රටට ගොඩ යා හැකි ආර්ථික ඉණිමග | දිනමිණ

රටට ගොඩ යා හැකි ආර්ථික ඉණිමග

සියලුම ජාතික රාජ්‍යයන් තුළ ප්‍රාග්ධනය ගොඩනැගීම හා පෝෂණය වීම සිදු වූයේ නගරය විසින් ගම යටපත් කරගන්නා වූ තත්ත්වයක් තුළය. ගම බරපතළ ලෙස සූරාකමින් ග්‍රාමීය ආර්ථිකය විනාශ කර දමමින් ආර්ථික හා දේශපාලනික බලය නගරය තුළ කේන්ද්‍රගතවීමක් සිදුකර ඇත. මෙමඟින් ගම නගරයෙන් යැපෙන වහල්භාවයකට පත් වී ඇත. වැඩවසම් ආර්ථිකය ආරම්භයේ සිට අද දක්වාම අඛණ්ඩව මේ තත්ත්වය සිදුවුවත් ප්‍රාග්ධනයට අවශ්‍ය පරිදි ගම සම්පූර්ණයෙන් යටපත් කර ගැනීමට හැකි වූයේ නැත. එසේ කළ නොහැකි වූයේ සුළු ඉඩම් හිමි ගොවීන්, ධීවරයින් ඇතුළු සුළු නිෂ්පාදකයින් ඔවුන්ගේම නිෂ්පාදනවලින් ඉවත් කිරීම පහසු කාර්යයක් නොවීම නිසාය.

ගෝලීය ප්‍රාග්ධනය ලොව පුරාම සියලු වැටකඩොලු බිඳගෙන වෙළෙඳ පොළ ව්‍යාප්ත කරමින් සිටී. ඒ සඳහා සියලු ආර්ථිකයන් බරපතළ ලිහිල්කරණයකට ගෙන යෑමත්, සියලු නීති රැහැන් බිඳ දැමීමත්, සෑම ජාතික රාජ්‍ය දේපොළක් හා ස්වාභාවික සම්පත් පුද්ගලීකරණය කර විකුණා දැමීම මඟින් වෙළෙඳපොළ පුළුල් කිරීමට සැලැස්මක් අරඹා ඇත. මෙම වෙළෙඳ පොළ සැලැස්ම තුළ මුළු ගැමි ගොවි ක්ෂේත්‍රයම හකුලා දැමීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතී. ඉඩම්, ජලය, බීජ, මහ මුහුද ඇතුළු සියලු ස්වභාවික සම්පත් විකුණා දැමීම සඳහා උත්සාහයක යෙදී සිටී.

ලොව පුරා සංවර්ධන සැලැස්ම වී ඇත්තේ මුළු ග්‍රාමීය ලෝකයම හකුළා දමමින් අති විශාල නගර ගොඩනැගීමේ නාගරීකරණ ක්‍රියාවලියක් ඇඹීමයි. ලංකාව තුළ මෙම සැලැස්ම අකුරටම ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වී ඇත. විවිධ ව්‍යාපෘති ගණනාවක් මේ වන විට ඉදිරිපත් කොට හමාරය. මුහුද ගොඩකර මූල්‍ය නගර බිහි කිරීම, බස්නාහිර පළාත් මෙගා පොලිස් සංවර්ධන සැළසුම්, ලංකාවම ප්‍රධාන කලාප පහකට (05) වෙන්කර සකස් කර ඇති අධි නාගරික සංවර්ධන සැලසුම් උදාහරණ ලෙස දැක්විය හැකිය.

මේ මත ගොඩනගමින් ඇති ආර්ථික ක්‍රියාවලිය ගෝලීය මට්ටමින් බරපතළ අර්බුදයකට ගමන් කරමින් ඇත. මුදල් වෙළෙඳ පොළ බරපකළ අර්බුදයකට ගමන් කරමින් තිබේ. ලොව පුරාම නිෂ්පාදකයින් සියලු බලය තම අතට ගැනීමට කාල-වේලාව එළඹී ඇත. සාමූහිකත්වය හා ජාත්‍යන්තරවාදය තුළම මුළු ලොව සියලු ව්‍යුහයන් නැවත සකස් කළ යුතුව තිබේ. ඒ සඳහා යන ගමන තුළ ලංකාවේ සිදු වෙමින් ඇත්තේ කුමක්ද? සිදුවීමට නියමිත කුමක්ද? යන්න තේරුම් ගැනීම ඉතා වැදගත්ය.

