ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අද දෙවැනි ටෙස්ට් ගැටුමට | දිනමිණ

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අද දෙවැනි ටෙස්ට් ගැටුමට

ෆවුස් මොහොමඩ්
සුරංග ලක්මාල්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඉන්දීය පිල අතර දෙවැනි ටෙස්ට් තරගය අද නාග්පූර් නුවර ජම්තා ප්‍රදේශයේ පිහිටි විදර්බා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරේ. කල්කටා නුවර පැවැති පළමු ටෙස්ට් තරගය ජයපැරදුමෙන් තොරව නිමාවට පත්වීම නිසා තරග 3කින් සමන්විත මේ ටෙස්ට් තරගමාලාවේ දෙවැනි තරගයට දෙපිලම එක්වන්නේ ජයග්‍රහණයේ බලාපොරොත්තු පොදි බැඳගෙනය.

කල්කටා නුවර ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ඉනිම ලකුණු 172කට සීමා කිරීමට සුරංග ලක්මාල් ඇතුලු පන්දු යවන්නන් සමත්වීමෙන් පසුව ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම නිමාවට පත්වූයේ ලකුණු 122ක වැඩි ලකුණු සංඛ්‍යාවක් ද සහිතවය. එහෙත් දෙවැනි ඉනිමේදී ඉන්දීය පිල ගොඩගත් නායක විරාත් කෝලිගේ ශතකය හේතුවෙන් ලකුණු 231ක අභියෝගාත්මක ඉලක්කයක් ශ්‍රී ලංකාවට ලබාදෙමින් ඉන්දියාව ඉනිම අත්හිටුවුයේ කඩුලු 8කට ලකුණු 352ක් ලබා සිටියදීය. ලකුණු 75කට කඩුලු 7ක්ම බිඳ වැටී අසරණ තත්ත්වයකට ඇදවැටී සිටි ශ්‍රී ලංකා පිල තරගය ජයපරාජයෙන් තොරව නිමා කරගත්තේ අයහපත් කාලගුණයේ පිහිටෙනි.

නාග්පූර් පිටියේ තණතීරුව දඟපන්දු යවන්නන්ගේ පාරාදීසයක් බව ඉතිහාස වාර්තාවල සඳහන් වූවත් මෙවර තරගය සඳහා සකස් කළ තණතීරුව තරමක් තණකොළ සහිත එකක් නිසා පළමු තරගයේදී මෙන්ම වේගපන්දු යවන්නන්ට උචිත වනු ඇතැයි විචාරකයෝ අනාවැකි පළ කරති.

ශ්‍රී ලංකා පිලේ සුරංග ලක්මාල් මෙන්ම ඉන්දීය පිලේ බුව්නේෂ්වර් කුමාර් ද කල්කටා නුවර පැවැති පළමු තරගයේදී දෙපිලේ පිතිකරුවන් දැඩි පීඩනයකට ඇද දමමින් කඩුලු දඩයමේ නිරතවූ නිසා අද තරගයේදිත් පිතිකරුවන්ට ලකුණු රැස් කිරීම විශාල අභියෝගයක් වනු ඇත. සුරංග ලක්මාල් අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිත වුවත් ඊයේ විවාහ දිවියට ඇතුළත්වූ බුව්නේෂ්වර් කුමාර්ට අද තරගයේදී මෙන්ම නවදිල්ලි නුවර පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගයටත් නිවාඩු ලබාදීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ. එබැවින් අද තරගයේදී ඔහු වෙනුවෙන් ඉෂාන්ත් ෂර්මා, කුල්දීප් යාදෙව් හෝ ඊයේ පෙරේදා කණ්ඩායමට එක්වූ තමිල්නාඩුවේ තුන්ඉරියව් ක්‍රීඩක විජේ ශංකර් ක්‍රීඩා කරනු ඇතැයි වාර්තා වෙයි.

