සබ්මැරීන කාර්ය මණ්ඩලය පිළිබඳ බලාපොරොත්තු බිඳ වැටේ | දිනමිණ

සබ්මැරීන කාර්ය මණ්ඩලය පිළිබඳ බලාපොරොත්තු බිඳ වැටේ

අතුරුදන් වූ ආජන්ටිනා සබ්මැරීනයේ කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව සිටිනු ඇති බවට වූ බලාපොරොත්තු බිඳ වැටී තිබේ.

ඒ, සබ්මැරීනය අතුරුදන් වූ මුහුදු කලාපයේ කිසියම් පිපිරීමක් සිදුව ඇති බවට එරට නාවික හමුදාව නිවේදනය කිරීමත් සමග ය.

කිසියම් අස්වාභාවික හුදෙකලා න්‍යෂ්ඨික නොවන පිපිරීමක් සබ්මැරීනය අතුරුදන් වූ දකුණු අත්ලන්තික් මුහුදු කලාපයෙන් වාර්තා වූ බව ආජන්ටිනා නාවික හමුදාවට දැනුම් දී ඇත්තේ, න්‍යෂ්ඨික පරික්ෂණ පිළිබඳ ජාත්‍යන්තර නිරීක්ෂණ ආයතනයක් විසිනි.

එම කලාපයේ ප්‍රබල ශබ්දයක් වාර්තා වූ බවට අමෙරිකාව ද තහවුරු කර තිබේ.

මේ පිළිබඳව ආජන්ටිනා නාවික හමුදාව නිවේදනය කිරීමත් සමග සබ්මැරීනයේ කාර්යය මණ්ඩල සාමාජිකයින්ගේ ඥාතීන් මහත් කෝපයට පත්ව සිටින බව බී.බී.සී. ලෝක සේවය වාර්තා කළේ ය.

පසුගිය සතියේ බදාදා අතුරුදන් වූ ඒ.ආර්.ඒ. සැන් ජුවාන් සබ්මැරීනය සේවීම සඳහා මේ වන විට අමෙරිකාව, රුසියාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් රැසක සහය හිමිව තිබේ.

අතුරුදන් වන විට එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 44 දෙනෙක් සේවයේ නිරතව සිටියහ.

1983 වසරේදී ජර්මනියේ නිෂ්පාදනය කළ මෙම සබ්මැරීනය මීටර් 66ක දිගින් යුක්ත ය.

නව අදහස දක්වන්න