ඩිජිටල් අධ්‍යාපනයට ඉන්දියාවේ පූර්ණ සහාය | දිනමිණ

ඩිජිටල් අධ්‍යාපනයට ඉන්දියාවේ පූර්ණ සහාය

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නවදිල්ලි නුවර හයිද්‍රබාද් මන්දිරයේ දී ඊයේ (23) හමු වූ අවස්ථාව. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද මේ අවස්ථාවට එක් වූවාය. ඡායාරූපය- රුක්මල් ගමගේ

අගමැති මෝදි සහතික වෙයි

ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් සමරුව නිමිති කොට ගෙන අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කිරීමට බලාපොරොත්තු වන ඩිජිටල් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉන්දියාවේ පූර්ණ සහාය ලබා දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (23) සහතික විය.

සියලූ පාසල් සිසු දරු දැරියනට පරිගණක ටැබ්ලට් ලබා දීමේ වැඩ පිළිවෙළ අත්හදා බැලීමේ නියමු ව්‍යාපෘතියන් ලෙස ක්‍රියාත්මක කරලීමට සහ ඊට අවශ්‍ය සිංහල හා දෙමළ භාෂා මෘදුකාංග නිර්මාණය කරලීමට ඉන්දීය විශේෂඥ සහය ලබා දෙන බවද ඒ වැඩ පිළිවෙළ සඳහා තොරතුරු තාක්ෂණ සහයෝගීතා සැලසුමක් සැකසීමටත් ඉන්දියාව මූලිකත්වය ගෙන ක්‍රියා කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසීය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මේ බව සඳහන් කළේ ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ (23 වන දා) දහවල් නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේ දී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවති අවස්ථාවේදීය. මෝදි මහතා වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස වෙත දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමීය.

බලශක්ති හා ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු වැඩ සටහන් සම්බන්ධයෙන් ද දෙරටේ අගමැතිවරු අදහස් හුවමාරු කර ගත්හ. ඉන්දීය සාගරය සාම කලාපයක් ලෙස පවත්වාගෙන යෑමේ සහ නිදහස් නාවුක ගමනාගමනය තහවුරු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි. ඒ සම්බන්ධයෙන් ගත යුතු සාමූහික ක්‍රියා මාර්ගයන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මහතා පෙන්වා දුන්නේ තරුණ පරපුරේ අභිලාෂයන් සපුරාලීමට නම් කඩිනම් සංවර්ධන සැලසුම් ක්‍රියාවට නැංවිය යුතු බවය. ඒවා ක්‍රියාත්මක කරලීමේ දී එළැඹෙන අභියෝගයන්ට මුහුණදීමේ ආකාරයන් පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැනිණි.

ඉන්දියාව සහ ශ්‍රි ලංකාව එක්ව ක්‍රියාත්මක කරලීමට අපේක්ෂිත සංවර්ධන වැඩසටහන් කඩිනම් කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. මෝදි මහතා පැවසූයේ ජනාධිපතිතුමන්ගේ ද දැඩි අවධානය මේ සඳහා යොමු කොට සංවර්ධන සැලසුම් ඉක්මනින්ම ඇරඹිය යුතු බවට ඉන්දියාව යෝජනා කරන බවය. මේ සංවර්ධන සැලසුම් හරහා ශ්‍රි ලංකාවේ වත්කම් පමණක් නොව රැකියා උත්පාදන අවස්ථාවන් ද නිර්මාණය වන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ ශ්‍රී ලංකා - ඉන්දීය හවුල් ව්‍යාපෘති කඩිනම් කිරීමේ සියලූ ප්‍රයත්නයන් ගැනීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බවය. දැනට මතුවී ඇති යම් යම් ගැටලු ඉක්මණින් නිරාකරණය කර ගත හැකි බවට ද වික්‍රමසිංහ මහතා විශ්වාසය පළ කළේය.

ඉන්දු – ශ්‍රී ලංකා සම්බන්ධතාවන් ශක්තිමත් කරලීම උදෙසා වික්‍රමසිංහ මහතා සිදු කරන මෙහෙවර ඉන්දීය අග්‍රාමත්‍යවරයාගේ පැසසුමට ලක් විය. අභ්‍යන්තර දේශපාලන පීඩනයන් මධ්‍යයේ වුව ද වික්‍රමසිංහ මහතා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය තහවුරු කරලීම සඳහාත්, සබදතා පුළුල් කරලීම සඳහාත් අති විශාල සේවයක් සිදු කරන බව මෝදි මහතා ප්‍රකාශ කළේය.

පසුගිය මැයි මාසයේ සිය ශ්‍රි ලංකා සංචාරයේ දී ශ්‍රි ලංකා ජනතාව තමන් වෙත දැක්වූ ආදරය සහ දයාව වෙනුවෙන් විශේෂ ස්තුතියක් පිරිනමන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ශ්‍රි ලංකාවේ සහ ඉන්දීය ජනතාව අතර, පුද්ගල සබඳතා වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි.

ඉන්දීය විදේශ ලේකම් එස්. ජයිශංකර්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සංඳු, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඒකාබද්ධ ලේකම් සන්ජේ පන්ඩා යන මහත්වරු ඉන්දීය පාර්ශ්වය වෙනුවෙන් මේ සාකච්ඡාවන්ට එක්වූ අතර, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර, නියෝජ්‍ය මහකොමසාරිස් එම්. ආර්. කේ ලෙනගල යන මහත්ම මහත්මීහු ශ්‍රි ලංකාව වෙනුවෙන් මේ අවස්ථාවට එක්වූහ.

නව අදහස දක්වන්න