සෝල් නුවර සිදුවීම් පෙළක්! | දිනමිණ

සෝල් නුවර සිදුවීම් පෙළක්!

අන්තර්ජාතික සබඳතා යනු රටක ආර්ථික සංවර්ධනයට හා දේශපාලන ස්ථාවරත්වයට බලපාන ප්‍රධාන සාධකයකි. අමෙරිකාව, ජපානය, වැනි රටවල් අන්තර්ජාතික සබඳතා පවත්වා ගැනීම සඳහා වාර්ෂිකව විශාල මුදලක් වියදම් කරති. අමෙරිකාව මේ සම්බන්ධයෙන් කොතෙක් දුරට අවධානය යොමුකර තිබේදයත්; අන්තර්ජාතික කටයුතු සඳහා කලාප වශයෙන් කාර්ය මණ්ඩල පවත්වාගෙන යයි. දකුණු ආසියාවේ දේශපාලන, ආර්ථික හා සංවර්ධන කටයුතු මෙහෙයැවීම සඳහා වෙනම කාර්ය මණ්ඩලයක් සිටිති. ලෝකයේ බලවත් රටවලට මිස දුප්පත් රටවලට මෙබඳු කටයුතු සිදු කළ නොහැකි ය. එහෙත් දුප්පත් රටවල් සිය ගෝලීය සබඳතා පුළුල් කර ගත යුතු ය.

ශ්‍රී ලංකාව අන්තර් ජාතික වශයෙන් කොන් වූ හා අපකීර්තියට ලක් වූ යුගයක් තිබිණි. ජිනීවා මානව හිමිකම් කොමිසම, අමෙරිකාව, යු‍රෝපා සංගමය පමණක් නොව; ඉන්දියාව පවා එදා අපට එරෙහි විය. එදා අප සමඟ සිටියේ ස්වාසිලන්තය වැනි රටවල් ය. ස්වාසිලන්තය යනු අප්‍රිකානු මහාද්වීපයේ දුප්පත් රාජ්‍යයෙකි. ඒඩ්ස් රෝගය අතින් ලෝකයේ තුන්වන හෝ හතරවන ස්ථානය හිමිවන්නේ ඒ රටට ය. එබඳු රටවල් සමඟ ‍ගොඩනඟන ගනු දෙනුවලින් අපට කිසිදු වාසියක් අත්පත් වන්නේ නැත. ජාත්‍යන්තර සබඳතාවලට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ රටේ නායකයන්ගේ ස්වාභාවය යි. ඇතැම් පාලකයන්ගේ ස්වාභාවයට ජාත්‍යන්තර ප්‍රජාව කැමැති නැත.

ඉහත සඳහන් පූර්විකාව ලියා තබන්නේ අන්තර්ජාතික සබඳතාවල වැදගත් බව නැවත සිහිපත් කිරීම සඳහා ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දිනවල දකුණු කොරියාවේ සංචාරයක නිරත වෙයි. එහි දී ජනාධිපතිවරයාට හා දූත පිරිසට ලැබෙන ගෞරවය හා පිළිගැනීම සලකා බලන විට ශ්‍රී ලංකාවේ අපටද යම් අභිමානයක් ඇති වෙයි.දකුණු කොරියාව යනු වේගවත් ආර්ථිකයක් සහිත දියුණු රාජ්‍යයෙකි. දකුණු කොරියාවේ ගනුදෙනු ඇත්තේ; අමෙරිකාව, ජපානය හා ජර්මනිය වැනි බලවත් රටවල් සමඟ ය. මෝටර් රථ, විදුලි උපකරණ,වානේ, ඇඟලුම්, පාවහන් වැනි නිෂ්පාදන අතින් පෙරමුණ ගත් රටක් හැටියට දකුණු කොරියාව ප්‍රකටය.

දකුණු කොරියාව හා ශ්‍රී ලකාව අතර දේශපාලන සබඳතා වලට යම් ඉතිහාසයක් ඇතත්; එම සබඳතා වඩාත් හොඳින් වර්ධනය වී ඇත්තේ දැන් යැයි කියන්නට පුළුවන. මේ සඳහා කදිම නිදසුනක් ජනාධිපතිවරයාගේ සංචාරයෙන් ද උපුටා ගත හැකිය. මෛත්‍රීපාල සිරි‍සේන මහතා ‍සෝල් නුවර ප්‍රකට බෞද්ධ සිද්ධස්ථානයක් වූ ජොග්සේයා පන්සලට ගියේ ය. එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතාට පෙර එම පන්සල වෙත ළඟා වූ දකුණු කොරියා ජනාධිපති මුන් ජෙයින් මහතා ශ්‍රී ලංකා නායකයා පිළිගන්නට බලා සිටියේ ය. මෙය ඓතිහාසික අවස්ථාවක් ලෙස සැලැකිය හැකි ය. මේ පිළිගැනීමෙන් පෙනී යන්නේ දකුණු කොරියාව ශ්‍රී ලංකාවට දක්වන ගෞරවය යි. අපේ ජනාධිපතිවරයාට දක්වන සැලකිල්ලයි.

