පිස්සු ගෙදර හිතන මහත්තයා | දිනමිණ

පිස්සු ගෙදර හිතන මහත්තයා

‘පිස්සු ගෙදර’අහල පහළ අය ඒ ගෙදර නම් කෙරුවේ එහෙමයි.

පිස්සු ගෙදර, තුන්දෙනෙක් ජීවත් වෙනවා කියලා විතරයි අසල්වැසියො දැනගෙන හිටියේ. ඒ හැර කිසිදෙයක් ඔවුන් දන්නේ නෑ.

පිරිමියා මැදි වයසෙ, සැර පරුෂ තැනැත්තෙක් ගෑනු දෙන්නම වයසකයි.

මේ තුන්දෙනා අතරෙ තියෙන්නෙ මොන විදිහෙ සම්බන්ධයක්ද කියන එක අභිරහසක්.

පිරිමියා ගැන කෙනෙක් කිව්වෙ ගෑනු දෙන්නම බිරියන් කරගත්තු බහුබාරියෙක් කියලා. ඒත් තවත් කෙනෙක් අනුමාන කෙරුවෙ, එක් ගෑනියකුගෙන් උපන් අවජාතක පුතෙක් කියලා.

ඒත් යන්ත්‍ර මන්ත්‍ර මායා වැඩ ගැන බියක් තිබුණ වැඩිමහල් අය කල්පනා කෙරුවෙ වෙනත් විදිහකට. ඔවුන් අමුතු ඇවතුම් පැවතුම් ඇත්තන් දිහා බැලුවෙ වපර ඇහෙන්. මේ පිරිසට ගෑනු දෙන්නා මායාකාරී මන්ත්‍රකාරියන් වුණා.

මේ සිද්ධාන්ත ගැන හැම ඉරිදටම වගේ පිළිකනු ගානේ, වැට අයින්වල, ගරාවැටුණු ඉස්තෝප්පුවල නැවත නැවත රස කර කර වාද විවාද පැවතුණා. මේ කර්මාන්ත කම්කරුවන්ගේ ගෙවල් මැදින් දිග ඇදී ඇති පාර දිගේ එහා මෙහා යන හැමෝටමත් පිස්සු ගෙදර හා එහි වාසීන් ගැන කුමක් හෝ මතයක් තිබුණා.

කොහොම නමුත් හැමෝම පොදුවේ එක කාරණයක් පිළිගත්තා. ඒ තමයි ගරා වැටුණ අළු පාට මේ තට්ටු තුන ඇතුළේ කිසියම් රහස්‍යමය අවැඩක්; පාපකාරී කෙරුවාවක් සිද්ධ වෙනවා කියන එක. මොකද, ඉදිරි දොරේ සදා අගුල් දාලා තිබුණා. ජනෙල් වැහුණ තිර නිසා කිසිවකුට ඇතුළත විනිවිද දකින්න බැරිවුණා. ඊටත්, හොඳින් තීන්ත ගා නඩත්තු කරන ලද කටුකම්බි වැටෙන්, අසල්වැසි ගෙවල් හා පිස්සු ගෙදර අතර පරතරය වැඩි කළා.

මේ අද්භූත තුන්දෙනා අවුරුදු තිහකට අධික කාලයක් පිස්සු ගෙදර පහත මාලයේ ජීවත්වෙලා තියෙනවා. ඒත් ඇතුළෙ ක්‍රියාත්මක රහස කාටවත් එළිදරව් වෙලා නෑ.

කාලගුණය යහපත් ඇතැම් හවසක පාර දිගේ මේ මැදිවියේ පිරිමියා සක්මනේ යෙදෙනවා. උස; සාමාන්‍යයි. තරමක් මහතයි; ඒත් තරබාරු නැහැ. හිසකෙස් වැලි පාටයි; තුනීයි. ඔබ කවුරු වුණත් ඔහුට ආචාරයක් කෙරුව නම් ප්‍රසන්න සිනාවක් එක්ක සමාචාර කළා. ඒත්, වචනයක් හෝ හුවමාරු කරගන්නට නතර වෙන්නෙ නම් නැහැ.

ඔහු නිතර සක්මන් කෙරුවෙ බර කල්පනාවක් එක්ක. අත්දෙක පස්සට බැඳගෙන බිම බලාගෙන. මේ හින්දා ඔහුට කොලු කුරුට්ටන් දැමූ නම ‘හිතන මහත්තයා’.

