අගමැති බැඳුම්කර කොමිසම හරවද්දී ඇමැති වජිර ගාල්ල නිවා දමයි | දිනමිණ

අගමැති බැඳුම්කර කොමිසම හරවද්දී ඇමැති වජිර ගාල්ල නිවා දමයි

පාර්ලිමේන්තුවේ අය වැය විවාදයේදී ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සාකච්ඡා වන අවස්ථාවට නොවරදවා සහභාගිවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුරුද්දකි. එසේ වූවත් පසුගිය 17 දා එතුමාට නියමිත වේලාවට විවාදයට එන්න ලැබුණේ නෑ. එයට හේතුව නම් මාස හයකට කලින් ලැබුණු ආරාධනයක් අනුව මාවනැල්ලට යාමට සිදුව තිබීමයි. අය වැය විවාදයට සහභාගිවීමට තිබුණත් කලින් පොරොන්දුවී සිටි පරිදි මාවනැල්ල කැප්පෙටිපොල ශ්‍රී අභයරාම විහාරස්ථානයේ තෙමහල් බහුකාර්ය ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීමේ උළෙලට ජනාධිපතිතුමා සහභාගි වුණා. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් සහ රංජිත් සියඹලාපිටිය, දයා ගමගේ ඇමැතිවරුන් මේ අවස්ථාවට සහභාගි වී සිටියා.

මෙහිදී කතා කළ කබීර් හෂීම් ඇමැතිවරයා කී‍ෙව් අය වැය විවාදයට යන්න තිබියදී තමන්ගේ මේ කුඩා උත්සවයට ජනාධිපතිතුමා පැමිණීම මාවනැල්ල මැතිවරණ කොට්ඨාසයට කළ විශේෂ ගෞරවයක් හැටියට තමා සලකන බවයි.

මෙහිදි කතා කළ ජනාධිපතිතුමා කීවේ මීට පෙර සිටි ජනාධිපතිවරුන් අය වැය විවාදයේ ජනාධිපති වැය ශීර්ෂය සාකච්ඡාවට නොපැමිණි බවයි. තමන් ජනපති වූ පසුව වසර දෙකේදීම තමන් පාර්ලිමේන්තුවට පැමිණ අය වැය විවාදයේ ජනාධිපති වැය ශීර්ෂ සාකච්ඡාවට සවන්දී විවේචන සියල්ලට සවන් දුන් බව ජනාධිපතිතුමා කීවා.

කබීර් හෂීම් ඇමැතිවරයාගේ බෞද්ධාගමික දැනුම ගැන විශේෂයෙන් සඳහන් කළ ජනාධිපතිතුමා ජාත්‍යන්තර වෙසක් උළෙල මේ වසරේ පොල්ගහවෙල පැවති අවස්ථාවේ බෞද්ධ දර්ශනය ගැන හොඳම කතාව කළේ කබීර් හෂීම් ඇමැතිතුමා බවද කීවා.

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්ගේ වාර්ෂික සමුළුව පසුගිය විසිවැනිදා පැවැත්වුණා. එයට එක්වෙමින් ජනාධිපතිතුමා කීවේ අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාවේ තිබෙන හොඳ වගේම නරකත් තමන් හොඳින් දන්නා බවයි. සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස තමා ලැබූ අත්දැකීම් සෞඛ්‍ය සේවාවේ දියුණුව සඳහා යොදාගැනීමට ඉඩ ලැබුණු බව කී ජනාධිපතිතුමා මෙම ක්ෂේත්‍රයේදී මානව සබඳතා ඉතා වැදගත් වන බවත් පෙන්වා දුන්නා.

වෛද්‍ය විද්‍යාවේ නව පර්යේෂණ සමඟ දවසින් දවස පැයෙන් පැය තත්පරයෙන් තත්පරය සෞඛ්‍ය සේවාව ඉදිරියට යන බවත් මානව සමාජයේ ඉදිරි ගමන වෛද්‍ය විද්‍යා පර්යේෂණ සොයාගැනීම් හා ඒ සඳහා කරන කැපකිරීම් මත රඳා පවතින බවද කීවා.

