ඊයේ අද හෙට අය වැය වාසිය ආණ්ඩුවට සහ ජනතාවට ලැබෙන්නට නම් | දිනමිණ

ඊයේ අද හෙට අය වැය වාසිය ආණ්ඩුවට සහ ජනතාවට ලැබෙන්නට නම්

විදුලි කාර් මිල අඩු කිරීමේ වාසිය ජනතාවට ලැබීමට නම් චාර්ජින් පොයින්ට් 5000ක් වත් වහාම ඇති කළ යුතු වේ. ඒ හරහා ස්වයං රැකියා 5000ක් නිර්මාණය වේ. එවිට පාරේ උද්ඝෝෂණය කරන පිරිසෙන් 5000ක් අඩුවනු ඇත. ඒ සමඟ පැට්රල් අඩු කිරීමේ වාසිය බස් මුදලාලිලා එළවළු මුදලාලිලා ලබා ගත්තා වාගේ කාර් මිල අඩුවීමේ වාසිය කාර් සේල්කාරයන්ගේ සාක්කුවට නොයාමට අවශ්‍ය පියවර ගත යුතු වේ.

අය-වැය තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත විය. අය-වැය සම්මත කිරීමට තුනෙන් දෙකක් අවශ්‍ය නැත. එහෙත් අය-වැය ඡන්ද විමසීම හරහා, ඒකාබද්ධ විපක්ෂය දිරච්ච රාජපක්ෂ වැට අල්ලා අමුඩය ගසා සිරවී සිටින බව තහවුරු විය. අය-වැය පරාද කරන බවට ඒකාබද්ධ විපක්ෂයේ කිහිප දෙනා එක දිගට පුරසාරම් දෙඩවූහ. එහෙත් පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂගේ මන්ත්‍රීකමවත් දිලිසුණේ නැත.

ඕනෑම ආණ්ඩුවක් බලයට පත්වූ පසුව ඊට එරෙහිව නැඟෙන විවේචන චෝදනා අපවාද බැණුම් දිනෙන් දින වැඩිවේ. ජයවේවා කියන කඩේ යන පිරිස් බලය අඩුවේ. මෛත්‍රී, රනිල් සම්මුති ආණ්ඩුවත් ඒ තත්ත්වයෙන් මිදී නැත. එහෙත් මෛත්‍රී රනිල් සම්මුති ආණ්ඩුව ජයග්‍රාහී නිවැරදි දිසානතිය වෙත ගමන් කරමින් සිටින වග ඉතා පැහැදිලිය. ආණ්ඩුවක උපන් ගෙහි හැඩරුව සිහි කරමින් ගෙවුනු කාලයේ ‍යම් යම් දුර්වලතා සහ පසුබෑම් රජය තුළ විද්‍යමානවූ බව සැබෑය. එහෙත් ජනවාරියේ ජනතාව අපේක්ෂා කළ බොහෝ අරමුණු ඉටු වෙමින් පවතී.

ඒ පිළිබඳ අලුත්ම සහතිකය මංගලගේ මංගල අය-වැය ලේඛනය යි. අය-වැය යනු රටක ආණ්ඩුවක එක් අවුරුදු සැලැස්මය. එහෙත් මුදල් ඇමැති මංගල සමරවීරගේ අය-වැය ලේඛනය විසි දෙඅවුරුදු සැලැස්මකි. එහි දැක්වෙන ආකාරයට 2040 වන විට ලංකාවේ මාර්ගවල ගමන් කළ හැක්කේ විදුලිබලයෙන් ධාවනය වන වාහන පමණකි. ඒ හරහා ලැබෙන වාසි බොහෝය. මෛත්‍රී - රනිල් සම්මුති ආණ්ඩුව ආරම්භ කළේ රුපියල අව ප්‍රමාණ කරමිනි. රුපියල අව ප්‍රමාණ කිරීම යනු බරපතළ තීන්දුවකි. ඒ තීන්දුව හරහා රටකට වාසි ලබා ගැනීමට නම් ආනයන පිළිබඳ විනයක් අවශ්‍ය වේ. එකී විනය ඇති කිරීම පහසු නැත. අද සුපර් මාකට් එකකට ගොඩවී බලන්න. එහි රාක්ක පුරවා තිබෙන බොහෝ භාණ්ඩ පිටරටින් ගෙන්වූ සු‍ඛෝපභෝගී අරුමෝසම් ඒවා වෙති. ඇ‍ඟේ ගාන සබන් වර්ග ගණන් කරයි නම් වර්ග ප්‍රමාණයෙන් විසි තිස් ගණනකි. එහෙම නැතුව අපේ රටේ මිනිසුන්ට නින්ද යන්නේ නැත. අපේ රටේ මිනිසුන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වසර ගණනාවක සිට ගෙදර උයන්නේ නැත. කන්නේ කඩෙන්ය. ඇ‍ඟේ ගාන්නේ පිටරට සබන්ය. ෂැම්පු වර්ගය. යන්නේ එන්නේ එක්කෝ කාර් එකකිනි. මෝටර් සයිකලයකින් හෝ ත්‍රීවීලරයෙනි. ඒ පැවැත්ම හරහා වැය වන විදේශ විනිමය ප්‍රමාණය අල්ප ස්වල්ප නොවේ. රුපියල අව ප්‍රමාණ කළ රටක ඩොලරය යම් පාලනයට තබා ගැනීමේ වාසිය ජනතාව අවබෝධ කර ගන්නේ නැත. විපක්ෂයේ බල ලෝභීන් එහි වාසිය ගෙන රටේ ආර්ථිකයට හූනියම් කරති.

