බොන්ඩ් සහ මිස්ටර් ක්ලීන් | දිනමිණ

බොන්ඩ් සහ මිස්ටර් ක්ලීන්

 බොන්ඩ් කියා මහජනයා කලින් දැන සිටියේ ජේම්ස් බොන්ඩ් ගැන පමණක් විය හැකිය. ජේම්ස් බොන්ඩ් යනු නවකතා හා චිත්‍රපට රාශියක කතා නායකයා වූ කල්පිත චරිතයකි. රහස් ඔත්තුසේවා නිලධාරියෙකි. එම කතාවලදී නිතරම කුතුහලය පැවති අතර අරුම පුදුම දේ හෙළිදරව් විය. ඒ සියල්ල කුතුහ‍ලයෙන් කියැවිය හැකි කතන්දරයි.

දැන් අපට බොන්ඩ් කියා දැනගන්නට ලැබෙන්නේ බැඳුම්කර පිළිබඳවය. භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුවක සිදුවූ බව කියන දූෂණයක් නැතහොත් වංචාවක් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිස‍මේ පරීක්ෂණය දැන් අවසන් ය. එය ද ජේම්ස් බොන්ඩ් කතාවක් තරම්ම කුතුහලය දනවන සිදුවීම්වලින් ගහනවීය. අගමැතිවරයා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී එයට සාක්ෂි ලබාදුන්නේය. එය මෙරට ඉතිහාසයේ පළමු වතාවට සිදුවූවකි. මීට පෙර ඇමැතිවරු තිදෙනෙක් මෙහි සාක්ෂි දුන්නේය. තමන්ට යම් චෝදනා අතන මෙතන එල්ලවී තිබුණේ නම් ඒවා නිවැරදි කරගෙන යාමට දෙදෙනකුට හැකියාව ලැබුණි. එසේ වුවද රජයේ බලගතු ඇමැතිවරයකුව සිටි රවි කරුණානායක මහතාට තම ඇමැතිකම අතහැර යන්නට සිදුවූයේ මෙම කොමිසමේදී හෙළිදරව් වූ කරුණක් නිසාය.

තවත් පැත්තකින් බලනවිට බැඳුම්කර කොමිසම ඉදිරියට ගියේ මේ රටේ ප්‍රධාන පාලක පක්ෂයේ (බහුතර පක්ෂය) නායකයා, සභාපති හා මහලේකම්වරයා වීමද විශේෂත්වයකි. මෙහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරිපත්වීම හා කරුණු දැක්වීම අතිශයින් වැදගත් විය. බැඳුම්කර වංචාවක් සිදුවූ බවත්, මහබැංකු අධිපතිවරයා ලවා එය කරවූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බවත් විපක්ෂය කිය කියා යෑම ඊට හේතුවයි. කිසිඳු ටෙන්ඩරයක් හෝ වෙන්දේසියක් නැතිව මිලදී ගන්නා ක්‍රමය නවතා දමා බැඳුම්කර වෙන්දේසි කරන ලෙස හිටපු මහබැංකු අධිපතිවරයාට උපදෙස් දී ඇත්තේ අගමැතිවරයා වීම මෙම චෝදනාවට එක හේතුවකි. බැඳුම්කර කොමිසම ඉදිරිපත් කළ ප්‍රශ්න 48කට පිළිතුරු දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ නිර්දෝෂීභාවය මෙන්ම ආණ්ඩුවේ ගෞරවය ද රැක ගත්තේය. ඒ ගැන කොමිසමේ සභාපතිවරයාගේ පැසසුම ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හිමි විය.

අගමැතිගේ විශ්වාසය

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීමේ ප්‍රශ්නයක් ගැන මුලින්ම වාර්තා වූයේ 2015 පෙබරවාරි 27 වැනිදා නිකුත්කළ බැඳුම්කර සම්බන්ධයෙනි. ඒ වනවිට නව මහ බැංකු අධිපති වශයෙන් අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත්ව සිටියේය. වෙන්දේසිය කැඳවා තිබුණේ බිලියන එකක මුදලක් ලබාගන්නටය. එසේ වුවද මහේන්ද්‍රන් මහතාගේ උපදෙස් පරිදි බිලියන දහයකට වැඩි ප්‍රමාණයක් ගෙන තිබිණි. එයින් අඩක් ලබාගෙන තිබුණේ මහේන්ද්‍රන් මහතාගේ බෑණාගේ සමාගම වන පර්පචු‍වල් ට්‍රෙෂරීස් සමාගමයි. විපක්ෂය කියන්නට ගත්තේ මෙය මාමා බෑනා ගේමක් වශයෙනි.

