ඡන්දෙට වැඩ පාරට ලෙඩ | දිනමිණ

ඡන්දෙට වැඩ පාරට ලෙඩ

කැස්බෑව මැතිවරණ බල ප්‍රදේශයෙහි පිළියන්දල මහරගම සහ කොට්ටාව - ගල්කිස්ස ප්‍රධාන බස් මාර්ග එකිනෙකට සම්බන්ධ කෙරෙන මාවිත්තර කනත්ත පාර වසර ගණනාවකින් අලුත්වැඩියා නොකිරීම නිසා අද වනවිට පාරට අත්වී තිබෙන ඉරණම ගැන ප්‍රදේශවාසී ජනතාව සුසුම් හෙළති. කඳුළු සලති.

පානදුර හා බණ්ඩාරගම සිට බත්තරමුල්ල, මහරගම හා බොරැල්ල දෙසට කෙටි මාර්ගයක් හා විකල්ප මාර්ගයක් ලෙස භාවිත කරන එකම මාර්ගය වන මෙම පාරට අද උදාවී ඇති ශෝචනීය තත්ත්වය දෙස අවධානය යොමු නොකරන්නේ මන්දැයි ඔව්හු බලධාරීන්ගෙන් ප්‍රශ්න කරති.

වැසි සහිත කාලයේදී මෙම පා‍ෙර් ගමන් ගන්නා පාසල් දරුවන් මෙන්ම මගී ජනතාවද විශාල පීඩාවකට ලක්ව ඇති මෙම ගැටලුව සම්බන්ධව විශේෂ අවධානය ‍යොමුකර ප්‍රදේශයේ ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා කිලෝමීටරයක්වත් දුර‍ නොමැති එම පාර කාපට් අතුරා සංවර්ධනය කරදෙන මෙන් ප්‍රදේශයේ විහාරස්ථානවල නායක ස්වාමීන්වහන්සේලා ඇතුළු ප්‍රදේශවාසීහූ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගෙන් ඉල්ලා සිටිති.

මේ සම්බන්ධව අදහස් දැක්වූ කැස්බෑව නගර සභාවේ හිටපු මන්ත්‍රී චාමර මද්දුම කපුගේ මහතා මෙසේ පැවසීය.

“කැස්බෑව මැතිවරණ බල ප්‍රදේශය තුළ තිබෙන මාර්ග අතුරෙන් සුවිශේෂි වැදගත් හා වටිනාකමක් ඇති මාර්ගයක් තමා මාවිත්තර කනත්ත පාර, මෙහි අතිවිශාල ජනතාවක් එදිනෙදා ගමන් කරනවා. මෙම පාර මෙයට අවුරුදු හතරකට පෙර සිටම ඉතාම අබලන් තත්ත්වයේ පවතිනවා.

මම කැස්බෑව නගර සභාවේ මහජන නියෝජිතයකු ලෙස කටයුතු කළ වකවානුවේදී පවා නගර සභාව පාලනය කළ පාලකයින්ටත් කැස්බෑව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවටත් මේ පාර පිළිබඳ වරින්වර අවධානය යොමු කර තිබෙනවා. නගර සභාවෙන් එදා ලැබුණ පිළිතුර මෙම පාර සංවර්ධනය කරන්නට මුදල් නැහැ කියන එක. ඊට පසුව නගර සභාව මගින් මෙම පාර සංවර්ධන කටයුතු කිරීම සඳහා බස්නාහිර පළාත් සභාවට පවරා දුන්නා.

මේ මොහොත වනවිටත් මෙම පාර ඉතාමත් අබලන් තත්ත්වයේ තිබෙන්නේ. ප්‍රදේශයේ ජනතාව ඇතුළු සියලුම ආගමික නායකයින්, ස්වේච්ඡා සංවිධාන දේශපාලන පක්ෂ භේදයකින් තොරව සියලු දෙනාම එකතුවෙලා මෙම මාර්ගය සංවර්ධනය කරදෙන්න කියා බස්නාහිර පළාතේ ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා වෙත සිය අස්සන් සහිත ලිපියක් යොමුකොට ඉල්ලීමක් කර තිබෙනවා. එම ලිපිය එතුමාට භාරදී මේ වනවිට දින 14 කට වඩා වැඩි කාලයක් ගතවී ඇතත් තවමත් එම ලිපියට ප්‍රධාන ඇමැතිතුමාගේ අවධානය යොමුවූ බවක් පෙනෙන්නට නැහැ.

නමුත් මේ මාර්ගය සංවර්ධනය කිරීම පසෙකලා ඒ අවට තිබෙන සෙසු අතුරුමාර්ග මේ වනවිට කාපට් අතුරා සංවර්ධනය කරමින් පවතිනවා. ප්‍රධාන මාර්ග සංවර්ධනය කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබා දෙනවා වෙනුවට එළැඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන මේ අතුරුමාර්ග කාපට්කර සංවර්ධනය කරන බවයි. අපට පෙනෙන්නේ මෙය කනගාටුවට කාරණාවක්. ප්‍රදේශයේ සියලු ජනතාවද ඉල්ලා සිටින්නේ මාර්ග සංවර්ධනය කිරීමේදී මේ ප්‍රධාන මාර්ගයට ප්‍රමුඛත්වය ලබාදී සංවර්ධනය කර දෙන ලෙසයි.

 ධර්මසිරි සුරවීර
කැස්බෑව සංචාරක

නව අදහස දක්වන්න