වියපත් ගැහැනු දෙන්නගෙ විනීතකම අඩුයි. පාරෙදි අගරු විදිහට ඔළුව වනනවා විතරයි. මේ දෙන්නම රැකියාවක් කරලා තියෙනවා. එක්කෙනෙක් තඹ කර්මාන්ත ශාලාවෙ ලිපිකාරිනියක්; අනෙක් කෙනා ගාංචු ෆැක්ටරියෙ පයින් පාගන මැෂිමක් ක්‍රියාකරවන්නියක්.

පෙනුණු විදිහට නම් හිතන මහත්තයට රස්සාවක් නෑ. ඒත් මාසෙකට වරක් දෙවරක්, මිටියකින් තහඩුවකට තලන සද්දයක් අහළ පහළ අයට ඇහිලා තියෙනවා. ඒ හඬ ඇහෙන්නේ; නිවසට යාබද පුංචි ගරාජයෙන්. මේ ගරාජය හදපු තහඩු මළකඩ කාලා. ඒත් පිටස්තරයකුට කිසිම විදිහකින් ඇතුළත දකින්න බෑ.

බොහෝවිට යකඩ තලන සද්දෙ ඇහුණ දවස්වලට හිතන මහත්තයා ගරාජයෙන් එළියට එන්නෙ ඩයිම්ලර් වර්ගයේ ඔහුගෙ ආදරණීය පුංචි කාර් එකත් එක්ක. ඒක හරිම පිරිසිදුයි. ඉටියෙන් ඔප කරලා; දිලිසෙනවා.

හරිම පරෙස්සමෙන් ගරාජය වහලා, දොර ලොක් කරනවා. කිසිම හදීසියක් නැතිව කාර් එක මිදුල හරහා පොදු පාරට හරවලා නොපෙනී යනවා.

හවස් වනතුරු, එහෙම නැත්නම් දෙගොඩහරිය වෙනතුරු හිතන මහත්තයා ආපසු එන්නෙ නෑ. කොහෙද යන්නෙ? මොනවද කරන්නේ? අහළ පහළ අයට ප්‍රශ්න පිට ප්‍රශ්න!

පිස්සු ගෙදර ඉහළ මහල් දෙක කාලයෙන් කාලයට කුලියට දෙනවා. තේරීම තමයි, ළමයි නැති පවුල්! ඒත් අලුතින් එන්නන් වැඩි කලක් ගෙවෙන්න කලින් ආපහු යන්නෙ කුලිය ඉහළ නිසා නෙවෙයි.

‘හේතුව මොකක්ද කියලා මට තේරෙන්නේ නෑ.’

කුලියට ඉඳල කෙටි කලකින් බඩු අස්කරගෙන යන එක් තැනැත්තියක් අසල් වැසියන්ට කිව්වා. ඇයත් සැමියත් දෙවන තට්ටුව කුලියට අරගෙනයි හිටියේ.

‘මහ රෑටත් ඒ තුන්දෙනා පහළ තට්ටුවෙ තාලෙකට ඇවිදිනවා. නැත්නම් පියානෝවෙන් භයානක සංගීතයක් වාදනය කරනවා. සමහර දවසකට හිතන මහත්තයා ගැරේජ් එකට ගිහිල්ලා තහඩුවක් තලනවා.... තලනවා.. ඉවරයක් නෑ. ඒත් එයා හදන දෙයක් නම් පේන්න නෑ. එළියට එන්නෙ හිස් අතින්.

පුදුමයෙන් ඇවිස්සුණු අහළ පහළ උදවිය ළමයි දාලා ඔත්තු බලන්න උනන්දු වුණා.

එක ඔත්තු කතාවක් මෙහෙමයි: සාතන් නමදින පුංචි පල්ලියක් විදිහටයි, විසිත්ත කාමරය පිළියෙළ කරලා තියෙන්නේ. කළු යක්ෂයට පූජාව කැප කරන හින්ද මුළු කාමරේම කළුම කළුවෙන්; පාපිසි, තිර රෙදි, ඇතිරිලි, පහන් රඳවන, පුටු, අල්තාරය, දොර, ජනෙල් ඔක්කොම කළුයි.