ආණ්ඩුව කල්පනා කළේ විවෘත වෙන්දේසියකදී වංචාවක් සිදුවීයැයි පිළිගත නොහැකි බවයි. එමෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පිළිබඳව විශ්වාසය තබා කටයුතු කළ බව පෙනෙන්නට තිබිණ. අගමැතිතුමා මහේන්ද්‍රන් මහතා ආරක්ෂා කරනවිට විපක්ෂය ක්‍රියා කළේ දූෂණයක් සිදුවූ බව කියමින් එහි වගකීම ද රනිල් වික්‍රමසිංහ මහතා පිට පටවන්නටය.

මිස්ටර් ක්ලීන් ලෙස නමක් දිනාගෙන සිටින රනිල් වික්‍රමසිංහ මහතාට මඩ ගසන්නට මෙබදු අවස්ථාවක් තවත් නොලැබෙන බව විපක්ෂයේ සියල්ලෝ දැන සිටියහ. ඒ නිසාම තම ප්‍රචාර වඩාත් උත්සන්න කරමින් අගමැතිවරයාත් රජයේ ඇමැතිවරුනුත් මෙයට පටලවන්නට විශාල වෙහෙසක් දැරූහ.

පිල් බෙදුණු තීන්දු

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභා දෙකකින් ද මෙම පරීක්ෂණය සිදුවිය. ඒ දෙකෙහිදීම පෙනෙන්නට තිබුණේ මහබැංකුවේ සැබැවින්ම සිදුවූ‍ දේ සොයනවා වෙනුවට තම තමාගේ අභිමතය අනුව තීන්දු දෙන්නට මෙම දේශපාලනඥයන් යොමු වූ බවකි. කොමිටු තීන්දු ආවේ පක්ෂ වශයෙන් පිල් බෙදුනු තත්ත්වයකිනි.

දෙවන කෝප් කමිටුව බෙදුනේ එජාප මන්ත්‍රීවරුන් එක් පිලකට හා අනෙක් සියලු දෙනා එක් පිලකට වශයෙනි. බහුතරයේ වාර්තාව ‍එලෙස නොපිළිගත් එජාප කණ්ඩායම පාද සටහන් යොදා කීවේ මෙයට අපරාධ පරීක්ෂණ විගණනයක් නැතහොත් අධිකරණමය විගණනයක් (Forensic Audit) අවශ්‍ය බවයි. එම කමිටුවේ බහුතරය කියා තිබුණේ හිටපු මහ බැංකු අධිපති හඳුන්වාදුන් වෙන්දේසි ක්‍රමය නිසා පාඩු සිදුවූ බවයි. එය විගණකාධිපතිවරයා ඉදිරිපත්කළ අදහසයි.

ජනාධිපතිතුමා බැඳුම්කර පරීක්ෂණය සඳහා කොමිසමක් පත්කළේ මෙබඳු ගැටුමක් පවතිද්දීය. කෙසේ වෙතත් මෙම පරීක්ෂණයේදී හෙළිවූ කරුණුවලින් පෙනී ගොස් ඇත්තේ නිවැරදි මතය ඉදිරිපත් කළේ කෝප් කමිටුව නොව පාද සටහන් යෙදූ කණ්ඩායම බවයි. එනම් අපරාධ පරීක්ෂණයක් අවශ්‍ය බව කියූ උදවියයි. මහ බැංකුවේ ඇත්තටම සිදුව තිබෙන අත යට ගනුදෙනු එළියට ආවේ එබඳු පරීක්ෂණයක් සිදුවූ හෙයිනි.

මෙහිදී ජනාධිපති පරීක්ෂණ කොමිසමට විශාල සහයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලැබුණු බව පෙනෙන්නට තිබිණි. මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ පැමිණිල්ලකට අනුව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බැඳුම්කර ගනුදෙනු සම්බන්ධ අපරාධ පරීක්ෂණයක් ආරම්භකොට තිබිණි. බොහෝවිට ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් වුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයේ හෙළිකරගත් සාක්ෂි බව පැහැදිලි විය.

කොමිසමේ පරීක්ෂණය අතරවාරයේ වෙනත් ව්‍යාපෘති ද අපට දක්නට ලැබිණි. කොමිසම ඉදිරියේ ඇතැම් රංගනයන් සිදුවූයේ ජනමාධ්‍යයේ අවධානය සඳහාම බව පෙනෙන්නට තිබිණි. එමෙන්ම ඉදිරිපත්වන සාක්ෂි තමන්ට කැමැති ලෙස අර්ථ දක්වා ඉදිරිපත් කරමින් ගෙනගිය දේශපාලන මාධ්‍ය මෙහෙයුමක්ද ක්‍රියාත්මක වීය. වැදගත් කරුණු සඟවා මඩ ගසන්නට අවශ්‍ය කරුණු පමණක් ඉදිරිපත් කිරීම එම මාධ්‍ය මෙහෙයුමේ කාර්යය වී තිබිණි.