වෛද්‍ය රසායනාගාර සේවාවේ විශිෂ්ට සේවයක යෙදුණු පිරිසකට සම්මාන ප්‍රදානය කිරීමද ජනාධිපතිතුමා අතින් මෙහිදි සිදුවුණා.

මහින්ද රාජපක්ෂ මහතාගේ රජයෙන් ඉවත්වී යහපාලනය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි පියවරක් තැබීමට මේ වනවිට වසර තුනක් ගතවී තිබෙනවා. පසුගිය 21දා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැති උත්සවයකදී ජනාධිපතිතුමා මේ බව මතක් කළා. සූර්යබල සංග්‍රාමය යටතේ ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් සියයක් එක්කිරීම නිමිත්තෙන් මෙම උත්සවය සංවිධානය කොට තිබුණා.

මෙහිදී කතා කළ ජනාධිපතිතුමා කීවේ වසර තුනකට පෙර අද වැනි දිනක එවකට පැවැති ආණ්ඩුවෙන් එළියට බැස්සේ රටේ යම් වෙනස්කම් කිරීමට බව හා රටට අවශ්‍ය වූ වෙනස සඳහා බොහෝ දේ මේ වනවිට ඉටුකර තිබෙන බවයි. වෙනස සැපද අහන අයට, ඔව් වෙනස සැපයි කියා තමන් කියන බව කී ජනාධිපතිතුමා ජාත්‍යන්තරය දිනාගෙන ලෝකයේ සෑම රටක්ම ශ්‍රී ලංකාවේ මිතුරන් බවට පත්කර ගැනීමට තමන්ට හැකිවූ බවත්, විදුලි පුටු හෝ යුද අධිකරණ නොමැති තත්ත්වයක් ගොඩනගා ගත් බවත් සඳහන් කළා. රටට අහිමිව තිබූ බොහෝ දේ දිනාගැනීමට මේ කාලයේ හැකිවූ බවත්, කාට නැතත් ජනතාවට නම් වෙනස හොඳටම සනීප බවත් ජනාධිපතිතුමා පැවසුවා.

අල්ලස් කොමිසම, එෆ්.සී.අයි.ඩී හෝ සී.අයි.ඩී. වැනි ආයතන වලින් ප්‍රශ්න කිරීම සදහා පැමිණෙන ලෙස විපක්ෂයේ දේශපාලකයන්ට දැනුම් දුන් විට එම ආයතන වල ඉහල නිලධාරීන් තම නිවසට කැදවා පිළිතුරු දීමේ සම්ප්‍රදායක් මෑතක දී ඇති වුණා.තවද පසුගිය රජය සමයේ අල්ලස් කොමිසමට එන්නට කී විට නයෙකු කෑ බව පවසා රෝහල් ගත වූ අතීතයක්ද පැවතුනා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සදුදා බැදුම්කර කොමිසමට ගියේ ස්වෙච්ඡාවෙන්. ඊට අදාලව එජාපය තුල පැවති සාකච්ඡාවේදී

අගමැතිවරයා කොමිසමට ගියේ ස්වෙච්ඡාවෙන් බව ඉස්මතු කිරීම අවශ්‍ය බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවා.

තවද ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දීද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඒ බව සඳහන් කළා.

“අගමැතිතුමා ස්චේඡාවෙන් කොමිසමට යන්නේ. එතුමාට හෝ එජාපයට හංගන්න දෙයක් නෑ” කිරිඇල්ල මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට කීව්වා.

මීට පෙර බැදුම්කර කොමිසම තුල අගමැතිවරයා ගැන සදහන් වීම තුල අගමැතිවරයා කොමිසමට දැන්වූයේ තමාට පැහැදිලි කිරීම් සිදු කිරීමට අවශ්‍ය බවය. ඒ මත ඔවුන් එවා තිබූ කරුණු 16 කට ඔහු මීට පෙර ලිඛිත පිලිතුරු යවා තිබුණා.අනතුරුව කොමිසම අගමැතිවරයාට දැනුම් දුන්නේ එකී පැහැදිලි කිරීම් වලට අදාලව තවදුරටත් පැහැදිලි කිරීම් අවශ්‍ය බවය.

