යහපත් පුරවැසියන්ගෙන් තොර රටක යහපාලනයක් අපේක්ෂා කළ නොහැකියි | දිනමිණ

යහපත් පුරවැසියන්ගෙන් තොර රටක යහපාලනයක් අපේක්ෂා කළ නොහැකියි

මහින්ද අලුත්ගෙදර
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ 25 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන ලද සමාජ වගකීම සහිත නිදහස් මාධ්‍ය සංස්කෘතියක් සඳහා වූ ජාතික සමුළුව ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රයේ දී පෙරේදා (21) පැවැති අතර එහිදී සම්පාදනය කරන ලද සමරු කලාපය නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජිකා ධනේෂි යටවර මහත්මිය අතින් ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතා වෙත පිළිගැන්වූ අයුරු. ඡායාරූපය - වාසිත පටබැඳිගේ

ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ තිරසාර සංවර්ධනයක් කරා යන ගමනේ දී යහපත් පුරවැසියන්ගෙන් තොර රටක කිසිවිටෙකත් යහපාලනයක් අපේක්ෂා කළ නොහැකි බව ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සදහන් කෙළේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ 25 වැනි සංවත්සරය වෙනුවෙන් ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රයේ දී පසුගිය දා (21) පැවැති සමාජ වගකීම සහිත නිදහස් මාධ්‍ය සංස්කෘතියක් සඳහා වූ ජාතික සමුළුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසිය.

යහපත් මිනිසුන් වෙසෙන රටක යහපාලනය පවතිනවා. එසේ නොමැතිව යහපාලනයක් නැති රටක නිදහස් මාධ්‍ය සංස්කෘතියක් ද පවතින්නේ නෑ.

1989 - 90 භීෂණ සමයත් සමඟ එවකට පැවැති පාලනයෙන් ජනමාධ්‍යවේදීන්ට හා මාධ්‍ය නිදහසට එල්ල වෙමින් තිබූ තර්ජන හා මර්දනයන්ට එරෙහිව බලපෑමේ කණ්ඩායමක් වශයෙන් ඒකරාශීව 1992 වසරේ ජූනි මාසයේ සිට විධිමත්ව සංවිධානගත වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට වසර 25ක් සම්පූර්ණ වෙනවා.

වසර 25ට පෙර නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භ කරන විට තිබූ ලාංකීය ජන සමාජය අදට වඩා වෙනස්. අපි තවමත් තමන්ගේ අදහස් නිසා අවධානමට ලක්වන සමාජයක්. සමාජ වගකීම මෙන්ම මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් මේ ව්‍යාපාරය කටයුතු කරනවා. සමාජ වගකීම සහිත සංස්කෘතියක් රටට අවශ්‍ය වෙනවා. මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ද අවධානය යොමු කළයුතු වෙනවා. අපි නිදහස් විය යුත්තේ කුමකින් ද. සමාජ වගකීම සම්බනධයෙන් අලුත් සන්දර්භයක් විකාශනය වෙමින් තිබෙනවා. ඉතා වේගයෙන් සමාජ මාධ්‍ය වර්ධනය වෙමින් තිබෙනවා. අද වනවිට ලෝකයේ බිලියන 3.5ක ජංගම දුරකත ප්‍රමාණයක් පාවිච්චි වෙනවා.

අපේ රට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා මේ වනවිට අවුරුදු 60කට වැඩි කාලයක් ගත වෙනවා. නූතන සමාජයක් ලෙස නැඟී සිටින්නට අපි සිදුකර තිබෙන්නේ කුමක්ද. අපේ දේශපාලන ව්‍යුහයන්ද නැවත සකස්කර ගන්නට උත්සාහ කරනවා. නොයෙක් සංවර්ධන ව්‍යාපෘති දියත් කර තිබෙනවා. රටක් ලෙස ශ්‍රී ලංකාව පසුගිය කාලයේ විශාල ප්‍රමාණයේ කැරැලි දෙකකට මුහුණ දී තිබෙනවා. එයින් ඇති වුණු විපාක ඇතැම්විට අදටත් තේරුම් ගන්න බැහැ. ඒවා තේරුම් නොගන්නේ නම් ඉදිරියටත් ගැටලු ඇතිවන්න පුළුවන්. මෙලෙස පැවති යුද ගැටුම් හේතුවෙන් අපේ සංස්කෘතිය සහ ආධ්‍යාත්මික විනාශය මෙන්ම සංවර්ධන කටයුතු ද විශාල වශයෙන් අසාර්ථක වී තිබෙනවා.