කෙසේ වෙතත් ජනාධිපති කොමිසමේ පරීක්ෂණය විනිවිද භාවයෙන් යුතුව පැවැති බව පැහැදිලි විය. එහිදී බොහෝ දේ හෙළිදරව් විය. එයින් අප දන්නේ මාධ්‍යයෙහි පළවූ දේ පමණකි. කොමිසමට ඊට වඩා පැහැදිලි සාක්කි ලැබී තිබිය හැකිය. දෙසැම්බර් 8 වැනිදාට එම වාර්තාව ලැබෙනු ඇත. එසේ වුවද මෙතෙක් හෙළිදරව් වූ ‍ඇතැම් කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමේ වරදක් නැති බව පැහැදිලිය.

මෙහි ප්‍රධාන ප්‍රශ්නය නම් මහ බැංකුවේ අභ්‍යන්තර තොරතුරු බැහැර දුන්නේ කවුද? යන ප්‍රශ්නයයි. පරීක්ෂණයට පෙර ඇඟිල්ල දිගුවී තිබුණේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වෙතටය. එය තවමත් වලංගුද යන්න කොමිසමේ අවසන් නිගමනයෙන් දැනගත හැකිවනු ඇත.

හෙළි වූයේ මොනවාද?

දැනට අප දන්නේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමඟ ඩීල් දැමූ මහ බැංකු නිලධාරින් පිළිබඳව හෙළිදරව් වී ඇති බවයි. ඔවුන්ගේ සමහරුන්ට අල්ලස් දුන් බවට ද සාක්ෂි ලැබිණි. එම අල්ලස් දීම් අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති වීමට පෙර සිට සිදුව ඇති බව ද හෙළිදරව් වී තිබේ. මේවා වැදගත් කරුණු බවට සැකයක් නැත. සොයාගත යුත්තේ එම සමාගමෙන් මුදල් ලබාගත් අනෙක් ලිට්ල් ජෝන්ලා හා ෆැට් මෑන්ලා කවුද යන්නයි.

තවත් වැදගත් කතාවක්ද කොමිසම හමුවේ හෙළිදරව් විය. එය නම් බැඳුම්කර ගනුදෙනුවලින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම උපයාගත් සියලු මුදල් එම සමාගමේ හෝ වෙනත් අනුබද්ධ සමාගම්වල ගිණුම්වල තිබෙන බවයි. එම මුදල් වෙනත් සමාගම්වලට මාරුකොට ඇති සැටි මෙන්ම එම ප්‍රමාණයන්ද කොමිසමට දැනුම් දුන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසිනි.

මෙය ඉතා වැදගත් සාක්ෂියකි. එයින් පෙනෙන්නේ මෙය පර්පචුවල් ට්‍රෙෂරීස් තමන් වෙනුවෙන්ම කළ ව්‍යාපාරයක් බවයි. එය වංචාවක් ද, දූෂණයක් ද, අපරාධයක් ද යන්න ගැන කොමිසමේ තීන්දුව ලැබෙනු ඇතැයි සිතමු. කෙසේ වෙතත් එයට මැති ඇමැතිවරුන් හෝ එජාපය හෝ ගාවන්නට විපක්ෂයේ ඇතැමුන් කරන උත්සාහය මෙම සාක්ෂියෙන් ව්‍යර්ථ වෙයි. එම මුදල් වෙනත් කිසිවකු අතට පත්ව නැත යන්න මෙමගින් තහවුරු වන කාරණයයි. “එජාපයට සල්ලි නැති නිසා මහ බැංකුව බින්ඳා” කියන අයට මෙය කනේ පහරකි. එජාපයට හෝ මැති ඇමැතින් අතට ශත පහක් හෝ ගොස් නැත. ඒ මුදල් අර්ජුන ඇලෝසියස් මහතාගේම සමාගම්වල තැන්පත්ව ඇත. සාක්ෂි ඉදිරිපත් වුණේ එහෙමය. ඊට වඩා වෙනස් යමක් කොතනක හෝ ඉදිරිපත්වූ බවක් දැනගන්නට ලැබුණේ නැත.

අනෙක් කාරණය නම් මෙම ගනුදෙනුවේ, වංචාවේ නැතහොත් දූෂණයේ ප්‍රමාණය පිළිබඳවයි. ඒකාබද්ධ විපක්ෂය කියන්නේ එය ට්‍රිලියන් ගණනක් බවයි. ඒ ගණන හදන්නේ අමුතුම ආකාරයෙනි. “පොලී අනුපාතය වැඩි වුණා - අවුරුදු තිහක පාඩුව මෙන්න” ආකාරයෙනි. ඒ සඳහා ‍යොදාගන්නා සංඛ්‍යා අවිනිශ්චිතය. ඒවා බොහෝවිට හිතළුය.

