මල් කැකුළු නොතලන්න | දිනමිණ

මල් කැකුළු නොතලන්න

බලන්ගොඩ ප්‍රදේශයේ හතර වසරේ ඉගෙනුම ලැබූ දැරියක් ගෙල වැලලාගෙන මිය ගිය පුවත ඇසීමෙන් දරුවන් සිටින මාපියන් බලවත් සේ කම්පාවට පත්වූහ. හය හතර නොදත් අහිංසක දැරියක් මෙලෙස ගෙල වැලලාගෙන මිය යාම කෙතරම් අභාග්‍ය සම්පන්න ඛේදවාචකයක්ද? ජංගම දුරකතනයක් සොරකම් කළා යැයි ඇයට සිය පාසලේ ගුරුවරියක් චෝදනා කිරීමත්, පාසලේ ළමයින් උසුළු විසුළු කිරීම දක්වාත් දුරදිග ගිය මෙම ප්‍රශ්නය අවසන් වූයේ රටම සුවඳවත් කරන්නට සිටි අහිංසක මල් කැකුලක් අකාලයේ විනාශ වී යාම පමණකි. බල්ලන්ගේ කරෙත් ජංගම දුරකතන එල්ලාගෙන සිටින මෙවන් යුගයක මේ පුංචි දැරියට පරිභව කරමින් ඇය දැඩි චිත්ත පීඩාවකට ලක්කළ ගුරුවරිය පිළිබඳව ඇති වන්නේ පිළිකුළකි. කිරිමැටිතැන්න පාසලේ මොළේ කළඳක්වත් තිබෙන විදුහල්පතිවර‍යකු වෙනත් වගකිවයුතු ගුරුවරයකු හෝ ගුරුවරියක ජංගම දුරකතනය නැතිවීම සම්බන්ධ ප්‍රශ්නයට මැදිහත් වී විසඳුවා නම් මේ අහිංසක දැරියගේ ජීවිතය අදටත් සුරැකිව තිබෙනු ඇත. ලබන වසරේ මෙම දැරිය 5 වසර ශිෂ්‍යත්වයට පෙනී සිටිනු ඇත. එම විභාගයෙන් සමත් වී මීට වඩා උසස් විද්‍යාලයක ඇය ඉගෙනුම ලබනු ඇත. ඒත් ඇගේ අහිංසක අම්මාගේ ඒ සියලු බලාපොරොත්තු සුනු විසුනුවී ගියේ කෙතරම් ඛේදාන්තයක් ලෙසද? දුප්පත්කමින් අන්ත අසරණ වූ මෙවැනි දරුවන් සිටින පවුල්වල අවසානය මෙය විය යුතු ද?

මීට ඉහත කඳාන ප්‍රදේශයේ පාසල් දැරියක් තම පන්ති භාර ගුරුතුමියකගේ ජංගම දුරකතනයක අසැබි දසුන් නැරඹීම සම්බන්ධයෙන් සිදු වූ ප්‍රශ්නයකින් ඊට චෝදනා ලැබූ එම පාසල් සිසුවිය රාගම ප්‍රදේශයේදී දුම්රියට පැන සියදිවි හානිකර ගත් පුවතක් ද මේ මොහොතේ සිහිපත් වෙයි. එම සිදුවීමෙන් ද අවසානයේ රටට අහිමි වුණේ ජාතියේ මල් කැකුලකි. කුරුණෑගල ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක දරුවකුද මීට ඉහත ජංගම දුරකතනයක සිද්ධියකට එම විදුහලේ විදුහල්පතිවරයා තරවටු කළැයි සිත්තැවුලට පත් වූ පාසල් දැරියක් සිය දිවි හානිකර ගත්තා ය. මෙලෙස ඉතා අවාසනාවන්ත ලෙස අහිංසක දරුවන් දිවි නසා ගන්නට තරම් දරුණු ලෙස මෙම ප්‍රශ්න දිග්ගස්සන්නේ ඇයි? අකාලයේ දිවි අහිමිකර ගන්නා මේ අහිංසක ජීවිතවලට වග කියන්නේ කවුද? අධ්‍යාපන බලධාරින් මෙවන් ප්‍රශ්නවලටමැදිහත් වී මේවා විසඳීමට කටයුතු නොකරන්නේ ඇයිදැයි ප්‍රහේලිකාවකි. ඒ වගේම සියදිවි හානිකර ගැනීමට තරම් මේ පුංචි දරුවන්ගේ සිත් දරුණු වූයේ මක්නිසා ද? මේවා සුළුවෙන් බැහැර කළ යුතු ප්‍රශ්න නොවේ. මනෝවිද්‍යාත්මක ඇසකින් බලා පාසල් දරුවන්ගේ සිත් මෙවැනි දැඩි තීරණවලට යොමුවන්නේ ඇයිදැයි විමර්ශනය කළ යුතුය. වත්මන් සමාජය නවීන තාක්ෂණික මෙවලම් සමග දැඩි සම්බන්ධතාවයක් පවතින බව රහසක් නොවේ. මේ හේතුව නිසා දරුවන් මෙන්ම වැඩිහිටියන්ද පොතපතින් ඈත් වී පරිසරයෙන් ඈත් වී හිත මිත්‍රාදීන්ගෙන් ඈත් වී හුදකලා ජීවිත ගතකරනු පෙනේ. මෙලෙස හුදකලාවීම හේතුවෙන් යම් ගැටලුවක් තම ජීවිතයට මතු වූ විට ක්ෂණික තීන්දු තීරණ ගෙන ජීවිත නැතිකර ගැනීමට පෙළඹීමේ නැඹුරුතාවයක් දක්නට ඇත.

මෙවැනි මානසික පීඩාවන්ට ලක්වන පාසල් දරුවන් මෙන්ම වැඩිහිටියන්ගේ ගැටලු විසඳාදීම සඳහා ආගමික නායකයන්ගෙන් සැදුම්ලත් විද්වත් මණ්ඩලයක සහාය ලබාගැනීම කාලෝචිතය. උපදේශනය තුළින් මානසික පීඩාවන්ට ලක්වන පුද්ගලයන්ගේ ජීවිත සුරක්ෂිතකර දීම සඳහා වූ වැඩපිළිවෙළක් ගම් මට්ටමින් ආරම්භ කළ යුතුය.

රත්නසිරි පතිරණ

 


නව අදහස දක්වන්න

Or log in with...