අද වනවිට අපේ සබඳතා නවීකරණයට ලක්ව තිබෙනවා. 2015 වසරේ ජනවාරි මාසයේ දී සාධණීය පෙරළියක් රටේ සිදුව තිබෙනවා. ආණ්ඩුකරණයේ යහපාලනය ස්ථාපිත කරන්නට ක්‍රියා මාර්ග ගත්ත ද නැවතත් ප්‍රශ්න ඇති වී තිබෙනවා. මානව අවශ්‍යතා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වැදගත්. අද වනවිට අපේ රටේ තිබෙන ප්‍රශ්නය කුමක් ද. ආර්ථික අර්බුදය මෙන්ම ඇතැම්විට රාජ්‍ය ආයතන වැඩ නොකරන තත්ත්වයේ ගැටලු තිබෙනවා. මේවායින් ගැඹුරු අර්බුදයක ඉන්නවා. ඒ සඳහා පිළිතුරු සෙවිය යුතු වෙනවා. එවැනි අර්බුදයන් ඉදිරියේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අලුතින් සිතිය යුතු වෙනවා. සමාජයක සාමුහික පරිකල්පනය තුළින් අනාගතය උදා කරනවා. අපේ රටේ විවිධ දේ සඳහා මුහුණ දෙන්න සිදු වෙනවා.

යුද්ධය නොමැති වුණාට අදටත් භයානක තත්ත්වයන් රටේ තිබෙනවා. මේ ව්‍යසනය තුරන් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළයුතු වෙනවා. අනෙක් පුද්ගලයාද තමාට සේ නොසැලකීම හේතුවෙන් ගැටලු ඇති වී තිබෙනවා. විඥානය මෙහිදී වැදගත්. විඥානය සකස් කරන්නට ගුරුවරුන්, කලාකරුවන්, ආගමික නායකයන් මෙන්ම මාධ්‍යවේදීන් සඳහා දැවැන්ත බලයක් තිබෙනවා. ලෝකය ඉතාම අඳුරු යුගවල සිට ආලෝකය කරා ගමන් ගත් අවස්ථා තිබෙනවා. ඒ පුනරුද සියල්ල අධ්‍යයනය කළයුතු වෙනවා. කලාව, අධ්‍යාපනය, ආගම ආදිය ගැඹුරින් ප්‍රතිසංස්කරණය වීම පුනරුදය වෙනවා. අපි සෑම අතින්ම බිඳුණු සමාජයක්. සියලු තැන්හි සහ සම්බන්ධ පුරවැසියකු ගොඩනැඟීම අවශ්‍ය වෙනවා. පැලැස්තරවලින් සමාජයේ ප්‍රශ්න සඳහා විසඳුම් සොයන්න බැහැ. වෛද්‍යවරයාටත් වඩා සදාචාරසම්පන්න වගකීමක් මාධ්‍යවේදීන් සතු වෙනවා.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සී.දොඩාවත්ත මහතා,

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය 25 වසරක් විවිධ අත්දැකීම් පෙරදැරිව පැමිණ තිබෙනවා. අනාගතයට අවශ්‍ය නව මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැඟීම වෙනුවෙන් මෙහිදී පුළුල් වශයෙන් සාකච්ඡා පවත්වා තිබෙනවා. අපේ සංවිධානය විසින් මේ වනවිට විවිධ අවස්ථාවල දී සමාජයේ යහපත වෙනුවෙන් පෙනී සිටියා. මහජන රැස්වීම් 19ක් රටපුරා පවත්වා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීම, මාධ්‍යවේදීන්ට වන බාධාවන් අවම කිරීම ආදිය සම්බන්ධයෙන් මේවායේ දී අවධානය යොමුකර තිබෙනවා. රටපුරා ක්‍රියාත්මක වූ ප්‍රචණ්ඩත්වයට ලක්වූ මාධ්‍යවේදීන්ට සාධාරණය ඉටුකරන ලෙස එදත් ඉල්ලා සිටියා. අවුරුදු 25 ට පසුව අදත් ඒ තත්ත්වය වෙනත් මුහුණුවරකින් තිබෙනවා.

එදා දේශපාලන ප්‍රජාව අපි සමඟ එක්වුණා. ශ්‍රී ලංකාවේ මාධ්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිසංස්කරණය වෙනුවෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිරන්තරයෙන් පෙනී සිටියා. අපේ ව්‍යාපාරය මුලින්ම ආරම්භ කළ අරගලය තවමත් ඉදිරියට යනවා. අද තිබෙන්නේ මීට වසර 25 ට පෙර පැවැති තත්ත්වයට වඩා වෙනස් දෙයක්. අපි 25 වැනි සංවත්සරය අර්ථාන්විතව සමරනවා.

මානව හිමිකම් කොමිසමේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩගම, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුදර්ශන ගුණවර්ධන, වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණුගේ, නිදහස් මාධ්‍ය ව්‍යාපාරියේ හිටපු කැඳවුම්කරුවන් වන ආරියනන්ද දොඹගහවත්ත හා සීතා රංජනී, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් දිලීෂා අබේසුන්දර සහ භාණ්ඩාගාරික ආනන්ද ජයසේකර මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න