ඉතිහාසයේ 70 – 77 කාලයේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මේ තත්ත්වය පාලනය කිරීමට සමත්විය. ඔහු පිටරටින් ගෙනෙන පරිභෝජ උපභෝග ද්‍රව්‍ය සීමා කළේය. එහි ප්‍රතිඵලය ලෙස 1977දී ඇන්. ඇම්. පෙ‍රේරාට මුදල් ඇමැතිකමෙන් යන්ට සිදුවිය. ඔහු යනවිට රාජ්‍ය භාණ්ඩාගාරය බෙහෙවින් ශක්තිමත්ව තිබිණ. එහෙත් පළමුව ඇන්. ඇම්. පෙරේරා ආණ්ඩුවෙන් විසිවී දෙවනුව ආණ්ඩුවටම ගෙදර යන්ට සිදුවිය. පිටින් ගෙනෙන භාණ්ඩ වර්ග අඩුකළවිට රටේ විදේශ විනිමය සංචිතය ඉහළ යයි. එවිට දේශීය මුදල් ඒකකය ශක්තිමත් වේ. රටේ ආර්ථිකය යහපත් කියන්නේ එවිටය. ඒ තත්ත්වය නිර්මාණය කිරීම ජනතාව ඉවසන්නේ නැත. රුපියල අව ප්‍රමාණ කළ රටක ඩොලරය යම් පාලනයට තබා ගැනීමේ උත්සාහය ආණ්ඩුවට එරෙහි හූනියමක් වන්නේ එහෙමය.

අප නැවත මංගලගේ අය-වැය වෙත හැරෙමු. විසි දෙඅවුරුදු සැලැස්ම හෙවත් මංගල‍ගේ අය-වැය හරහා ඩොලරය වඩාත් අවශ්‍ය වන ඉන්ධන පරිභෝජනයට තිත තබන බව සහතිකය. ඒ හරහා ලැබෙන පරිසර සහනය මුදලින් ප්‍රමාණය කළ නොහැකිය. රුපියල් දසලක්ෂයකින් විදුලි බලයෙන් ධාවනය වන මෝටර් රථ මිල අඩු කළා කියන්නේ ඉන්ධන පරිභෝජනයට සීමා පැනවීමකි. මේ දැක්ම රවි කරුණානායකට තිබුණා නම් ඔහු ඉන්ධන පරිභෝජනය අඩු කරන විදුලි රථ සහ හයිබ්‍රිඩ් වාහනවල බදු වැඩි කරන්නේ නැත. මංගල ඒ වරද නිවැරදි කර ඇත. ඒ සමඟ කළ යුතු දේ බොහෝය. අද විදුලියෙන් ධාවනය වන වාහනයක් ගැනීමට ඇති උවමනාව වැඩිවී ඇත. එහෙත් මහනුවර සිට කොළඹ යාමට විදුලි කාර් එකක් යොදා ගැනීම අවදානමකි. හේතුව මාවනැල්ලේ සිට කොළඹ තෙක් කිසි තැනක විදුලි කාර් බැටරිය ආරෝපණය කරගත හැකි ස්ථානයක් නැතිවීමය. සමහරවිට තිබිය හැකිය. එහෙත් එය දන්නා කෙනෙකු නැත. මහනුවර සිට අනුරාධපුරයට, බදුල්ලට, ඇඹිලිපිටියට, කතරගමට සති අන්තයක ගමනක් යාමට කැමති කෙනෙකුට නිකම් දුන්නත් විදුලි මෝටර් රියකින් පලක් නැත.

ඒ නිසා චාර්ජින් පොයින්ට් ප්‍රමාණය වැඩි නොකළොත් මේ වාසිය ජනතාවට ළඟා වන්නේ නැත. එසේ වේ නම් අය-වැය අපේක්ෂා කළ පරමාර්ථ ඉටු වන්නේ ද නැත. ඉහතින් විස්තර කළ චාර්ජින් පොයින්ට් වැඩි කිරීමේ ක්‍රියාවලිය ආණ්ඩුව වහා ආරම්භ කළ යුතුය. එය ස්වයං රැකියා උත්පාදනය කරන්නකි. බැංකු ණයක් ලබාදී රට පුරා චාර්ජින් පොයින්ට් ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතියක් නිර්මාණය වේ නම් විදුලි කාර් භාවිතය වැඩි වනු ඇත. ඒ සමඟ නව ස්වයං රැකියා දහස් ගණනක් ආරම්භ වනු ඇත. එවිට ඒකාබද්ධය මුදල් විසි කරමින් සංවිධානය කරන උද්ඝෝෂණ තුනීවී යනු ඇත. මංගල අය-වැය යෝජනා කළ හැම සාධනීය යෝජනාවක් රටට පලදායි සක්‍රීය එකක් වීමට නම් මෙවැනි “ගෙදර වැඩ” බොහෝ වෙති.