“ මට අවශ්‍යත් එයයි. දෙවැනි වරටත් ලිඛිත කරුණු දැක්වීම වැඩක් නැහැ. මම ගිහිල්ලම පැහැදිලි කිරීම් කරනවා.එතකොට එයාලට හරස් ප්‍රශ්න අහන්නත් ලැබෙනවනේ” අගමැතිවරයා හිතවතුන්ට කියා තිබිණ.අනතුරුව පැවති එජාප සාකච්ඡාවකදී අගමැතිවරයා තම ස්ථාවරය පක්ෂ ප්‍රබලයන්ට කී විට ඔවුන් ඊට එරෙහි විය.

“ඔබතුමාට කොමිසමට එන්න කියලා තියෙන්නේ ඉන්දියානු නිළ සංචාරයට කළින් දිනයේයි. අනික එදා අයවැය ඡන්දයත් තියනවා. පසුව එන බව දන්වන්න”උපදේශකයන් හා ජ්‍යෙෂ්ඨ ඇමතිවරු කිව්වා.

ඔවුන්ගේ අදහස් අසාසිටි අගමැතිවරයා කීවේ ”නෑ එයාලා එන්න කියපු දිනේට මම යනවා” යයි කිව්වා.

එම තීන්දුවෙන් පසු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ඇතුළු ඇමතිවරු පිරිසක් මෙහෙයුමක් දියත් කළහ. එජාප මැති ඇමතිවරු සියලු දෙනාද එදින කොමිසම පරිශ්‍රයට කැදවා ගැනීම එම මෙහෙයුමට අයත් ‍විය. ඒ ගැන ආරන්චි වූ අගමැතිවරයා කිරිඇල්ල හා ගයන්තට කතා කොට දැක්වූයේ විරෝධයකි.

“අරගොල්ලො වගේ සෙනගනම් ගෙන්නන්න එපා. මැති ඇමතිවරුන්ටත් අයවැය විවාදයට යන්න කියනවා” අගමැතිවරයා කිව්වා.

“නෑ. කැමති අයට එන්න කියමු. සෙනග ගේන්නේ නෑ.”කිරිඇල්ල සහ ගයන්ත ඇමතිවරු කිව්වා.

සදුදා උදේ අගමැතිවරයා මුලින්ම ගියේ අරලියගහ මැදුරටය. එහිදී රාජකාරි කිහිපයක් නිමකළ ඔහු අනතුරුව බැදුම්කර කොමිසම වෙත ගියේ තනිවමය.

දෙස් විදෙස් මාධ්‍ය රැසක් එය ආවරණයට පැමිණ සිටියේය. උදේ 9.50 ට අගමැතිවරයා කොමිසමට ගිය අතර කටයුතු ඇරඹුනේ 10.10 ටය.

එහිදී කොමිසමේ සභාපතිවරයා මූලික ප්‍රකාශයක් සිදු කලේය.

“අගමැතිතුමා කොමිසමට එන ලෙස අපි බල කලේ නෑ.කල ඉල්ලීමට සහාය පල කිරීම ගැන ස්තූතියි.” කොමිසමේ සභාපති කේ.ටී.චිත්‍රසිරි මහතා කීවේය.

එහිදී මහ බැංකු කටයුතු මූල්‍ය නීති පනතට අනුව සිදුවිය යුතු බව දැන සිටියා දැයි ඇසූ විට අගමැතිවරයා කීවේ මෙවැන්නකි.

