රජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයෝජනවලින් ආර්ථික ක්ෂේත්‍රයේ නව වෙනසක් | දිනමිණ

රජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයෝජනවලින් ආර්ථික ක්ෂේත්‍රයේ නව වෙනසක්

චමීර ඇල්ලදෙණිය
යෝජිත නව දුම්රිය මාර්ග පිළිබඳ ගිවිසුම පෙරේදා (22) බත්තරමුල්ල සුහුරුපායේදී ඇමැති පාඨලි චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් කොරියා රජයේ සේං යං ආයතනයේ උප සභාපති කිම් නම් සියෝල් මහ නගර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහත්වරු විසින් ගිවිසුම් අත්සන් කරන අයුරුයි මේ. ඡායාරූපය - කැළුම් ලියන‍ගේ

රජය හා පුද්ගලික අංශය මැදිහත්ව සිදු කරන ආයෝජන තුළින් රටේ ආර්ථික ක්ෂේත්‍රයේ නව වෙනසක් සිදු වන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

මෙවැනි ආයෝජන රටට අලුත් අත්දැකීමක් වන බවද ඇමැතිවරයා කීවේය.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා මේ අදහස් පළකළේ, කොළඹ සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය ඉදිකිරීමට ශඛ්‍යතා අධ්‍යයන වාර්තාව පිළියෙළ කිරීම හා උපදේශන සඳහා කොරියාවේ සෙං යං ආයතනය සමඟ ගිවිසුම් අත්සන් කිරීම අමාත්‍යාංශයේ දී පෙරේදා (22) සිදු කෙරුණු අවස්ථාවේදීය.

එහිදී ඇමැතිවරයා මෙසේද කීවේය.

මාර්ග තදබදය අවම කිරීම සඳහා කොළඹ සහ අවට ප්‍රදේශවල සුඛෝපභෝගි දුම්රිය සේවාවක් ඇති කිරිමට අදාළව තවත් මාර්ග 5 ක් තිබෙනවා. එම මාර්ග 5 සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් කිරීමට යෝජනා කළ අතර ඒ සඳහා කොරියාවේ සෙං යං ආයතනය තරඟකාරි පදනමෙන් තෝරා ගනු ලැබුවා. ඒ ශක්‍යතා අධ්‍යයනයේ ප‍්‍රතිඵල මත පදනම්ව ලබන වසරේ මැද භාගයේ දී අන්තර්ජාතිකව පෞද්ගලික අංශයේ කෝන්ත‍්‍රාත්කරුවන් කැඳවීමක් කරනවා. දැනටමත් අපි ඒ සඳහා සුදුසුකම් ලත් අය සඳහා කැඳවීම් සිදු කර තිබෙන අතර ඒ සඳහා ආයතන ප‍්‍රමාණයක් අපි තෝරාගෙන තිබෙනවා. ඒ අයට අදාළ ලියකියවිලි ලබන වසරේදී ලබාදෙනවා. මේ ශඛ්‍යතා අධ්‍යයනයේ පදනම් කරගෙන. ඒ අනුව එම මාර්ග 5 වැඩකටයුතුත් 2018 අගභාගයේ පටන් ගැනීමට අප කටයුතු කරනවා. මෙය අති විශාල ව්‍යාපෘතියක්. මෙරට දුම්රිය සේවය බි‍්‍රතාන්‍ය ජාතිකයන් විසින් ආරම්භ කළාට පසුව පොදු ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ ඇතිවන ප‍්‍රධානතම ව්‍යාපෘතිය ලෙස හඳුනාගන්න පුළුවන්. මෙය අනෙක් පැත්තෙන් අපට නව අත්දැකීමක්. ඒ නිසා මෙයට විධිමත් ශක්‍යතා, ඉංජිනේරු අධ්‍යයනයක් වගේම විධිමත් දත්ත අධ්‍යයනයක්, පරිසර අධ්‍යයනයක් කළ යුතුයි. එම සියලුම අධ්‍යයනයන් හරහා ගිහින් තමයි සිදු කළ යුතු වෙන්නේ. ඒ සඳහා වසර 1 1/2 ක පමණ කාලයක් ගත වුණා.