සාමාන්‍යයෙන් දඟපන්දු යවන්නන්ගේ රජදහනක් ලෙස සැළකෙන ඉන්දියාවේ තණතීරු මෙවර වේගපන්දු යවන්නන්ට ගැලපෙන ආකාරයෙන් සකස් කිරීමට එරට ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන ඇත්තේ ලබන වසරේ ජනවාරියේ ඉන්දීය පිලේ එළැඹෙන දකුණු අප්‍රිකානු සංචාරය හේතුවෙනි. වේගවත් තණතීරු සහිත දකුණු අප්‍රිකාවේදී සිය වේගපන්දු යවන්නන්ට මෙන්ම පිතිකරුවන්ටත් පෙර සූදානමක් ලබාගැනීම අරමුණු කරමින් මෙවැනි පියවරක් අනුගමනය කර තිබේ.

අද තරගයේදී ඉන්දීය පිතිකරුවන්ගේ වැඩි අවධානයක් දිනාගැනීමට සමත්වී ඇත්තේ වේගපන්දු යවන සුරංග ලක්මාල්ය.

ඔහු පළමු ටෙස්ට් තරගයෙන් පසුව ශ්‍රී ලංකා පිලේ නායක දිනේෂ් චන්දිමාල්ගේ විශේෂ ඇගැයුමට පාත්‍ර වූ අතර කණ්ඩායමේ විශ්වාසවන්තයා බවට ද පත්වී සිටී. කල්කටා නුවර පැවැති පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනයේ උදෑසන ඔහු ඉතා ඉක්මනින්ම ඉන්දීය පිලේ විශිෂ්ටතම පිතිකරුවන් තිදෙනකු ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත්විය. ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල්ගේ පිත්තත්, පාදයත් අතරින් කඩුල්ල තුලට පන්දුව රිංගා යැවීමට සැලැස්වූ ලක්මාල් ඉහළට ඉලිප්පෙන ආකාරයේ පන්දුවක් යවමින් චේටස්වර් පුජාරා දවාගත්තේය. පුජාරාගේ පිත්තේ යාන්තමින් ගැටුණු ඒ පන්දුව උඩපන්දුවක් ලෙස කඩුලු රකින්නා වෙත ඇදී ගියේය. තවත් උපක්‍රමශීලීව යැවූ පන්දුවකින් අජින්ක්‍යා රහානේ කඩුල්ල මුවා කිරීමේ උගුලට හසුකර ගත්තේය.

අලුතින් සකස් කළ නාග්පූර් තණතීරුවත් කල්කටා නුවර තණතීරුව මෙන්ම කොළ පැහැති එකකි. එය වැඩි උණුසුමක් සහිත වියලි තණතීරුවක් වන අතර වේගපන්දුවට හැම අතින්ම වාසිදායකය. පළමු ටෙස්ට් තරගයේදී දැක්වූ දස්කම් නිසා අයි.සී.සී.නවතම ටෙස්ට් වේගපන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරිම්වල පෙරළිකාර අන්දමින් 33 වැනි ස්ථානයේ සිට 28 දක්වා ස්ථාන 8ක්ම ඉහළට යාමට ද සුරංග ලක්මාල් සමත්ව සිටී.

පළමු ටෙස්ට් තරගයේදී ඉන්දීය පිලේ සුපිරි දඟපන්දු තුරුම්පුව වන රවිචන්ද්‍රන් අශ්වින්ට වැඩි දෙයක් කළ නොහැකිවූවත් නාග්පූර් තණතීරුවේ දී දස්කම් අතරට සේන්දුවීමට ඔහු අපේක්ෂා කරයි. නාග්පූර් ටෙස්ට් තරග ඉතිහාසයේ වැඩිම දස්කම් පෑ දඟපන්දු යවන්නා ලෙස සැළකෙන අශ්වින් 2015 දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී ලකුණු 98කට කඩුලු 12ක් දවාලීමට සමත් විය.

ඉන්දීය කණ්ඩායම නාග්පූර් තණතීරුවේදී මෙතෙක් පරාජයට පත්වී ඇත්තේ 2010දී දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්ට් තරගය පමණි. ශ්‍රී ලංකා පිල නාග්පූර් නුවර දී ටෙස්ට් තරගයකට එක්වන්නේ පළමුවරටය.

නව අදහස දක්වන්න