රට හාල් රතු සහල් සමඟ මිශ්‍ර කරන ජාවාරමක් | දිනමිණ

රට හාල් රතු සහල් සමඟ මිශ්‍ර කරන ජාවාරමක්

විදෙස් රටවලින් ආනයනය කරන ලද සුදු සහල් රතු කැකුළු සහල් සමඟ මිශ්‍ර කර රතු කැකුළු යන වෙළෙඳ නාමය යටතේ වෙළෙඳ පොළට නිකුත් කිරීමේ මහා පරිමාණ ජාවාරමක් හෙළිකර ගැනීමට පසුගිය දින සුරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සමත් වු බව සුරියවැව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක නිමල් සේනාරත්න මහතා පැවසීය.

සුරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සුසන්ත කාරියවසම් මතාට ලැබුණු තොරතුරකට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායමක් විසින් සුරියවැව සහල් මෝල් හදිසියේ පරික්ෂා කරනු ලැබූ අතර එහිදී මෙම ජාවාරම හෙළි කරගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ට හැකි වී තිබේ. සුරියවැව ඇතැම් සහල් මෝල් ආශ්‍රිතව කලක් තිස්සේ මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂ වරු පැවසූහ.

මෙම වැටලීමේදී ආනයනික සුදු සහල් දේශීය රතු කැකුළු සහල් සමඟ මිශ්‍ර කර රතු කැකුළු යන වෙළෙඳ නාමය යටතේ වෙළෙඳ පොළට නිකුත් කිරීම සඳහා සකස් කරමින් තිබු සහල් කිලෝ 30,000ක් සොයා ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ට හැකි වි තිබේ.මෙම සහල් රජයේ රස පරීක්ෂක වෙත යැවීමට සාම්පල ලබා ගැනීමෙන් අනතුරුව අනෙකුත් සහල් තොග මෝල් වලම තබා මුද්‍රා තැබිමට මහජන සෞඛ්‍ය පරික්ෂක වරු ක්‍රියා කළහ.

මේ සමඟම සුරියවැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ පවත්වාගෙන යන සියලුම සහල් මෝල් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ පරික්ෂාවට ලක් කෙරුණු අතර එහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 15000ක තොගයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට සකස්කර තිබු මෝල් හිමිකරුවකු අදාල සහල් තොග සමග හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව සුරියවැව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිමල් සේනාරත්න මහතා පැවසීය.

හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂගේ උපදෙස් පරිදි,සුරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සුසන්ත කාරියවසම් මහතාගේ අධීක්ෂණය යටතේ බෙලිඅත්ත පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.එච්.වීරවර්ණ,සුරියවැව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක නිමල් සේනා රත්න,සුරියවැව මහජන සෞඛ්‍ය පරික්ෂක එම්.එම්.ඒ.සී.එච්.කුමාර මහත්හරු ඇතුළු මහජන සෞඛ්‍ය නිලධාරී පිරිසක් මේ වැටලිම සිදු කළහ.

සුරියවැව නුවන් ජයසේකර


නව අදහස දක්වන්න