පළාත් පාලන ගැසට් පත්‍රයේ වරදක් ඇත්නම් වගකිවයුතු බලධාරියා ඉල්ලා අස්විය යුතුයි | දිනමිණ

පළාත් පාලන ගැසට් පත්‍රයේ වරදක් ඇත්නම් වගකිවයුතු බලධාරියා ඉල්ලා අස්විය යුතුයි

කමනී අල්විස්

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් පත්‍රයේ යම් වරදක් ඇත්නම් එයට වගකිව යුතු බලධාරියා එහි වගකීම භාරගෙන තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු පවසති.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුෂාර ඉඳුනිල්, චමින්ද විජේසිරි, කාවින්ද ජයවර්ධන, සිඩ්නි ජයරත්න, ශාන්ත අබේසේකර මහත්වරු පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව පැවසූහ.

මැතිවරණ අර්බුදය සම්බන්ධව ප්‍රශ්න කළ යුත්තේ ඇමැති ෆයිසර් මුස්තාපා මහතාගෙන් බවත් පැවසූ මන්ත්‍රීවරු ඔහු රටේ නොමැති බවත් ප්‍රකාශ කළහ.

ගමේ ගැටලු විසඳා ගැනීමට පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වහාම අවශ්‍ය බවත්, මැතිවරණය නොපැවැත්වීමෙන් ගම් මට්ටමින් සිදුවිය යුතු සියලු යටිතල පහසුකම් ඇනහිට ගමේ ජනතාව අන්ත අසරණ තත්ත්වයකට පත්වී තිබෙන බවත් මන්ත්‍රීවරු එකහඬින් පැවසූහ. මැතිවරණය පැවැත්වීම සිදු කළ යුතුය යන මතයේ පිහිටා ක්‍රියා කරන ඕනෑම බලවේගයක් තමන් සමඟ එක්වන ලෙසටත් මන්ත්‍රීවරු ඇරයුම් කළහ.

එහිදී මන්ත්‍රීවරු තම තමන්ගේ අදහස් මෙසේ ප්‍රකාශ කළහ.

මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා යෝජනා දෙකක් ඉදිරිපත් කරයි. පළමුවැන්න නීතිමය ආවරණවලට ‍ යටත්වන පළාත්පාලන ආයතන අතහැර සෙසු පළාත් පාලන ආයතනවල ඡන්දය පවත්වන්න. දෙවැන්න පාර්ලිමේන්තු යෝජනාවකින් නව පනත බල රහිත කරමින් පැරණි ක්‍රමයට ඡන්දය පවත්වන්න

මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා- මැතිවරණය කොටසක පැවැත්විය යුතුය යන යෝජනාවට එකඟ නොවෙයි. එයට හේතුව පඬුවස්නුවරට නඩු පටලැවිල්ලක් තිබීමයි. එමනිසා පැරණි ක්‍රමයට මැතිවරණය පවත්වා තව වසර හතරකින් හෝ නව ක්‍රමයට පවත්වන්න. ඡන්දය කල් දැමීමට එරෙහිව කළුපටි පැළැදගෙන පාර්ලිමේන්තු පැමිණියත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ උපදෙස් මත එම කළුපටි ඉවත් කළෙමි.

චමින්ද විජේසිරි මහතා- ජනතා පරමාධිපත්‍ය විධායකයට මෙන්ම ව්‍යවස්ථාදායකයටත් අවශ්‍යව ඇත. වසර දෙකහමාරක් පළාත්පාලන ආයතන අකර්මණ්‍යව තිබේ. පරණ ක්‍රමයට මැතිවරණය පැවැත්විමට ඒකාබද්ධ විපක්ෂය අකමැතියි. ඔවුන්ට අවශ්‍ය විදිහට සීමානීර්ණ සිදු කර තිබේ. එමනිසා පරණ ක්‍රමයට ඡන්දය පවත්වනවාට ඒකාබද්ධ විපක්ෂය තුළ බියක් තිබේ.

කාවින්ද ජයවර්ධන මහතා- ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය නොකර ඡන්දය වහාම පවත්වන්න. මේ සිදුවීමට යමෙකු වැරදිනම් ඔහු ඉල්ලා අස්විය යුතුයි. මැතිවරණය ජයගන්න කූට උපක්‍රමයක බැසිල්, ගෝඨාභය, නාමල්, ඩිලාන්, නිමල් සිරිපාල මහත්වරු යෙදී සිටිති. පොහොට්ටුව බුලත්කොළය එකතු කර ගැනීමේ සිහිනයක් ඇත. එම සිහිනවලට ඉඩ නොදී ගමේ ජනතාව ගැන සිතා මැතිවරණය පවත්වන ලෙසට ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිමි.

සිඩ්නි ජයරත්න මහතා- පළාත්පාලන ආයතනවලට බැර වුණ මුදල් නිකරුණේ විනාශ වී තිබේ. අකර්යක්ෂමතාවය නිසා මෙය සිදුවුනා. කිසිදු පාලනයක් කළමනාකරණයක් නොමැතිවීම හේතුවයි. මේ නිසා මැතිවරණය පැවැත්විය යුතුයි. පෙත්සම් ඉදිරිපත් කර මැතිවරණය ප්‍රමාද කරන්නේ බදුල්ලේ සහ මාතර රාජ්‍ය ඇමැතිවරු දෙදෙනෙක්, කුරුණෑගල ඇමැතිවරයෙක් ඇතුළුව පළාත් පාලන ඇමැති අසළ සිටින කෙනෙක්.

හොඳ නරක එකට බෙදාගැනිමක් ආණ්ඩුවේ සිදුනොවෙයි. ඵලදායී කටයුතුවල හොඳ ප්‍රතිඵල පිරිසක් නෙළා ගන්නා අතර එක්සත් ජාතික පක්ෂයට සෑම නරක ප්‍රතිඵලයක් භාර දෙයි. අගමැතිතුමාට චෝදනා කරයි. මෙම තත්ත්වය පිළිකුලෙන් හෙළා දකිමි.

ශාන්ත අබේසේකර මහතා- මෙවර අයවැයෙන් පළාත් පාලන සඳහා වැඩි මුදලක් ලබා දී තිබේ. අගමැතිතුමා සහ මුදල් ඇමැතිවරයා එලෙස සිදු කළේ පළාත් පාලන ආයතනවල තත්ත්වය ඉහළට ගෙනවිත් ගමේ සංවර්ධනය ඇතිකිරීමටයි. එම නිසා වහාම ඡන්දය අවශ්‍යයි.

අධිකරණ තීන්දුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවකි. දෙකෝටි විසිලක්ෂයක් යහපාලනයට ඡන්ද අයිතිය ලබාදුන්නත් එක් අයකුට හෝ පෙත්සමකින් පළාත්පාලන මැතිවරණය නවතා දැමීමට හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදය නිසයි.

ඡායාරූපය - සමන් මෙන්ඩිස් 

නව අදහස දක්වන්න