ඌරා ඔයට පාලමක් නෑ : දිගන්අරාව ජනතාවට දුෂ්කරතා | දිනමිණ

ඌරා ඔයට පාලමක් නෑ : දිගන්අරාව ජනතාවට දුෂ්කරතා

බළන්ගොඩ පහළ වලේබොඩ දිගන්අරාව දක්වා දිවෙන මාර්ගයේ ඌරා ඔය හරහා පාලමක් ඉදි කර නොමැති කමින් ප්‍රදේශයේ පවුල් 50ක් පමණ ගම්වාසීහු ප්‍රවාහන දුෂ්කරතා රැසකට මුහුණ පා සිටිති. මෙම මාර්ගය කපා දැනට වසර 10 පමණ වන නමුත් වාහන ගමන් කිරීම පහළ වලේබොඩ ප්‍රදේශයේ සිට ඌරාඔය දක්වාත් දිගන් අරාව ප්‍රදේශයේ සිට ඌරාඔය දක්වාත් සීමා වී ඇති බව ජනතාව කියති.

වර්ෂා දිනවලට ඌරාඔය හරහා ග‍ඟෙන් එගොඩ මෙගොඩ වීම සඳහා පාලමක් ඉදිකර නොමැතිකම හේතුවෙන් තමන් කොටු වී සිටි බවට ඔවුහු කියති . දිගන්අරාව ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ ප්‍රධාන ජීවෝනෝපාය වන්නේ තේ වගාවයි. ඔවුන් තේ දළු නෙළා කරමතින් ග‍ඟෙන් එගොඩට අමු තේ දළු රැගෙන යාමේදී වර්ෂා දිනවල දී විශාල අපහසුතාවට පත් වන බව පවසති. මෙම මාර්ගයේ ඌරාඔය හරහා දිගන්අරාව ගම්මානයත් පහළ වලේබොඩ ගල්ලෙන කන්ද ගම්මානයත් අතර කොටසට යා කරමින් පාලමක් ඉදි කිරීමට මීට වසර 05 කට පමණ පෙර ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය විසින් මුල්ගලක් සිටුවා තමන් මුලා කළ බවත් එම මුල්ගල පසුගිය වර්ෂා දිනවල පැවැති අධික ගංවතුරත් සමඟ ගඟේ ගසා ගෙන ගොස් ඇති බව ඔවුහු පවසති.

මේ සම්බන්ධයෙන් දිගන්අරාව ප්‍රදේශයේ පදිංචි රුවන් සම්පත්

මේ ගමේ ඉන්නේ තේ වගාව ජීවිකාව කරගත් ජනතාවක්. මේ පැත්තෙන් ඌරාඔය තියෙනවා. එහා පැත්තෙන් වලවේ ගග තිබෙනවා. ගඟේ පොඞ්ඩක් වතුර වැඩි වුණ ගමන් අපි ගංගා දෙකටම කොටු වෙනවා. මේ ප්‍රදේශයට මාධ්‍යකින් ආවේ මේ පළවෙනි වතාවට. අපි මාධ්‍ය හරහා මේ දේ බලධාරින්ට කියලා ඉල්ලන්නේ මෙම ස්ථානයට පාලමක් ඉදිකරලා දෙන්න කියලා.

ටී.එන්.පුංචි නෝනා

අවුරුදු ගාණක ඉඳින් අපි බලධාරින්ගෙන් ඉල්ලනවා මේ ඌරාඔයට පාළමක් හදලා දෙන්න කියලා. ඒත් ඒකට මේ වෙනකන් විසඳුමක් ලැබුනේ නැහැ. ඡන්ද කාලෙට එනවා අපි රවටලා එනවා. මේක අපිට විශාල අපහසුතාවයක්. ඔයෙන් එහා පැත්තට ගියොත් වැස්ස දවස් වලට මේ පැත්තට එන්න බැහැ. ඒ දවස් වලට එහා පැත්තේ ඉන්න ඥාති නිවෙස් වල තමයි අපිට ඉන්න වෙලා තියෙන්නේ.

අශෝකා දමයන්ති

අපි මේ දරුවන්ට බෙහෙත් ගෙන්න ගිහින් එන ගමන්. මේ දරුවත් වඩාගෙන ගගෙන් එගොඩ මෙගොඩ යන්න වෙලා තියෙන්නේ වතුරට බැහැලා හරිම බයෙන්. අපි විඳින් මේ දුක බලලා අපිට පාලමක් හදලා දෙන්න කියලා සිටිනවා.

බළන්ගොඩ විශේෂ
සම්පත් ප්‍රියනන්දන 

නව අදහස දක්වන්න