාව ලක්ෂ 10 කට අධික පිරිසගේ ආර්ථික තත්ත්වය නංවාලීම සඳහා ඉලක්කගත වැඩපිළිවෙළ ගණනාවක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

මහවැලි ඉඩම් ලැබූ ජනපදිකයින්ට වාර්ෂිකව තම ඉඩමේ වගා කටයුතු සිදු කරන්නට ඉලක්කයක් ලබා දී අස්වැන්න ඒ අයුරින්ම ලබාගත හැකිවන ආකාරයට උදව් කිරීම, මඟපෙන්වීම සිදුකරනු ලැබේ.

ඊට අමතරව අස්වැන්න අලෙවි කර ගැනීමට, කල්තබා ගැනීමට, අවශ්‍ය මූලික පහසුකම් සැපැයීම, මහවැලි ඉඩම්වලින් උපරිම ඵල ප්‍රයෝජන ලබාගැනීම, කෘෂිකර්මාන්තය නව්‍යකරණය කිරීම, නව අපනයන බෝග වගාව දිරිගැන්වීම, මහවැලි ජලය උපරිමයෙන් කළමනාකරණය කොට ප්‍රයෝජනයට ගැනීමට ගොවි ජනතාව උනන්දුකරවන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කෙළේය.

මහවැලි ජලයෙන් ගොවිතැනට අවශ්‍ය ජලය කලට වේලාවට ලබා දෙමින්, ගොවිතැන වැඩි කරන අතර, මිරිදිය ධීවර කර්මාන්තය නැංවීම, සංචාරක කර්මාන්තය දෙසට මහවැලි කලාප යොමුකිරීම සිදු කැරේ.

මහවැලි කලාප 10, කොට්ඨාස කාර්යාල 48 ම කටයුතු නව තාක්ෂණය හා සම්බන්ධ කර නව තාක්ෂණ සම්පත් මධ්‍යස්ථාන 10 ක් ඉදිකරන අතර, ඒ තුළින් ගොවි ජනතාවට වෙළෙඳපොළ මිල තොරතුරු, අස්වැන්න වැඩි මිලට විකුණාගත හැකි වෙළෙඳපොළ තොරතුරු, ගොවි රක්ෂණ තොරතුරු, අපනයන කෘෂිකාර්මික දැනුම පවා ලබාගැනීමට ඉඩකඩ ලබා දී ඇත.

මේ තොරතුරු මධ්‍යස්ථාන 10 ගොඩනැගීම සඳහා රුපියල් මිලියන 100 ක මුදලක් වෙන්කොට ඇතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කෙළේය.

රට තුළ තිරසාර පරිසරය හා මහවැලි කලාපයේ ජීවත්වෙන ජනතාවගේ වැඩිදියුණු වූ ජීවන තත්ත්වයක් ඇතිකිරීම ඉලක්කකොට ලබන වසර (2018) රුපියල් මිලියන 11400 ක් වැයකොට මොරගහකන්ද කළුගඟ සංවර්ධන, උමා ඔය සංවර්ධනයට රුපියල් මිලියන 11,300, ජල සම්පත් සංවර්ධනයට රුපියල් මිලියන 7380, වේළි ආරක්ෂණයට රුපියල් මිලියන 1400 ක්, සුළු වාරිමාර්ග ශක්තිමත්කොට ගොවීන්ට ජලය ලබාදීමට රුපියල් මිලියන 900 ක් වෙන්කොට ඇතැයි ද ගෝඨාභය ජයරත්න මහතා කීය.

මහවැලි ගඟ පවිත්‍ර කිරීම, ඉවුරු ඛාදනය වැළැක්වීම, ස්වභාවික සුන්දරත්වය රැකගැනීම උදෙසා ගස් වැවීම, පිරිසිදු කිරීම ඇතුළු ජනතා සහභාගීත්වය ඇති නව වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා පැවැසීය.

ජයසිරි මුණසිංහ සහ ශීලා උඩුවර

නව අදහස දක්වන්න