එය ඉතාමත් කඩිනමින් සිදුවන කි‍්‍රයාදාමයක්. මෙවැනි ව්‍යාපෘතියක් අවසන් කරන්න සාමාන්‍යයෙන් දශකයක්වත් යනවා. කටුනායක අධිවේගී මාර්ගය සැලසුම් කිරීම ආරම්භ කළේ 1968. පටන් ගැන්ම කළේ 2008 අවසානයේ . ඒ වගේම දක්ෂිණ අධිවේගී මාර්ගය ආරම්භ කළේ 1994. ඒ වගේ ඒවායේ තිබූ පාරිසරික සමාජ ගැටලු නිසා තමයි ඒවා ගොඩක් පමා වුණේ. එහෙම නැතිව එම රජයන්වල තිබූ ගැටලුත් බලපාන්න ඇති. නමුත් මෙය ඊට වඩා සංකීර්ණයි. මොකද එම මාර්ග දෙකම ගියේ වැඩි හරියක් ජනාවාසවලින් තොර ප‍්‍රදේශ හරහා. මෙය යන්නේ කඩුවෙල, මාලඹේ, බත්තරමුල්ල, රාජගිරිය, බොරැල්ල, කොටුව, පිටකොටුව ප‍්‍රධාන ජනාවාස හරහා. ඒ නිසා මේ ගැන මොනවගේ සමාජ බලපෑමක් ඇතිවෙයි ද කියන එක සාකච්ඡා කරන්න තිබෙනවා. ඉඩම් අත්පත් කරගැනීමේදී, ව්‍යාපාරික ස්ථානවලට වන්දි ගෙවීම ආදියේ දී විශාල ගැටලු තිබෙනවා. ඒ වගේම පරිසර අධ්‍යනයක් කළ යුතුයි. ඒ සියල්ල සමඟ ශක්‍යතා අධ්‍යනය අත්‍යාවශ්‍යයි ව්‍යාපෘතිය දියත් කරන්න. ඒ නිසා මෙය කඩිනමින් අවසන් කර ගැනීම විශාල ජයග‍්‍රහණයක්. දත්ත එකතුකිරීමට සමාන්තරව ශඛ්‍යතා අධ්‍යයනය කළා, එයට සමාන්තරව ඉංජිනේරු අධ්‍යයනය සහ එයට සමාන්තරව ටෙන්ඩර් කැඳවීම සිදු වෙමින් පවතිනවා. ලංකාවේ ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රයේ මෙය සාර්ථක කර ගත හොත් ප‍්‍රධාන ඉදිරි පිම්මක් ඊළඟ වසර 5 දී අපට ලැබෙනවා. 2023 වන විට මේ කි‍්‍රයාවලිය අවසන් වෙනවා.

ඒ වගේම මෙය අලූත් මාදිලියක්. රජය විසින් නඩත්තු කරන වැඩපිළිවෙළක් නෙමෙයි. මෙය රජයත් පුද්ගලික අංශයත් එකට එකතු වී කරන ආයෝජනයක් වගේම එකට එකතු වී සිදු කරන ව්‍යාපෘතියක්. එය අලුත් අත්දැකීමක්. Public Private Partnership නමින් හඳුන්වන කි‍්‍රයාවලියක් හරහා දියත් කරන මහා ව්‍යාපෘතියක්. මෙය අලුත් අත්දැකීමක් රටට. අපි දැනටත් මේ වගේ මහා ව්‍යාපෘතියක් වරාය නගරයේ කරගෙන යනවා. ඒකත් රාජ්‍ය ආයෝජනයක් නෙමෙයි. එයත් පෞද්ගලික ආයෝජනයක්. හැබැයි රජයේ දායකත්වයක් තිබෙන රජයත් පුද්ගලික අංශයත් එකට එකතු වී සිදු කරන කි‍්‍රයාවලියක්. ඒ නිසා මෙය අපේ රටේ ආර්ථික ක්ෂේත‍්‍රයෙත් අලුත් පිම්මක්. මොකද මහවැලිය අපි කළේ රාජ්‍ය ආයෝජනවලින්. අධිවේගී මාර්ග කළේ රාජ්‍ය අයෝජනවලින්. මේක ඊට පිටස්තරව පෞද්ගලික අංශයේ ආයෝජනයත් අරගෙන රාජ්‍ය මැදිහත්වීමත් සමඟ කරන අලූත් අත්දැකීමක්. ඒ නිසා මෙය සාමාන්‍යයෙන් වෙනස්. මොකද රජය වියදම් කරනවා නම් සැලසුම් හදලා එය කි‍්‍රයාත්මක කිරීම පහසුයි. නමුත් පෞද්ගලික අංශයත් සමඟ ඒකාබද්ධ ව්‍යාපෘති කිරීම අපහසුයි. ඒ අපහසු කාර්ය අපි කරගෙන යනවා.

අප මෙහිදී විනිවිදභාවය පිළබඳව වගකීමෙන් විවෘතව අන්තර්ජාතිකව ලෝකය පුරාම ටෙන්ඩර් කැඳවා තමයි කොරියානු සමාගමක් තෝරා ගත්තේ. ඒ වගේම ජපන් රජය අපට කොටසකට ආධාර කරනවා. ඒ අයගෙත් තරඟකාරී පදනමෙන් තමයි අපි කොන්ත‍්‍රාත්කරුවන් තෝරා ගන්න අනාගතයේ කටයුතු කරන්නේ. මේවා සාමාන්‍යයෙන් විශාල දුෂ්කර කාර්යයන්. ඉංජිනේරුමය වශයෙන් ඉතාම සංකීර්ණ කාර්යයන්. නමුත් අපි පියවරෙන් පියවර කරගෙන යාමට කටයුතු කරනවා’ යයි පැවසීය.

 

නව අදහස දක්වන්න