“ඔව් දැන සිටියා. ඒත් ව්‍යවස්ථාවට අනුව ආණ්ඩු වටත් උපදෙස් දීමේ අයිතිය තියෙනවා. රාජ්‍ය මුදල් වල වගකීම ඇත්තේ පාර්ලිමේන්තුවටයි. ඒත් පසුගිය ආණ්ඩු කාලෙ මහ බැංකුව පාර්ලිමේන්තුවට වග නොකියන පසුබිමක් තිබුණා. නීතිපතිගේ බලය ශක්තිමත් විය යුතුයි. භාණ්ඩාගාර ලේකම් හා සෙසු නිලධාරීන්ට අපි නිසි උපදෙස් දීල තිබුනේ.”

අගමැතිවරයාගෙන් විමසූ ප්‍රශ්න වලට ඔහු තව දුරටත් කීවේ. “ විනිමය හෝ පොලී අනුපාත තීන්දු කිරීමේ වැඩ වලට අපි මැදිහත් වුනේ නැහැ.පසුගිය කාලේ අයවැයෙන් අනුමත කල දේ විසර්ජන කෙටුම්පත් වල සදහන් නැහැ.මූල්‍ය අරමුදල සමග මූල්‍ය සීමා ගැන ගහපු ගිවිසුම් පවා කඩ කර තිබුණා” අගමැති කීවා.

පෙ.ව.11.15 ට පැයක ප්‍රශ්න කිරීම්වලට පිලිතුරු දී හමාර කල අගමැතිවරයා පිටතට පැමිණ මාධ්‍ය ඇමතුවා.

“ යහ පාලනය ඉදිරියටම ගෙනියනවා. මම විතරක් නෙමෙයි කොමිසම තවත් ඇමතිවරුත් ප්‍රශ්න කලා. අඩුපාඩු වෙන්න පුළුවන්. එත් අපි හරි පාරේ යනවා.” අගමැති කීවා.

අනතුරුව ඔහු කෙලින්ම පාර්ලිමේන්තුවට ගියා. පාර්ලිමේන්තු කටයුතු නිසා කොමිසමට පැමිණීමට නොහැකි වූ ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු එජාප පිරිසක් කාර්යාලයේ රැදී සිටිමින් අගමැතිවරයා උණුසුම්ව පිලිගත්තා පමණක් නොව විවිධ ප්‍රශ්නද අසන්නට වුණා.

“ මෙච්චර කල් ආණ්ඩුවට අවාසි දේයි මාධ්‍යවල ගියේ. ඔබතුමා ගිය වෙලාවේ ඉදල වාසි දේවල් යන්නේ අදෘශ්‍යමාන බලවේගයක් නිසාද”එදින කොමිසමටද ගිය දයා ගමගේ ඇසුවේ සිනා සෙමිනි.

“ කොමිසමේ හා නීතිපති දෙපාර්තුමේන්තු නියමයෙන් අපේ මන්ත්‍රිවරුන්ගේ දුරකථන ඇමතුම් ගැන පරීක්ෂා කර තියෙනවා.ඒ රහස් මාධ්‍ය වලට දුන්නේ කවුද මාධ්‍ය ඒවා පලකලේ කුමන පදනමෙන්ද? මම මන්ත්‍රී වරප්‍රසාද ප්‍රශ්නයක් උදේ පාර්ලිමේන්තුවේදී මතු කලා.” ලක්ෂ්මන් කිරිඇල්ල කී විට අගමැතිවරයා ඔහුට ස්තූති කළා.

“ කොමිසමේ ඉදලා පාර්ලිමේන්තු එන විට ප්‍රබල ව්‍යාපාරිකයෙක් මට කතා කළා. නීතිපති උපදෙස් අනුව ඔබතුමා පර්චුවෙල් එකේ බල පත්‍ර අවලංගු කලානම් මහබැංකු ඇතැම් නිළධාරීන්ගේ වැඩ නැවැත්තුවා නම්, සී අයි ඩී පරීක්ෂණ ඇරඹුවා නම් ඒ නීතිපතිම ඔබතුමා කූඩුවට නංවලා ප්‍රශ්ණ කිරීම පුදුමයි කියලා එයා කිවුවා. මේක තමයි විශ්මිත යහපාලනය කියලා මම උත්තර දුන්නා “අගමැති කීව්වා.