අර්ජුන ඇලෝසියස් ලැබූ ලාභය ගණනය කොට ඇති බවත් එය මිලියන නවසිය හතළිහක් බවත් කොමිසමේදී කියැවුණු කතාවයි. මහ බැංකුවේ පාඩුව ඊට වැඩිනම් ඉතිරි මුදල් ගියේ කොහේද? කියා ප්‍රශ්නයක් මතුවෙයි. එය මෙම ගනුදෙනුවට සම්බන්ධ වෙනත් පාර්ශ්වයන්ට යා යුතුය. එහි එක පාර්ශවයක් නම් සේවක අර්ථසාධක අරමුදලයි. එසේනම් එයට වාසියක් සිදුවී තිබේ ද? එයද විය නොහැක්කක් නොවේ.

විපක්ෂය කියන්නේ අර්ථසාධක අරමුදලට පාඩුවූ බවයි. එය සිදුවන්නේ සියයට 12.5 කට ඇලෝසියස් ගත් බැඳුම්කර සියයට 12ට අර්ථසාධක අරමුදලට ගැනීමෙනි. පාඩුව පෙන්වන්නේ සියයට දශම පහකි. එසේ වුවද වෙන්දේසියෙන් අර්ථසාධක අරමුදල ගන්නට ගියේ නම් ලංසු තියන්න වෙන්නේ සියයට 12.5ට නොවන්නට ඉඩ ඇත. මහ බැංකුව ගණනය කළ අනුපාතය සියයට 9ක් හෝ 9‍.5ක් විය හැකිය. වෙන්දේසියෙන් ගන්නේ නම් පොලිය එකය. ඉතින් අලෝසියස් එක්ක ඩීල් එක දමාගෙන අර්ථසාධකයටත් ලාභ පෙන්වන්න නිලධාරින්ට හැකියාව ඇත. මෙහිදී සිදුවුණේ එවැන්නක් වීමට හොඳටම ඉඩකඩ තිබේ.

ඇලෝසියස් ගේ අමුතු ගේම

කිසිවකු නිවැරදිකරුවන් හෝ වැරදිකරුවන් හෝ කියා නිගමනය කිරීමට අප ඉක්මන් විය යුතු නැත. එය කොමිසන් වාර්තාවෙන් සිදුවනු ඇත. අප නොදන්න ඇතැම් කාරණාද එමගින් හෙළිවනු ඇත. මේ අප කතා කළේ කොමිසමේ ඉදිරිපත්වූ සාක්ෂිවලින් මැවෙන තත්ත්වය පිළිබඳවය.

කෙසේ වෙතත් ඇලෝසියස් බෑණා වීම ගැන මහේන්ද්‍රන් මහතා වරදකරු කළ නොහැකිය. එය වරදක් නොවුණත් එයට සෑහෙන දඬුවමක් හා හිත් වේදනාවක් අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ වනවිටත් ලබා ඇති බවනම් නිසැකය. අනෙක් අතට මහේන්ද්‍රන් මහතා මාමා වීම ඇලෝසියස් මහතාගේද අවාසනාවකි. මහේන්ද්‍රන් මාමා වීමත් ඔහු මහ බැංකු අධිපතිවීමත් නොවන්නට ඇලෝසියස් මහතාගේ මේ අමුතු ගේම පිළිබඳව කිසිවකුගේ අවධානය යොමු නොවන්නට ද ඉඩ තිබිණි. මෙය මෙතරම් විශාල කුණාටුවක් වූයේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහ බැංකු අධිපති තනතුරට තෝරා ගැනීමත් ඉන්පසුව මේ මාමා බෑණා ප්‍රශ්නයට දේශපාලන අවධානය යොමුවීමත් නිසාය.

දැන් ඉතින් සියලු මඩගැහිලි අවසන් කරන්නට විපක්ෂයට සිදුවනු ඇත. යහපාලනය තුළ දූෂණය, වංචාව ගැන පරීක්ෂණ සිදුවන්නේ එහෙමය. ඒ සියල්ල එසේ තිබියදී ජනතාවට ප්‍රශ්නයක් වී තිබෙන්නේ මේ ආණ්ඩු කාලයේ දූෂණ, වංචා චෝදනා පිළිබඳ විමර්ශන ශීඝ්‍රගාමී දුම්රියක වේගයෙන් ඉදිරියට යනවිට පසුගිය රජයේ දූෂණ වංචා පරීක්ෂණ ඉබි ගමනේ යන්නේ මන්ද? කියාය. දැන් ඉතින්වත් එම ප්‍රශ්නයටද උත්තරයක් සොයාගත යුතුව ඇත.

සී. ජේ. අමරතුංග


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...