මේ කළු කතාවෙන් පස්සෙ පුංචි කෙල්ලන් දෙන්නෙක් ඔත්තු බලන්න යැව්වා. දෙන්නා ජනෙල් තුළින් ඇස් යවන්න ඉඩක් හෙව්වා. එක් යක්ෂ ගෑනියක් පැන්නෙ නැතැයි; ඉස්සරහ දොර පැත්තෙ ඉඳලා! අතේ තිබ්බ මොකකින්දෝ තරවටු කරලා! කෙල්ල කියන විදිහට ඒක මන්ත්‍රකාරියන්ගේ මායා පොල්ලක්!

මේ සිද්ධිය වූ දවසෙම රාත්‍රියේ එක කෙල්ලකට කම්මුල්ගාය හැදුණා. අනිත් කෙල්ල සතියකට පස්සෙ හිමගොඩේ ලිස්සලා දකුණු අත කැඩුණා. මේ අකරතැබ්බයෙන් පස්සෙ කිසිම ළමයෙක් පිස්සු ගෙදර වැට පනින්න බය වුණා.

ඒත්, එක දවසක් සෙල්ලම් කර කර හිටපු කොළු කුරුට්ටන් දෙන්නකුගේ අතින් තහනම් වත්තට ටෙනිස් බෝලය විසිවුණා. ඒක රෝල් වුණේ හිතන මහත්තයාගෙ ගැරේජ් එක අයිනට. කුරුට්ටන් දෙන්න බියෙන් සැකෙන් බඩ ගාගෙන ඒ දිහාට ඇදුණා. ඕපාදූපවලට බර වැඩි කොල්ලා ගැරේජ් තහඩුවක පුංචි සිදුරකින් ඇහැක් තියලා බැලුව විතරයි; ඇතුළෙ හිටපු හිතන මහත්තයා ගැස්සිලා හිටගත්තා. රත්තරන් කණ්ණාඩි රවුම් දෙක ඇතුළෙ තිබුණ එයාගේ ලා නිල් පාට ඇස් දෙක රතු පාටට දිලිසුණා.

“කොල්ලනේ තොපි මොකද හොර ගල් අහුලන්නේ?“ හිතන මහත්තයා හිතන්නෙම නැතුව ගෝරනාඩුවක් කළා.

‘ඔත්තු බලනව. ඈ? තොපි ඔත්තු බලනවා?

කුරුට්ටො දෙන්නා කවදාවත් නැති වේගයකින් දුවන්න ගත්තා.‍

‘පුංචි ඔත්තුකාරයො ... සර්ප පැටව්’

කොල්ලන් පස්සෙන් පන්නන ගමන් හිතන මහත්තයා බෙරිහන් දුන්නා.

‘ආයෙත් ඔත්තු බලන්න ඇවිත් අහුවුණොත් එදාට තොපිට හුඟක් කරදර වෙන්න වෙයි! මතක තියා ගනිල්ලා හැමෝටම කරදර වෙයි.! ඔව් හැමෝටම.

 

***

නිව්යෝර්ක් නගරයේ මගේ කාර්යාල පුටුවේ මම වාඩිවී සිටියෙමි. ඒ 1956 වර්ෂයේ අග භාගයේ සීත සෘතුවේ එක් දිනකදීය. මා ඉදිරි අසුනේ වාඩිව සිටියේ ඉන්ස්පෙක්ටර් හාවඩ් ඊ ෆිනීය. ඔහු නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ පර්යේෂණාගාරයේ අධ්‍යක්ෂකවරයාය.

ඉන්ස්පෙට්කර් ෆිනී නොඋස්, තරබාරු දැඩි මිනිසෙකි. වෘත්තීය ජයග්‍රහණ රාශියක් අත්පත් කරගත්තද ඉතා සුළු වචන ප්‍රමාණයක් පාවිච්චි කරන නිලධාරියෙකි. මගෙන් වචනයක් පිටවන තුරු ඔහු මා දෙස බලා සිටියේය. මා දෑස් දල්වා සිටියේ ඔහු විසින් මගේ මේසය මතට දැමූ ලිපිගොනුවේ ඡායාරූප හා ලිපි දෙසය.

උමතු බෝම්බයා ලෙස නම් කරන ලද භයානක අබිරහස් අපරාධකරු අනාවරණය කරගැනීමට ඉන්ස්පෙක්ටර් ෆීනී සතුව ඇති එකම හෝඩුවාව වන්නේ මේ ඡායාරූප හා ලිපි එකතුව පමණී.