“අපි පාර්ලිමේන්තු සභා ගැබටත් යමු” කිරිඇල්ලගේ යෝජනාවට එකග වූ අගමැති එහි ගිය විට නිමල් සිරිපාල ඇතුඵ ශ්‍රීලනිප මැති ඇමතිවරු කොමිසමට යාම අගය කරමින් කතා බහ කළහ.

පසුදා උදයේම අගමැතිවරයා ඉන්දියානු නිළ සංචාරයකට පිටත් විය. එහිදී එරට ජනපති අගමැති ඇතුඵ නායකයන් හමුවීමටද පස්වන ලෝක සයිබර් සමුළුවට එක්වීමටද නියමිතය.

“ පළාත් පාලන ඡන්ද ගැසට් එකට විරුද්ධව උසාවිය අතුරු තහනමක් දීලා” ලක්ෂ්මන් කිරිඇල්ල රවි කරුණානායක ඇතුලු කිහිපදෙනෙක් නව දිල්ලිය අමතා අගමැතිවරයා දැනුවත් කලහ.

“ ඡන්ද කල් දානවට එජාපය එකග නෑ.ඒ ගැන කියල වහාම නිවේදන නිකුත් කරන්න. ප්‍රවෘත්ති සාකච්ඡා සූදානම් කරල රට දැනුවත් කරන්න.මම ආවාම ඊලග පියවර ගැන කතා කරමු.” අගමැතිවරයා කීවේ කණස්සල්ලෙන්.

බ්‍රහස්පතින්දා දිසාපතිවරුන් සඳහා රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වෙන අතරතුර ගාල්ල ගිංතොට ප්‍රදේශය උණුසුම් වී තිබිණා. වජිර ඇමතිවරයාගේ දුරකථනයට කිසිදු විවේකයක් ලැබුණේ නෑ. ජනාධිපතිලේකම් හා අගමැතිලේකම්වරයාත් දිසාපතිවරුනුත් සිටිය දී ගිංතොට සිංහල හා මුස්ලිම් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇතැයි දැනගන්නට ලැබිණා. පොලිසිය කීවේ මේ ගැටුමට මුල්වී ඇත්තේ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු බවයි.

''එයා එක්සත් ජාතික පක්ෂයේ මනත්‍රී කියලා බලන්න එපා. මගේ මිනිහෙක් කියලා එයා කිව්වට කමක් නෑ. වැරදි දෙයක් කරලා තියෙනවානම් ඉක්මනට අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න. එයා ආණ්ඩුවට සම්බන්ධනම් කොහොමත් වැරදි කරන්න ඉඩ දෙන්න බැහැ." ඇමතිවරයාගේ උපදෙස් දුන්නා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත්, අගමැති රනිල් වික්‍රමසිංහමහතාටත් එතැන සිටම සිද්ධිය ගැන පැවසූ වජිර ඇමතිවරයා ගිංතොට ප්‍රදේශයට පොලිසියත් පොලිස් විශේෂ කාර්ය බළකායත් යෙදවීමට කටයතු කළේ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක ඇමතිවරයාත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාත් සම්බන්ධ කරගනිමිනි.

ගැටුම පවතින අතරතුර, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා යන මහත්වරු වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ද ගිංතොට ප්‍රදේශයට ගොස් සිටියා.

සෙනසුරාදා ගාල්ලට කාර්යබහුල දිනයක් වුණා. ඇමති වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී උදෑසන සියලු ආගමික නායකයන්ගේ ගේ හා ආරක්ෂක අංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් රැස්වීමක් පැවැත්වුණා. එහි දී සියලු පාර්ශවයන් මැදහත් වී මේ තත්ත්වය සාමකාමීව විසඳා ගත යුතුයැයි තීරණය වුණා. නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර හා හිටපු අමාත්‍යවරයකුවන ගුණරත්න වීරකෝන් මහත්වරු ද මේ රැස්වීමට සහභාගී වී සිටියා.