ජොග්සේයා සිද්ධස්ථානයේ විහාරාධිපති හිමියන් මෙහි දී අපූරු දේශනයක් ද සිදු කර තිබේ. ඉන් කියැවෙන්නේ දකුණු කොරියා ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අතර පවත්නා සමානකම් ය. මුන් ජෙයින් මහතා කොරියාවේ ග්‍රාමීය ප්‍රදේශයකදී උපත ලද සාමාන්‍ය පවුලක කෙනෙකි. මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක අතෙකින් ගැමි‍යෙකි. තව අතෙකින් ‍ගොවියෙකි. මුන්ජෙයින් මහතා සාමයට ළැදි සරල පැවැතුම් ඇති නායකයෙකි. මෛත්‍රීපාල සිරිසේන මහතා ද එබඳු ය. හිමියන්ගේ ‍දේශනයෙන් කියැවුණු වැදගත් ම ‍දේ වන්නේ දෙදෙනා ම පොදු ජනතාව වෙනුවෙන් කැපවී සේවයක නිරත වන බව කීම ය. අප නායකයන්ගෙන් අපේක්ෂා කරන්නේ ද ඒ ටිකම ය. එනම්; පොදු ජනතාව උදෙසා වැඩ කිරීම ය.

දකුණු කොරියාව ලෝකයේ දියුණු රාජ්‍යයක් බවට පත්වූයේ කෙටි කාලයක් තුළ ය. එම කාලය දසක තුනක් ‍හෙවත් වසර තිහක් පමණයැයි කියන්නට පුළුවන. යුද්ධ හා ආර්ථික බිඳවැටීම් ගණනාවකට පසු කොරියාව ආර්ථික සංවර්ධනය ළඟා කර ගත්තේ නායකයන්ගේ දූරදර්ශී වැඩසටහන් නිසා ය. කොරියාව ‍ගොඩනඟාගෙන ඇති අන්තර්ජාතික සබඳතා මේ සඳහා කෙලින් ම බලපා ඇතැ’යි කිව හැකි ය . ආසියානු, යුරෝපා හා අප්‍රිකානු වෙළෙඳ පොළ සමඟ ද අඛණ්ඩ සබඳතා දකුණු කොරියාවට තිබේ. දකුණු කොරියාවේ සංවර්ධනයට බලපාන තවත් වැදගත් සාධකයක් වන්නේ බහු සංස්කෘතික සමාජයක් ‍කෙරෙහි තබා ඇති විශ්වාසය යි. ‍මේ අනුව විවිධ ජාතිකයෝ කොරියාවේ පදිංචි වෙති. එය දියුණුවට මාර්ගයකි. සාමයට ද මාර්ගයකි.

ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර නිල වශයෙන් වූ දේශපාලනික හා ආර්ථික සබඳතාවලට දසක හතරක් පිරී ඇත. මෛත්‍රීපාල සිරිසේන මහතා කොරියාවේ නිල සංචාරයක නිරත වන්නේ එය සැමරීමක් වශයෙන් දකුණු කොරියා ජනාධිපතිවරයා විසින් කරනු ලබන නිල ආරා ධනයක් මත ය. මුන්ජෙයින් මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට නිල සාකච්ඡා සඳහා ‘බ්ලූ හවුස්’ වෙත ආරාධනාකර තිබේ. ‘බ්ලූ හවුස්’ යනු දකුණු කොරියන් ජනාධිපතිවරයාගේ ගෞරවනීය නිල නිවෙස වන්නේ ය. එහිදී වැදගත් සාකච්ඡා කිහිපයක් සිදු කිරීමට ද වැදගත් ගිවිසුම් කිහිපයකට අස්සන් තැබීමට ද නියමිතය. එයින් අපේ පොදු ජනතාවට වඩාත් වැදගත් වන්නේ කොරියන් රැකියා පිළිබඳ ගිවිසුමය . රැකියා අවසර දීම් පද්ධති පුළුල් කර ශ්‍රී ලංකාවට වැඩි වාසියක් ලබාදීමට කටයුතු සිදුවන බව තානාපති ආරංචිමාර්ග සඳහන් කර තිබේ.

මේ සංචාරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොරියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් ද හමු වී ඇත. එහිදී කළ කතාවක දී ජනාධිපතිවරයා කියා ඇත්තේ රට දෙකඩ කිරීමට හෝ රට පෙඩරල් කිරීමට හෝ රටට ද්‍රෝහියකු වීමට හෝ තමන් ක්‍රියා නොකරන බව ය. ජනාධිපතිවරයාගේ උත්සාහය වන්නේ ජාතීන් අතර සාමය හා සංහිඳියාව ගොඩනඟමින් රටේ ආර්ථික අභිවෘද්ධියක් ඇති කිරීම ය. ඒ සඳහා නොයෙක් කැපවීම් කළ යුතුව තිබේ. ඇතැම් විට මේ කැපවීම් ප්‍රතිවිරුද්ධ දේශපාලකයන් දකින්නේ වෙනත් ආකාරයකට ය. දේශපාලන ඥානයක් නැති ජනතාව දකින්නේ ද වෙනත් ආකාරයකට ය.

කුමන අර්ථයකින් ගත්ත ද ජනාධිපතිවරයාගේ දකුණු කොරියා නිල සංචාරය අපට වැදගත් ය. එහි ප්‍රතිඵල උකහාගන්න ට අ‍පේ ආණ්ඩුවට හැකියාවක් තිබිය යුතු ය.


නව අදහස දක්වන්න

Or log in with...