1940 සිට අවුරුදු දාසයක් පුරා උමතු බෝම්බයා විසින් නිවසේ සාදන ලද බෝම්බ, මහජනයා රොද ‍බඳින නිව්යෝර්ක් නගරය වටා වැදගත් ස්ථානවල පුපුරවමින් සිටී. ආරම්භයේදී මේ බෝම්බ කුඩා වූ බැවින්, නගරය ඒවා දෙස හෙළුවේ නොසැලකිලිමත් බැල්මකි. නමුත් උමතු බෝම්බයා තම නව නිෂ්පාදනවල විශාලත්වය හා බලය ක්‍රමානුකූලව ඉහළ නංවමින් පැමිණ මේ මොහොත වනවිට නගරය බියෙන් වෙලා හමාරය.

ඔහු සිය අමුතු කාර්යභාරයේදී අඩුම තරමින් බෝම්බ තිහක් පමණ නිපදවා තිබේ. ඒවායින් ඇතැම් ඒවා පුපුරාගියේ නැත. රහස් පොලිසිය විසින් මේවා තියුණු විභාගයකට ලක් කළ අතර ඡායාරූපද ගන්නා ලදී. ඇතැම් අවස්ථාවලදී උමතු බෝම්බයා විසින් ලියා එවන ලද ලිපි පොලිසියට පුවත්පත්වලට හා වෙනත් අය වෙත ලැබී තිබේ. මේ සියල්ල රහස් පොලිසිය සතුව ඇත. ඉතිරිව ඇත්තේ අභිරහස සොයා ගැනීමය.

මාගේ කාර්යාලයෙන් පිටත, නිව්යෝර්කය යෝධ ව්‍යාපාර ලුහුබඳිමින් සිටියේය. පුටුවෙන් නැඟිට ජනේලය වෙත ගොස් තට්ටු දාහතකින් පහළ ඇති නගරය වෙත දෑස් යොමු කළෙමි. සියලු මංමාවත් කාර් සහ ලොරිවලින්ද, පදික ‍වේදිකා පදිකයින්ගෙන්ද පිරී ගොස් ඇත. මිලියන ගණනක් මහජනයා නිව්යෝර්ක් නගරයේ ජීවත්වන අතර තවත් මිලියන ගණනක් දිනපතා පැමිණ පිටවී යති. පහත සිටින මොවුන් අතරින් කවරෙක් හෝ උමතු බෝම්බයා විය හැක.

කාර් එකක් අසල මිනිසෙක් සිටගෙන සිටියේය. තවත් මිනිසෙක් දොරකඩක විවේක සුවයෙන් සිටියේය. තවත් මිනිසෙක් මාවතක් දිගේ සක්මන් කරන අතර අවට ඇති ගොඩනැගිලි දෙස උවමනාවෙන් බැලුවේය. මේ හැමකෙනෙක්ම මංමාවත්වල රැඳී සිටියේ කුමන හෝ හේතුවක් ඇතිවය. සමහරවිට පිළිගත හැකි හෝ නොහැකි හේතුවක් නිසා විය හැක. සමහරවිට බෝම්බයක් තැබීමට විය හැක. උමතු බෝම්බයා ගැන දන්නේ කරුණු ස්වල්පයක් බැවින් නගරයේ රැඳී සිටින ඕනෑම කෙනෙක් සැකකරුවකු ලෙසින් අහඹුව අත්අඩංගුවට ගැනීමට බොහෝදුරට ඉඩ තිබේ. අවුල් හැඟීම්වලින් පිරුණු මම නැවත මේසය වෙත ආවෙමි.

මෙකල මා නිව්යෝර්ක් නගරයේ පෞද්ගලික මනෝ චිකිත්සක කටයුතුවල යෙදුණ අතරම මානසික සුවතාවය පිළිබඳ රජයේ සහකාර කොමසාරිස්වරයා ලෙසද කටයුතු කළෙමි. රහස් පොලිසිය විසින් ඔවුන්ගේ කාරණයන් නිරාකරණය කර ගැනීම සඳහා මගෙන් උපදෙස් පැතූ පළමු වතාව මෙයයි.