වජිර ඇමතිවරයා, දිසාපතිතුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනකු සමග සිදුවූ හානිය බැලීමට ගිංතොට ගියා. ඇමතිවරයා මුළින් ම ගියේ හානියට පත්වූ සිංහල පවුල්ජීවත්වන නිවාස කිහිපයක් නිරීක්ෂණය කිරීම සඳහාය. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එතැන සිටියා.

ඉන් අනතුරුව ඔවුන් ජුම්මා මුස්ලිම් පල්ලියට ගිය. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන රමේෂ් පතිරණ හා මොහාන් පී. ද සිල්වා මහත්වරු ද පළාත් සභා මන්ත්‍රී චානක මාදුගොඩ මහතා ද පල්ලියට පැමිණියා.

මේ ස්ථානයට රාවුෆ් හකීම් ඇමතිවරයා ද පැමිණියා.

අනතුරුව ගිංතොට මහ පල්ලියට ගිය වජිර එහි සිටි පුද්ගලයන්ට සංසුන්ව සිටින ලෙසත් ඉදිරියේ දී මේ තත්ත්වය පාලනය කිරීම සඳහා සහය වන ලෙසත් ඉල්ලා සිටියා. මේ අතර ලැබුණු පණිවිඩයකින් කියැවුණේ බොදුබල සේනාවේ ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් ගිංතොට ථූපාරාමයට පැමිණ ඇති බවයි. ඇමති වජිර වහාම එහි ගියා.

'' ඥාණසාර හාමුදුරුවෝ මම හොඳට දන්නවා. දැන් මෙතැන කවුරුවත් කලබල කරන්න අවශ්‍ය නැහැ. මම හාමුදුරුවන්ව හමුවෙලා මේ ප්‍රශ්නය විසඳාගන්නම්."

''හාමුදුරුවනේ මේක පොඩි ප්‍රශ්නයක් දුරදිග යාමක්නේ. අද හවස අපි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැස්වීමක් තියෙනවා. සියළු පාර්ශ්ව එතැනට එනවා. ඔබ වහන්සේත් ගිංතොට පන්සලේ සුමේධ හාමුදුරුවන්ටත් මම ආරාධනා කරනවා එන්න කියලා. "

එසේ හිමිවරුන්ට දිසාපති කාර්යාලයට පැමිණෙන්න යැයි ආරාධනා කළ ඇමති වජිර එතැනින් ඉවත්ව යද්දී පන්සලට රැස්ව සිටි පිරිස අතරින් විරෝධයක් එල්ලවන්නට වුණා. ආපසු හැරුණු ඇමතිවරයා සියල්ලන්ටම දෑත් එක්කරමින් ආචාර කළ අතර ''සුවපත් වේවා" යැයි ද කියනු ඇසුණි.

එදින ම සවස පැවැත්වූ සාකච්ඡාව සඳහා ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණෙන විට ජනතා විමුක්ති පෙරමුණේ නලින් හේවගේ පළාත් සභා මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් ද රැස්වීමට සහභාගී වීම සඳහා පැමිණ සිටියා. ඥාණසාර හිමිගේ පැමිණීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට ගැටළුවක් තිබුණ ද පසුව එය සාකච්ඡා කර විසඳා ගැනීමට ඇමතිවරයා සමත් වූණා. ඉන්පසු රැස්වීම ආරම්භ කෙරුණා.

ජාතිවාදය වපුරන බවට චෝදනා ලැබ සිටින ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් මෙහි දී සියලු දෙනා සංසිදෙන ආකාරයේ කතාවක් කළා.

