අධ්‍යාපනයේ නිදහස සහ නිදහස් අධ්‍යාපනය | දිනමිණ

අධ්‍යාපනයේ නිදහස සහ නිදහස් අධ්‍යාපනය

 අධ්‍යාපනය පිළිබඳ (විශේෂ කාරක සභාවේ) විධායක සභාව විසින් 1943 දී නිකුත් කරන ලද XXIV සැසි වාර්තාව 1945 සිට ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය යන්න අර්ථ ගන්වා තිබේ. අද්‍යතන යුගයේ බහුල ලෙස භාවිත වන වචනය බවට ද නිදහස් අධ්‍යාපනය පත් වී තිබේ. එ‍සේ වුවද එය නිසි පරිදි අර්ථ ගන්වා භාවිත නොකරන අතරම එය පුද්ගල බද්ධ අර්ථකථනයන්ට ලක් වී තිබේ. එබැවින් ඉහත දැක් වූ වාර්තාවෙන් නිර්දේශිත නිදහස් අධ්‍යාපනය විමර්ශනය විය යුතු ය. කන්නන්ගර මැතිතුමන් විසින් නිදහස් අධ්‍යාපනය යනුවෙන් අර්ථ ගැන්වූ අදහස එකල විධායක කාරක සභාවෙන් මෙන්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් ද සම්මත කර තිබේ. වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර ශ්‍රී ලාංකීය නීතිය ලෙස සැලකේ. මෙම ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වනුයේ ශ්‍රී ලංකාවේ පැවති ඕනෑම රාජ්‍ය මන්ත්‍රණ සභාවක මෙන්ම ව්‍යවස්ථාදායක සභාවක හා පාර්ලිමේන්තුවක හා ජාතික රාජ්‍ය සභාවක අනුමත වූ සියලුම නීතිරීති අණපනත් වර්තමානයේ ද නීති ලෙස සැලකෙන බවයි. එබැවින් මෙම වාර්තාව අනුව අර්ථ ගැන්වූ නිදහස් අධ්‍යාපනය යන්න විමසා බැලීම වැදගත් වේ. අධ්‍යාපනය පිළිබඳ විශේෂ කාරක සභා සැසි වාර්තාවේ (1943 පිටු අංක 120) නිදහස් අධ්‍යාපනය යන්න අර්ථ දැක්වෙන්නේ මෙසේ ය.

“බාලාංශයේ සිට විශ්වවිද්‍යාලය තෙක්ම (එය ද ඇතුළත් වන සේ) අධ්‍යාපනයේ වියදම රජයේ අරමුදල්වලින් සහ නො‍හොත් පළාත් පාලන මණ්ඩලවල අරමුදල්වලින් දැරිය යුතු යැයි අපි අදහස් කරමු.”

(අ) පෝෂිත වූ ප්‍රාථමික හා කාරක පාඨශාලා සම්බන්ධයෙන් යෝග්‍ය ගුරු මණ්ඩලයක මුළු වැටුප් ද, ශිෂ්‍යයින්ට පොත් හා ලිවීමේ උපකරණ ආදිය සඳහා යන වියදම ද පාඨශාලා උපකරණ සඳහා ආධාර මුදලක් ද,

(ආ) පෝෂිත වූ ද්විතීයික සහ ජ්‍යෙෂ්ඨ පාඨශාලා සම්බන්ධයෙන් යෝග්‍ය ගුරු මණ්ඩලයක මුළු වැටුප් ද, ශිෂ්‍යයන්ට ලිවීමේ උපකරණ ආදිය සඳහා යන වියදම ද, උපකරණ ගාස්තුවෙන් අය නොකරතොත් උපකරණ සඳහා ආධාර මුදලක් ද

(ඉ) පෝෂිත අභ්‍යාස විද්‍යාලයක් සම්බන්ධයෙන් යෝග්‍ය ගුරු මණ්ඩලයක මුළු වැටුප් ද උපකරණ සඳහා ආධාර මුදලක් ද

(ඊ) විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් එහි පිවිසෙන සියලු දෙනාටම නිදහස් අධ්‍යාපනයක් දීමට ආධාර මුදලක් ද යනුය.

මේ හැර නිදහස් අධ්‍යාපනය තුළ රජය දරන අධ්‍යාපන වියදමට සුදුසු තැන්වලදී දුප්පත් ශිෂ්‍යයින්ට ඉඳුම් හිටුම් හා කෑමබීම සැපයීමේ වියදම ද ඇතුළත් විය යුතුය. සැලකිය යුත්තක් ඇත.