මේ අවස්ථාවට මගපෑදුණේ මා මිත්‍ර කැප්ටන් ජෝන් ක්‍රෝනින් නිසාය. ඔහු අතුරුදන් පුද්ගලයින් සම්බන්ධ නිව්යෝර්ක් කාර්යාංශයේ ප්‍රධානියාය. කැප්ටන් ක්‍රෝනින් සහ මම පොලිස් ප්‍රධානීන්ගේ සම්මේලනයේ කථිකයින් ලෙස සහභාගි වුණෙමු. අපි එකිනෙකා හොඳින් දැන සිටියෙමු. මගේ විෂය සහ උනන්දුතා ගැන මෙන්ම අපරාධ වරදකරුවන් සමඟ මගේ පළපුරුද්ද ගැනද හොඳ දැනුවත්භාවයක් ඔහුට තිබුණි. එබැවින් ඉන්ස්පෙක්ටර් ෆිනීට මා ගැන ඔහු සිහිපත් කොට ඇත.

අවුරුදු දාසයක් ගෙවී ගොස් ඇතත් උමතු බෝම්බයා නීතියේ රැහැනින් බැඳ ගැනීමට ඉන්ස්පෙක්ටර් ෆිනී අසමත්ව සිටියේය. ‍මේ නිසා ඔහුට එක් අතකින් උසස් නිලධාරින්ගෙන් හානිකර බලපෑම් ඇතිවෙමින් පැවති අතර තමා තුළින්ම කළකිරීමක්ද පැන නැගී තිබුණි. මේ අනුව උමතු බෝම්බයා කොටුකර ගැනීමට තමාට ලැබෙන ඕනෑම පිදුරු ගසක එල්ලීමට ඉන්ස්පෙක්ටර් ෆිනී සූදානම්ව සිටියේය. කෙසේ හෝ ඔහු මගේ ඇ‍ඟේ එල්ලුනේය.

ඉන්ස්පෙක්ටර් ෆිනී දැන් මගේ මේසය ඉදිරිපිට වාඩිවී සිටින්නේ ඔහු කැටුව පැමිණ තවත් රහස් පොලිස් නිලධාරින් දෙදෙනකුද සමඟය. ඔහුගේ සුපරික්ෂාකාරී, කඩිසර හා තීරණාත්මක තීන්දු ගැනීමේ ගතිය, මා හිතට කාවැදී ගියේය. තමන් අදහස් කරන දේ, වචන නාස්ති නොකර ඉදිරිපත් කරන ඔහුගේ භාෂා විලාසයද මා හිත් ගත්තේය. මීට පෙර කිසිදිනක මට ඔහු මුණගැසී නැත. නමුත් ඉන්ස්පෙක්ටර් ෆිනී කිසියම් විශ්වවිද්‍යාලයකින් අධිකරණ මනෝචිකිත්සාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් දිනා ඇති බව මෙන්ම විද්‍යාඥයින්ගේ හා පරිපාලකයින්ගේද පුළුල් ගෞරවයට ඔහු පාත්‍රවී සිටි බවද දැන සිටියෙමි. (පසු කාලයේදී ඔහු පොලිස් සේවාවේ හා කොමිසන් සභාවල ඉහළ තනතුරු දැරීය)

ඉන්ස්පෙක්ටර් ෆිනී පහසුවෙන් අවනත නොවන, දක්ෂ දැඩි මිනිසෙකි. එම නිසා මනෝ වි‍ශ්ලේෂණවාදී දෙබිඩි කතාවලින් ඔහු රැවටීමට මා උත්සාහ නොගන්නා බව මම දැන සිටියෙමි. ඔහුට අවශ්‍ය වන්නේ සෘජු පිළිතුරු පමණි.

හිත එකලස් කරගත් මම ඉන්ස්පෙක්ටර් ෆිනී රැගෙන ආ ලිපි තීක්ෂණව කියවා බැලුවෙමි. ඒවා මට ඉතාමත් සරල කාරණයක් පැහැදිලි කර දුන්නේය. එනම්, නිව්යෝර්ක් නගරය සමස්තයක් ලෙස සලකා බැලුවහොත් එහි තුළ හෝ මායිමේ එක්තරා මිනිසෙක් සිටින්නේය. ඔහු උමතු රෝගියෙකි.

ඔහු විසින් 1940 නොවැම්බර් මස 16 දින ඉතා හොඳින් නිමවූ සිය පළමු බෝම්බය, මෑන්හැට්න්හි බටහිර හැටහතර වැනි වීදියේ පිහිටි කොන්සොලිඩේටඩ් එඩිසන් සමාගමේ ගොඩනැගිල්ලක ජනෙල් පඩියක් මත මෙවලම් පෙට්ටියක සඟවා තබා තිබිණි. තඹ බට කැබැල්ලක් තුළට වෙඩිබෙහෙත් පුරවා සැකසූ මෙය බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ පොලිස් ඒකකය විසින් පරීක්ෂා කිරීමේදී හෙළිවූයේ එකී වෙඩිබෙහෙත් රයිෆල් උණ්ඩ තුළින් රැගෙන ඇති බවයි. ඇඟිලි සලකුණු කිසිවක් සොයා ගැනීමට නොහැකි විය. බෝම්බය ඔතා තිබූ සුදු කඩදාසියේ සටහනක් ලියා තිබුණි.