''මේක පුංචි කොල්ලන් අතර ඇතිවූ පුංචි සිද්ධියක්. ඒත් අපිට ඉන්න හැටියක් නැහැ. හැමෝම අපිට කෝල් කර කර අහනවා. මේක ජාතිවාදී කරගන්න එපා. පොලිසිය සතුව තියනෙ තුවක්කුවලට වඩා මේ ජංගම දුරකථනය අද ප්‍රබල ආයුධයක් වෙලා. මේකෙන් තමයි හැමදේම බලන්නේ. වැඩි හරියක් බොරු කියනවා. එක්කෙනෙක් මැරුණා කියනවා. මේවා ඔක්කොම බොරු. මේ බොරුවලට රැවටෙන්න එපා. අපිට අපේ හාමුදුරුවරු සහ බෞද්ධ ජනතාව සමග සාකච්ඡා කරලා මේ දැන් පල්ලියේ මවුලවිතුමන්ලාත් ඉන්න නිසා ඒ අයත් එක්ක කතා කරලා මේ ප්‍රශ්නය බේරාගන්න පුළුවන්"

ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ කතාවට කවුරුත් එකඟ වූණා.

ගිංතොට ථූපාරාමයේ වැඩවාසය කරන අම්බලන්ගොඩ සුමේධ හිමියන් ද එහි දී අදහස් දක්වමින් කියා සිටියේ මෙය සාකච්ඡාකර විසඳාගත හැකි සුළු ප්‍රශ්නයක් බවයි. දෙපාර්ශවයම එකඟ වී ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමටත් තීරණය කෙරුණා. තත්ත්වය පාලනය කර සම්පූර්ණයෙන් ම සාමය ස්ථාපිත කරනතුරු පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තැබීමට ද අවශ්‍යනම් ඇඳිරිනීතිය රාත්‍රී කාලයේ යෙදීමට ද තීරණය කෙරුණා.

සියල්ල සාර්ථකව අවසන් වූ පසු ඇමති වජිර යළි කොළඹ යාමට සූදානම් වුව ද සාගල රත්නායක ඇමතිවරයා කොළඹ සිට ගාල්ලට එන බව දැන්වූයෙන් ඔහු බලාපොරොත්තුවෙන් නතර වූණා. මේ අතර අමාත්‍ය වජිර සමග සුහද කතාබහක නිරතවීමට ගාල්ලේ මාධ්‍යවේදීන්ට අවස්ථාවක් ලැබිණා.

''මේ සිද්ධියේ දී ඇත්තටම මම ඔයාලට ස්තූති කරන්න ඕන. මාධ්‍ය ඉතාමත් ම හොඳින් හැසිරුණා. කිසිම ප්‍රශ්නයක් ඇති නොවෙන්න වැඩ කළා. නමුත් මේ ෆේස්බුක් වගේ දේවල යන බොරු නිසා තමයි ප්‍රශ්න මතුවෙන්නේ." ඇමතිවරයා කීවේය.

ගිංතොට ප්‍රදේශයට ගිය සාගල රත්නායක අමාත්‍යවරයා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණියේ ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා ද සමගිනි. අමාත්‍යවරු තිදෙනා එක්වී යළි මාධ්‍ය හමුවේ අදහස් දැක්වූවා.

පසුදා උදෑසන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලට පැමිණියා. ඒ ගිංතොට සිද්ධිය නිරීක්ෂණය කිරීමේ අරමුණෙනි. අගැමතිවරයා සමග සාගල රත්නායක ඇමතිවරයා ද සිටියා. ඇමති වජිර ද ගාල්ලේ දී අගමැතිවරයාට එක්වුණා.

අගමැතිවරයා ගාල්ලේ රැඳී සිටින කාලය පැයක් පමණ බව කලින්ම දන්වා තිබුණා. ඒ නිසා එම කෙටි කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා සියල්ල සූදානම් කෙරුණා. ගාල්ලට හෙලිකොප්ටරයෙන් පැමිණි අගමැතිවරයා ඇමති වජිර හා සාගල සමග වාහනයෙන් කෙළින්ම ගිංතොට නිවාස හානි සිදුවූ සිංහල පවුල් කිහිපයක් හමුවීමට ගියා. ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් පසු මුස්ලිම් ජාතික පවුල් කිහිපයක් ද හමුවීමට අගමැතිවරයා අමතක කළේ නැහැ.