(i)ඉහත සඳහන් කුමන ආකාරයේ අධ්‍යාපනයක් සම්බන්ධයෙන් වුව ද කුමන ඉගැන්වීම් ගාස්තුවක්වත් අය නොකළ යුතුය.

(ii)උපකරණයන් පිළිබඳ වියදම දැරීම සඳහා උපකරණ ගාස්තුවක් අය කිරීමට ද්විතීයික හා ජ්‍යෙෂ්ඨ පාඨශාලාවලට බලය දෙනු ලැබේ.

ඉහත නිර්දේශය අනුව නිදහස් අධ්‍යාපනය ලෙස සම්මත කර ඇත්තේ ගුරු මණ්ඩලවල වැටුප් ද ශිෂ්‍යයන්ගේ ලිවීමේ උපකරණ සඳහා වියදම ද වේ. මේ අනුව මවුපියන්ගෙන් මුදලක් අය නොකර රජය ඉගැන්වීමේ ගාස්තු දැරිය යුතු වේ. ගුරු වැටුප් ද නිදහස් අධ්‍යාපනය යන්නෙන් අර්ථ ගැන්වේ.

මේ හැර විශේෂ කමිටු වාර්තාව අනුව විශ්වවිද්‍යාලයට පිවිසෙන සියලු දෙනාටම නිදහස් අධ්‍යාපනයක් දීම හෙවත් එම වියදම ද රජය දැරිය යුතු ය.

විශ්වවිද්‍යාලවලට පිවිසෙන ගුරුවරුන් සම්බන්ධ වැදගත් සඳහනක් මෙහි ඇත. විශේෂ කමිටු වාර්තාවේ 120 පිටුවෙහි “(ඊ) විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පිවිසෙන සියලුම දෙනාටම නිදහස් අධ්‍යාපනයක් දීමට ප්‍රමාණවත් ආධාර මුදලක් සැපයේ” යන්නය. මෙහි දී විශ්වවිද්‍යාලයට පිවිසෙන ගුරුවරුන්ට ද ප්‍රමාණවත් මුදලක් වැය කරන බව මෙයින් අදහස් වේ. කන්නන්ගර විශේෂ කමිටු වාර්තාවේ 144 පිටෙහි ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවීම පිළිබඳ හා එහි පාඨමාලා පිළිබඳ සඳහන් කරන අතර උපාධිධාරී ගුරු පුහුණුව පිළිබඳ ද දක්වයි. “ලංකා විශ්වවිද්‍යාලයෙහි ආචාර්යවරුන් පුහුණු කිරීමේ අංශයක් ද යථා කාලයේ දී පිහිටුවීමට ද ව්‍යවස්ථා පනවා ඇත්තේය.” මේ අංශය සම්පාදනය කරනුයේ උපාධිධාරී ගුරුවරුන් පුහුණු කිරීම සඳහා පමණි. මෙම අංශය 1944දී කොළඹ ලංකා විශ්වවිද්‍යාලය තුළ ආරම්භ කරන ලදී.

විශේෂ කමිටු වාර්තාවේ 120 වන “පිටුවෙහි විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පිවිසෙන සියලු දෙනාටම නිදහස් අධ්‍යාපනයක් දීමට ප්‍රමාණවත් ආධාර මුදලක් සැපයේ.” මේ අනුව ගුරුවරුන් පුහුණුවීමේදී ද විශ්වවිද්‍යාලවලට පිවිසීමේ දී ද මුදල් සපයන බව අදහස් කෙරේ.

විශේෂ කමිටු වාර්තාවේ පිටු අංක 118 හා 167 වන ඡේදයෙහි දක්වන්නේ “අභ්‍යාස විද්‍යාලයන්හි අධ්‍යාපනය හැම විටම නොමිලේ විය යුතුය” යනුවෙනි. උපාධිධාරී නොවන ගුරුවරුන් අභ්‍යාස විද්‍යාලවලින් පුහුණු කළ යුතු බව විශේෂ කමිටු වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම උපාධිධාරී ගුරුවරුන් විශ්වවිද්‍යාල මඟින් පුහුණු කළ යුතු බව සඳහන් කරයි. විශේෂ කමිටු වාර්තාවේ 226 පිට 367 පරිච්ඡේදයෙහි “උපාධිධරයන් පුහුණු කිරීම විශ්වවිද්‍යාල මඟින් කළ යුත්තකි.” ලෙස දක්වයි.