අප මෙහිදී එවැනි මග හැරුණ දෙයක අත්දැකීමක් නැවත සිහියට නගා ගැනීමෙන් මේ තත්ත්වය තේරුම් ගත හැකිය. ජනවාරි ජයග්‍රහණය සමඟ රටේ ඉන්ධන මිල අඩුවිය. රුපියල් 170ට තිබුණ 95 පෙට්රල් ලීටරය රුපියල් 128 තෙක් අඩුවිය. 92 පෙට්රල් ලීටරය රුපියල් 150 සිට රුපියල් 117 තෙක් පහත වැටිණ. ඩීසල් මිල රුපියල් 111 සිට රුපියල් 95 තෙක් අඩුවිය. භූමිතෙල් ලීටරය රුපියල් 86 සිට රුපියල් 65 තෙක් අඩුවිය. මේ වාසිය අද කාටවත් මතක නැත. රටේ හැටි එහෙමය. මේ සමඟ ආණ්ඩුව කළ යුතුව තිබුණ සමහර ගෙදර වැඩ කළේ නැත.

මේ අය-වැය ගැන සතුටින් කතා කළ එක් නීතිඥයෙකු ආණ්ඩුව නොකළ ගෙදර වැඩ සිහිපත් කළේ මෙසේය.

“ජනවාරි 7 වෙනිදාත් රුපියල් 170කට 95 වර්ගයේ පැට්රල් ලීටර් 16ක් විතර ගත්තා. අද මට රුපියල් 128කට 95 වර්ගයේ පැට්රල් ලීටර් 24ක් ලැබෙනවා. ඒ ලාභය යටපත් කරගෙන මාව කේන්තිගස්වන කරුණු තියෙනවා. පළමු කාරණය හොරු අල්ලන්නේ නැහැ. දෙවෙනි කාරණය මා ලබා ගන්නා ඉන්ධන වාසිය සාමාන්‍ය මිනිසා වෙත ළඟා නොවීම. මම ලබන පැට්රල් වාසිය බස් එකක ගමන් කරන ජනතාවට ලැබෙන්නේ නැහැ. ඒ වාසිය යන්නේ බස් මුදලාලිගේ සාක්කුවට. එළවලු මුදලාලිගේ සාක්කුවට. ඉතින් කොහොමද ආණ්ඩුව දුන් සහන පුංචි මිනිසුන්ට ලැබෙන්නේ.”

අප නැවත වියදම් දේශපාලනය වෙත හැරෙමු. මහින්ද රාජපක්ෂ සමඟ සිට ගෙන සිටින, බන්දුල ගුණවර්ධන ජීවන වියදම් ගැන කතා කරනවා. ඔහු මහින්දගේ කාලේ කීවේ රුපියල් 2500කින් පවුලකට මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියලා. 2012 දෙසැම්බර් 15 වෙනිදා මහින්ද රාපක්ෂ පාලනය පැට්රල් ලීටරය රුපියල් 159ක් කළා. 2013 පෙබරවාරි 23 වෙනිදා නැවත පැට්රල් ලීටරය රුපියල් 162ක් කළා. අද ජීවන වියදම වැඩියි කියලා මිනිස්සු පාරට බස්සන්නේ ඒ මහින්ද රාජපක්ෂමයි.

විදුලි කාර් මිල අඩු කිරීමේ වාසිය ජනතාවට ලැබීමට නම් චාර්ජින් පොයින්ට් 5000ක්වත් වහාම ඇති කළ යුතුවේ. එවිට පාරේ උද්ඝෝෂණය කරන පිරිසෙන් 5000ක් අඩුවනු ඇත. ඒ හරහා ස්වයං රැකියා 5000ක් නිර්මාණය වේ. ඒ සමඟ පැට්රල් අඩු කිරීමේ වාසිය බස් මුදලාලිලා එළවළු මුදලාලිලා ලබාගත්තා වාගේ කාර් මිල අඩුවීමේ වාසිය කාර් සේල් කාරයන්ගේ සාක්කුවට නොයාමට අවශ්‍ය පියවර ගත යුතුවේ. පාර්ලිමේන්තු වරප්‍රසාද ගැන පැය ගණන් කතා කරන ආණ්ඩුවේ මන්ත්‍රීවරු කළ යුත්තේ ආණ්ඩුව ලබාදුන් සහන ජනතාවට ලැබෙනවාද නැද්ද යන්න ගැන සොයා බැලීමය.

 

නව අදහස දක්වන්න