ගිංතොට සිට කෙලින්ම හෙලිකොප්ටරය නවතා තිබූ සමනල ක්‍රීඩාංගණයට පැමිණි අගමැතිවරයා කොළඹ බලා පිටත්වූණා.

පළාත් පාලන මැතිවරණයට සියල්ල සූදානම්ව තිබියදී එහි සභික සංඛ්‍යා තීරණය කිරීමට පසුගිය පෙබරවාරි 17 දා නිකුත් කළ ගැසට් නිවේදනය පිළිබඳ ගැටලුවක් මුල් කරගෙන අභියාචනාධිකරණයට පෙත්සම් ඉදිරිපත්වීම ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ට විමතියට කරුණක් වුණා. මුලින් පෙනී ගියේ එය ඡන්දය කල් දැමීම සඳහා උත්සාහ දැරීමට පදනමකින් තොරව ඉදිරිපත් කළ පෙත්සමක් බවයි. කෙසේ වෙතත් කරුණු හැදෑරීමේදී පෙනී ගියේ එම ගැසට් නිවේදනයේ සැබැවින්ම වරදක් තිබෙන බවයි. එය දැන සිටි පිරිසක් මාස ගණනාවක් බලා සිට පළාත් පාලන ඡන්දයට දින නියම වන්නට ඔන්න මෙන්න කියා තිබියදී අධිකරණයට ගොස් අතුරු තහනම් නියෝගයක් ලබාගත් බව පෙනී යනවා.

ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මෙය පැහැදිලි ලෙසම සැලසුම් කළ කුමන්ත්‍රණයක් බවයි. ඇමැති ෆයිසර් මුස්තාපා මහතා දැන දැනම වැරදි ගැසට් නිවේදනයක් නිකුත්කොට ඇති බවටත්, පසුව ආණ්ඩුව සැලසුම්සහගතව අධිකරණයට ගොස් අතුරු තහනමක් ලබාගෙන මැතිවරණය කල් දමා ගත් බවටත් අනුර කුමාර දිසානායක මහතා චෝදනා කළා. ජවිපෙහි දැඩි විවේචනයට ලක්ව තිබෙන්නේ ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. යහපාලනය ගැන කතා කළාට වැඩක් නැති බවත්, ඡන්දය කල්දැමීම යහපාලනය නොවන බවත් ජවිපෙ නායකයා කීවා. මෙවැනි ප්‍රශ්න විසඳාගැනීමට තිබෙන්නේ මහ පාරේදී බවද ඒ සඳහා සියලු පක්ෂ හා සිවිල් සංවිධාන සමඟ එකතුවීමට සූදානම් බවද ඒ මහතා පැවැසුවා.

සිය සහෝදර ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතිබව මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කළා.ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ දී පැවැති සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ සමුළුවකට එක් වෙමිනි.රාජපක්ෂ මහතා කීවේ නව ව්‍යවස්ථාවට එරෙහි ව්‍යාපාරයක් ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාත්මක කරන නිසා ඔහු‍ව අත්අඩංගුවට ගැනීමට යන බවයි.

කෙසේ වෙතත් ‍ගෝඨාභය රාජපක්ෂ මහතාට නැගී ඇති බොහෝ චෝදනා අතර ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ ඉදිකිරීමක් සඳහා රජයේ මුදල් වැය කිරීමේ ප්‍රශ්නයක්ද තිබුණා. එය ගැන විමර්ශන නැවතී තිබුණේ ඒ සඳහා නිකුත් කළ නියෝගයේ අත්සන ගෝඨාභය රාජපක්ෂ මහතාගේමද යන්න තීරණය කිරීමේ ප්‍රමාදයක් නිසායි. දැන් එය තහවුරු කරගෙන තිබෙනවා. එම නිසා ආරංචි පැතිර යන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා අද හෙටම අත්අඩංගුවට ගැනීමට නියමිත බවටයි. 

 

නව අදහස දක්වන්න