ගුරු අභ්‍යාස විද්‍යාල ගුරුවරුන් පුහුණුවට මුදල් අය නොකිරීම හා විශ්වවිද්‍යාල මඟින් ගුරුවරුන් පුහුණු කිරීම පිළිබඳ සඳහන් කර ඇත. එහෙත් 1980 දශකය තුළ විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පූර්ණකාලීන පාඨමාලාවල පාඨමාලා ගාස්තු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ලබා දී තිබේ. වර්තමානයේ ද පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා ගුරුවරුන්ගේ පාඨමාලා ගාස්තු ඍජු ලෙසම රජය දරන්නේ නැත. පාඨමාලා ඇතුළත් වන මුල් අවස්ථාවේ පාඨමාලා ගාස්තුව ගුරු ශිෂ්‍යයන් විසින් විශ්වවිද්‍යාලවලට ගෙවිය යුතු අතර පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා සහතිකය ලැබූ පසු පාඨමාලා ගාස්තුවෙන් අඩක් රජය විසින් ගෙවනු ලැබේ. මෙයින් ගම්‍ය වන්නේ උපාධිධාරී ගුරුවරුන්ගේ පාඨමාලා වියදම ද රජය දැරිය යුතු බව කන්නන්ගර ප්‍රතිපත්තිවලින් නිර්දේශ කර ඇති බවත් මුල් යුගයේ එය ක්‍රියාත්මක වුවත් වර්තමානයේ ද ඉන් අඩක් රජය ගෙවන බවත්ය.

අධ්‍යාපනය පිළිබඳ විශේෂ කමිටු වාර්තාවෙහි 118 පිටුවෙහි 168 වන ඡේදයේ මෙසේ දැක්වෙයි. “ජනසම්මත පාලනවාදී ජන සමාජයක අධ්‍යාපනය සියලුම අවස්ථාවල නොමිලේ විය යුතුය.” නිදහස් අධ්‍යාපනයට අදාළ දර්ශනය මෙම අදහස වෙයි. මෙම ඡේදයෙහිම “මොනම සමාජ ක්‍රමයක වුවද අධ්‍යාපනයට සම අවස්ථා සැලසිය යුතුය.” මෙය ඉතා වැදගත් දර්ශනයකි. අධ්‍යාපන ප්‍රතිපත්තියකි. මෙය 1943 වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට අන්තර්ගත වූ අතර වර්තමානයෙහි සෑම රටක්ම මෙය පිළිගෙන ඇත. එසේ වුවද ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ මෙය ප්‍රතිපත්තියක් ලෙස පිළිගනු ලැබ ඇත. පෞද්ගලික අංශවලට මුදල් ඇති අය සඳහා වෙනම පාසල් හා පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරැඹීම මඟින් අධ්‍යාපනයෙහි සම අවස්ථා ලබා දීමේ ප්‍රතිපත්තිය ලංකාවේ මායාවක් වී ඇත. විශේෂ කමිටු වාර්තාවේ 168 වන ඡේදයෙහි (119 පිටුවේ) තවදුරටත් මෙසේ සඳහන් වේ. “තමාට අවශ්‍ය නිසර්ග දක්ෂතා ඇතොත් ජාතියේ ආර්ථික වූද, සමාජීය වූද, දේශපාලනාත්මක වූ ද ඉතාමත් පහත් අඩියේ සිට ඉතාම උසස් අඩියට නගින්නට පුළුවන්කම ලැබෙන පරිදි රාජ්‍යයේ සෑම පුද්ගලයාටම එක සමාන අවස්ථා තිබිය යුතුය. එබැවින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනාගත ප්‍රතිපත්තිය විය යුත්තේ ප්‍රකෘති ස්වභාවයෙන් යුතු සියලු ළමයින් ඉගෙනීමෙහි සමාන ඇත්තන් යැයි සැලකීමයි.”

මේ අනුව නිදහස් අධ්‍යාපනයෙන් අර්ථ ගැන්වෙනුයේ ශිෂ්‍යයාගේ නිසඟ හැකියාව දියුණු කිරීමෙන් පහළ සමාජ ආර්ථික මට්ටමේ සිටින අයට ඉහළම සමාජ ආර්ථික මට්ටමට යෑමට අධ්‍යාපනය හරහා ඉඩදීමත්, සෑම අයකුටම අධ්‍යාපනයෙහි සමාන අවස්ථා ලබාදීමත්ය. නිදහස් අධ්‍යාපනයෙන් කන්නන්ගර මැතිතුමා නොමිලේ ඉගෙනීමට ඉඩ ප්‍රස්ථා ලබාදීම ම පමණක්ම නිදහස් අධ්‍යාපනය ලෙස ශ්‍රී ලංකාව තුළ අර්ථ ගන්වා නැත.

කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය යන්නට අර්ථය දීමේ දී ළමයාගේ අධ්‍යාපනයට තේරීම ද ඇතුළත් කර ඇත. නිදහස් අධ්‍යාපනය පිළිබඳ ව්‍යවස්ථාදායක මණ්ඩලය ද පිළිගනු ලැබූ, අධ්‍යාපන විධායක කාරකසභාව ද පිළිගත් අධ්‍යාපන විශේෂ කමිටු වාර්තාව විසින් සකස් කර කන්නන්ගර මැතිතුමන් විසින් අර්ථකථනය කළ මෙතෙක් බොහෝ දෙනකු දැන නොසිටි කරුණක් ද විශේෂ කමිටු වාර්තාවේ 120 පිටුවෙහි සම්මත කර තිබේ. “සාමාන්‍ය ජනතාවට අධ්‍යාපනය නොදී මේ එක දෙයක්වත් කරගත නොහැකි බැවින් නිදහස් අධ්‍යාපනය සියල්ලටම පළමුවද මුලටම ද ඇති විය යුතුය. නිදහස් අධ්‍යාපනයට නිදහස් වෛද්‍ය සේවය ද අපි එකතු කරමු” යන්න ඉතා වැදගත් නිර්දේශයකි. නිදහස් අධ්‍යාපනයට නිදහස් වෛද්‍ය සේවය ද ඇතුළත් කර ඇත. එහෙත් බොහෝ දෙනකු මෙය අමතක කර තිබේ. එහෙත් පාසල් මට්ටමෙන් මෙය මුල් කාලයේ සම්බන්ධ කර ඇත. අද ද කන්නන්ගර මැතිතුමා සම්මත කළ නිදහස් වෛද්‍ය සේවයේ ‍ශේෂ වූ කොටස් පාසල තුළ තිබේ. පාසල් ළමයින් එන්නත් කිරීම, දන්ත සායනය හා සෞඛ්‍ය වැඩසටහන්වලට පමණක් එය සීමා වී ඇත. අද කිසිවකු නිසි පරිදි ක්‍රියාත්මක නොකළ ද නිදහස් වෛද්‍ය සේවය නිදහස් අධ්‍යාපනයට ඇතුළත් කර ඇතත් එකී නිදහස් අධ්‍යාපනය තුළ එම බලය බිඳී තිබේ.

නිදහස් අධ්‍යාපනය ලෙස නීත්‍යානුකූලව සම්මත කර ගත් බොහෝ දෑ නිදහස් අධ්‍යාපනය ලැබූ දේශපාලනඥයින් විසින්ම විනාශ කර තිබේ. බාලාංශයේ සිට විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපන වියදම් රජය මඟින් දැරිය යුතුය හෙවත් මවුපියන්ගෙන් ඉගෙනීමේ ගාස්තු අය නොකළ යුතුය යන්න ද සිදු කරන අතරම ඊට මුළුමනින්ම පටහැනි ලෙස ක්‍රම දෙකකින් අධ්‍යාපනයට මුදල් අය කරනු ලැබේ.

ජාත්‍යන්තර පාසල් මඟින් සිදු කරනුයේ ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාපනය සඳහා මුදල් අය කිරීමයි. මෙම ක්‍රමය ක්‍රියාත්මක කරනුයේ එම පනතේ විධිවිධානවලට පටහැනිවය. එනම් ජාත්‍යන්තර පාසල්, පාසල් ලෙස නොව සමාගම් ලෙස ලියාපදිංචි කිරීමෙනි. ශ්‍රී ලංකාවේ නීතිය අනුව අලුතින් පාසල් පිහිටුවීම තහනම් නිසා 1980 සිට 1994 දක්වා කාලය තුළ මෙම ක්‍රමය ආරම්භ කරන ලදී. ඒ අනුව නිදහස් අධ්‍යාපනයේ විනාශ කිරීම 1980 සිට ආරම්භ කර ඇත.