‘කොන් - එඩිසන් කපටියනි; මේ තොපටයි’

මේ සටහන ගැන පොලිසියේ කුතුහලය ඇවිස්සෙන්නට විය. බෝම්බය පිපුරුණා නම්, සටහන සහිත කඩදාසිය විනාශ වෙයි. එය විනාශ වේ යැයි බෝම්බකරු අදහස් කළාද? ඔහු මෙය ලියනු ලැබුවේ තම හිතේ තෙරපෙන චිත්තවේගයක් පිටකිරීමෙන් සහනයක් ලැබීමට පමණක්ද? කොන් එඩිසන් සමාගම මේ සටහන කිසිදා නොකිය වූ බව ඔහු දැන ගන්නේ කෙසේද? එසේ නොමැතිනම් ඔහු යථාර්ථයෙන් බොහෝ ඈත දුර සිටින්නෙක්ද? එලෙසද නොවන්නේ නම්, ඔහු හිතාමතාම බෝම්බ පුස්සක් බවට පත්කිරීමට කටයුතු කළේද? එසේත් නැත්නම් ඔහු මෙය සිදුකළේ කෙන් - එඩිසන් සමාගම හුදෙක් බියගැන්වීමටද?

කොන්සොලිඩෙටට් එඩිසන් සමාගම යනු නිව්යෝර්ක් නගරයට විදුලි බලය සපයන්නාය. කොන් එඩ් සමාගම සේවකයින් දහස් ගණනකින් හා පාරිභෝගිකයින් දස ලක්ෂ ගණනින් සමන්විත දැවැන්ත ඒකාබද්ධ සංවිධානයකි. දිනපතා ව්‍යාපාර කටයුතු මෙහෙයවීමේදී ඕනෑම සුවිසල් සමාගමකට මෙන්, නිරන්තරයෙන්ම මිනිසුන් සමග හිත් පළුදුවල වාද විවාදවල පැටලීමට කොන්. එඩ් සමාගමටද සිදුවේ. රැකියා පිළිබඳ සේවකයින් සමගත්, බිල් පිළිබඳව පාරිභෝගිකයින් සමගත්ය.

පොලිසිය අනුමාන කර තිබුණේ බෝම්බකරු සමාගම හා සිදුවූ කිසියම් අමනාපයක්, කෝන්තරයක් දක්වා දුර ගොස් ඇති බවයි. ඔහුගේ කෝපය පිටාර ගැලීමේ හේතුව සමහරවිට හේතුසහගත වූවා විය හැක. ඇතැම්විටෙක සිතින් මවාගත් අසාධාරණයක් වීමට බැරිකමක්ද නැත. නමුත් අනුමාන කිරීමට බැරි බරපතළ කාරණය වූයේ මේ පුද්ගලයා කවරෙක් දැයි ඉව ඇල්ලීමට පවා හෝඩුවාවක් නැතිවීමයි.

සමාගම් සේවකයින්ගේ පුද්ගලික ලිපිගොනු පරීක්ෂා කිරීමට ගත් උත්සාහයේදී මෑතකදී සේවයෙන් පහකළ, වැටුප් වැඩිවීම් ප්‍රතික්ෂේප කළ හෝ වෙනත් අන්දමකින් සේවකයින් කෝප වූ කාරණා සම්බන්ධ ලිපි ගොනු සිය ගණනක් පොලිසියේ අවධානයට යොමුවිය. එලෙසම බිල්පත්වල ගණන් හිලව් ගැන, විදුලිය බිඳවැටීම් හා වෙනත් පාරිභෝගික ආරවුල් පිළිබඳ ලිපිගොනුද සිය ගණනින් ඇති බව පොලිසියට පෙනී යන්නට විය.

හෙට - පොලිසියේ බලාපොරොත්තුව කණපිට පෙරළෙයි

සිංහල කළේ

සමුනි සමරකෝන්


නව අදහස දක්වන්න