නිදහස් අධ්‍යාපනය විනාශ කර ඇති අනෙක් ක්‍රමය ද පාසල් යන සිසුන් සඳහා මුදල් ගෙවා අමතර පන්ති යාමට සිදු විමයි. ළමයා නිදහස් අධ්‍යාපනය ලබන අතර විභාගය කේන්ද්‍රීයව අමතර පන්තිවලට ගෙවති. නිදහස් අධ්‍යාපන ක්‍රමය සංවර්ධනය නොකිරීම නිසා රාජ්‍ය අධ්‍යාපනයෙහි විශ්වසනීයභාවය නැති කිරීම තුළින් මෙම ක්‍රමය බිහි විය. මෙම ක්‍රම දෙකම සිදු කරන ලද්දේ දේශපාලන තීන්දුවලින් මිස ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් නොවේ. 1979 දක්වාම රාජ්‍ය අධ්‍යාපනයෙහි හෙවත් නිදහස් අධ්‍යාපනයෙහි වැදගත්කම අවතක්සේරු නොවීය. 1979න් පසුව සමාජවාදී මුහුණුවරක් ගත් අධ්‍යාපන ප්‍රතිපත්ති නව ධනවාදී මුහුණුවරක් ගත් බැවින් අර්ථාන්විතව හෝ අධ්‍යාපන දර්ශනයන්ට පටහැනිව දේශපාලන උවමනා අනුව සකස් වූ නිසා නිදහස් අධ්‍යාපනයට වඩා ධනවාදී අවශ්‍යතා අනුව අධ්‍යාපනය සකස් විය.

ඉංග්‍රීසි යුගයේ අධ්‍යාපනය මෙන් වර්තමානයේ අධ්‍යාපනය මඟින් ද සමාජය විභේදනය කිරීම ආරම්භ කර ඇත. අධ්‍යාපන දර්ශනය තුළ ප්‍රකට හා පිළිගත් මතය වන්නේ අධ්‍යාපන සම අවස්ථා සම්පාදනය වුවත් ජාත්‍යන්තර පාසල් මඟින් ඉංග්‍රීසියෙන් වැඩ කළ හැකි සමාජ පන්තියක් මධ්‍ය පන්තික බහුතරයකින් සකස් කරමින් ඇත. නැවත ඉංග්‍රීසියෙන් වැඩ කළ හැකි හා සිංහලෙන් වැඩ කළ හැකි ලෙස සමාජ පන්ති දෙකක් නිර්මාණය කර ඇත. වඩාත් ඉල්ලුම පවතින්නේ ඉංග්‍රීසියෙන් වැඩ කළ හැකි අයට වීම නිසා නැවතත් සිංහල පමණක් ඇති ගම්බද ප්‍රජාව රැකියා අවස්ථාවලදී පසුපසට යාම පටන්ගෙන ඇත. මේ නිසා ජාත්‍යන්තර පාසල් අධ්‍යාපන සම අවස්ථා නැති කිරීමට හේතු වී ඇත.

පෞද්ගලික විශ්වවිද්‍යාල නිසා ද සිදු වී ඇත්තේ ද මෙම තත්ත්වයම බව පැහැදිලිය. දැනට විදේශ විශ්වවිද්‍යාල ශාඛා විශාල සංඛ්‍යාවක් මෙරට ආරම්භ කර ඇත. ඒවාට ඇතුළත් විය හැක්කේ පාඨමාලා ගාස්තු ලෙස ලක්ෂ ගණනින් ගෙවිය හැකි අයට පමණි. මෙම ක්‍රමය ද නැවත වරක් ධනවතුන්ට හෝ මධ්‍ය පාන්තිකයන්ට අවස්ථා ලබාදීමකි. අධ්‍යාපන සම අවස්ථා සියල්ලන්ට සැපයීම සඳහා ඉංග්‍රීසි අධ්‍යාපනය ද සෑම අයටම ලබා ගැනීමට වඩාත් කාර්යක්ෂම ක්‍රමවේදයන් ආරම්භ කර එම අවස්ථා සැමට ලබා දීමෙන් බොහෝ අයට වැඩි වාසි අත්වෙයි. අධ්‍යාපන සම අවස්ථා සඳහා වරප්‍රසාද ලත් අයට ලැබෙන අවස්ථා නිදහස් අධ්‍යාපනය මඟින් සියල්ලන්ට ලැබෙන ක්‍රමවේද බවට තහවුරු කළ යුතුව ඇත.

මහාචාර්ය ආනන්ද ජයවර්ධන
අංශ ප්‍රධානී, අධ්‍යාපන සමාජ විද්‍යා අධ්‍යයන අංශය, කොළඹ විශ්වවිද්‍යාලය


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...