සුළු ගොවීන් ධීවරයින් හා රටේ

ආහාර සුරක්ෂිතභාවය

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 40% ක් ගොවිතැන හා ධීවර කර්මාන්තය මත තම ජීවිකාව ගොඩනගා ගත්තෝ වෙති. භූමිය, වෙරළ තීරය, මහ මුහුද හා අනෙකුත් පොදු සම්පත් ඔවුන්ගේ ජීවිකාවන්ගේ පදනම වේ. මේ සම්පත් යොදා ගනිමින් පරම්පරා ගණනාවක් පුරා ඔවුන් තමන්ගේත් තම ප්‍රජාවන්ගේත් සමස්ත රටේත් ආහාර සුරක්ෂිතභාවය ඇති කිරීමටත් ආර්ථික සංවර්ධනයටත් තීරණාත්මක කාර්යයක් ඉටු කළහ.

ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ත ලෝකයේම ආහාර නිෂ්පාදනයේ මූලික කාර්යයක් සිදු කරනුයේ සුළු පරිමාණ ආහාර නිෂ්පාදකයින් විසිනි. දියුණු වන රටවල ජනගහණයෙන් බිලියන දෙකකට ආසන්න සංඛ්‍යාවකගේ ජීවිකාව මිලියන 500 ක් පමණ වූ සුළු පරිමාණ ගොවිපළ මත ගොඩනැගී ඇත. ලෝකයේ දුප්පත්කම අඩු කිරීමටත් ආහාර සුරක්ෂිතභාවය ඇති කරලීමටත් ග්‍රාමිය සුළු පරිමාණ නිෂ්පාදකයින් මත පදනම්වු තිරසාර ආහාර නිෂ්පාදන ක්‍රමවේදයක වටිනාකම 2015 දී එළි දැක්වුණු එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කයන් මඟින් ද හඳුනාගෙන ඇත.

දුප්පත්කම වැඩි කරවන සංවර්ධනය

ජාතික ආරක්ෂාවත්, සංවර්ධනයත් නාමයෙන් මෙම ග්‍රාමීය නිෂ්පාදකයින්ගේ ජීවිකාවන්ගේ පදනම වූ ඉඩම් හා අනෙකුත් ස්වාභාවික සම්පත් ඔවුන්ගෙන් උදුරා ගැනීමට එරෙහිව ගොඩනැගුණු විරෝධය පසුගිය රජයේ පරාජය සඳහා මූලික හේතුවක් විය. ජනතාවගේ මූලික අවශ්‍යතා සැපිරීම වෙනුවට සමාගම්වලට හා විදේශීය ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් සැපයීමේ සංවර්ධන පිළිවෙත හේතුවෙන් දුප්පතුන් කෙරෙහි එල්ල වන පීඩාවන් හා ආර්ථික විෂමතාවයන් දිනෙන් දින උග්‍රවෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ පොහොසත්ම 10% ට රටේ ජාතික ධනයෙන් 38% ක් හිමිය. 1991 දී ජාතික ධනයෙන් 8.9 ක් හිමිවූ දිළඳුම 10% ට මේ වනවිට හිමිව ඇත්තේ සියයට 7-8 අතර ප්‍රමාණයකි. 2015 ලෝක බැංකු වාර්තා අනුව රටේ ජනගහණයෙන් 40% කට අධික ප්‍රමාණයක් තවමත් දුප්පත්කම මැණීමේ ගෝලීය දර්ශකය වන දිනකට ඩොලර් දෙකකට අඩු ආදායමක් සහිතව ජීවත් වෙති.

නව ලිබරල්වාදී ආර්ථික

සැලැස්ම යනු කුමක්ද?

1977 දී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් නව ලිබරල්වාදී ආර්ථික සැලැස්මේ ප්‍රධානම ලක්ෂණය වන්නේ පෞද්ගලික සමාගම්වලට හා විදේශ ආයෝජකයින්ට රට තුළ ආයෝජනයට ඇති බාධාවන් ඉවත් කරලීම තුළින් ආර්ථිකය ඔවුනට විවෘත කරලීමයි. පෞද්ගලික අංශය ආර්ථිකයේ නියමුවා ලෙස සැලකෙන අතර රජයේ ආර්ථික මැදිහත්වීම හැකි තරම් සීමා කළ යුතුය. රාජ්‍ය ආයතන හා සේවාවන් පෞද්ගලිකකරණය කිරීම, කෘෂිකර්මාන්තය ඇතුළු දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීමට ඇති නීති ලිහිල් කරලීම, කම්කරු නීති හා පරිසර ආරක්ෂන නීති වැනි පෞද්ගලික ආයෝජකයන්ට පවතින බාධාවන් ඉවත් කරලීම, රටේ ස්වභාවික සම්පත් හා මානව ශ්‍රමය පහසුවෙන් ලබා ගැනීමට විදේශ ආයෝජකයන්ට ඉඩ සැලසීම හා ජනතාවට අවශ්‍ය සේවාවන් සැපයීමට යොදවන රජයේ වියදම් හැකිතාක් සීමා කිරීම නව ලිබරල්වාදයේ මූලික ලක්ෂණයි.

ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන මෙම ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැංවීම සඳහා දිගින් දිගටම රජයන්ට බලපෑම් කරමින් සිටිති. ඉන් සමහරක් මෙසේ සාරාංශ ගත කළ හැක.

වැඩි වන අය-වැය පරතරය පියවා ගැනීමට හා රාජ්‍ය ණය අඩු කර ගැනීම සඳහා රජයේ ආදායම් වැඩි කරලීම හා වියදම් අඩු කරලීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා බදු අයකර ගැනීම වැඩි කළ යුතුය. සෘජු ආදායම් බදු මෙන්ම අගය එකතු කිරීමේ බද්ධ වැනි වක්‍ර බදු ප්‍රතිශතයන් වැඩි කළ යුතුය.

රජයේ වියදම් අඩු කරලීම සඳහා රාජ්‍ය ආයතන හැකිතාක් පෞද්ගලීකරණය කළ යුතුය. අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු සේවාවන් සදහා මෙන්ම දේශීය කෘෂිකර්මාන්තය හා කර්මාන්ත නැංවීම සඳහා වෙන් කරන රජයේ මුදල් හා සහයෝගය අඩු කළ යුතුය.

විදේශීය ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ ඉඩම් ඇතුළු අනෙකුත් ස්වාභාවික සම්පත් ලබා ගැනීමේදී පවතින බාධාවන් ඉවත් කොට ඉඩම් වෙළෙඳ පොළ විවෘත කිරීම, දැනට ගොවීන්ට තමන්ගේ ඉඩම් විකිණීම සඳහා පවතින බාධා ඉවත් කොට විකිණිය හැකි ඉඩම් ඔප්පු ඔවුනට ලබා දීම, සුළු පරිමාණ ගොවීන් හා ධීවරයින් විසින් සිදු කරන ආහාර නිෂ්පාදනය ඵලදායකත්වයෙන් තොර බව පවසන ඔවුන් ඒ වෙනුවට අපනයනය මුල් කරගත් මහා පරිමාණ නිෂ්පාදනයන් සඳහා ඉඩම්, ජලය හා වෙරළ තීරය ඇතුළු සම්පත් ලබා දිය යුතු බවට යෝජනා කරයි.

සුළු පරිමාණ ආහාර නිෂ්පාදකයින් ආහාර නිෂ්පාදනයෙන් ඉවත් කළ යුතු අතර ඔවුනට මහා පරිමාණ වගාවන්හි, කර්මාන්තවල හෝ සංචාරක ක්ෂේත්‍රයේ රැකියා කළ හැක. ආයෝජකයින්ට අවශ්‍ය ශ්‍රමය පහසුවෙන් හා අඩු මිලට ලබා ගත හැකි වන පරිදි දැනට පවතින කම්කරු නීති ලිහිල් කළ යුතුය. විශේෂයෙන්ම කාන්තාවන් රාත්‍රී සේවයේ යොදා ගැනීමට ඇති නීතිමය බාධාවන් ඉවත් කළ යුතුය.

ආහාර සුරක්ෂිතතාවය මුල් කරගත් දේශීය ආහාර නිෂ්පාදනය වෙනුවට අපනයනය සඳහා වන මහා පරිමාණ කාර්මික කෘෂිකර්මාන්තයක් ගොඩනැගිය යුතුය. බීජ, ජලය, ඉඩම් හා වෙරළ තීරය ඇතුළු ඒ සඳහා අවශ්‍ය වන සම්පත් සමාගම්වලට ලබා ගැනීමට හැකි වන නීති හා ප්‍රතිපත්ති රාමූන් ගොඩ නැගිය යුතුය.

මේ දැනට ඉදිරිපත්වී ඇති යෝජනාවන් සමහරකි.

සිදුවීමට නියමිත කුමක්ද?

රජය දැනටමත් මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත. පසුගිය රජය සමයේ සකස් කරන ලද ජාතික භෞතික සැලැස්මේ අඩංගුවූ විදේශ ආයෝජකයින්ට අවශ්‍ය යටිතළ පහසුකම් ඉදිකිරීම වෙනසකින් තොරව සිදු­ෙවමින් පවතී. අත්හැර දැමීමට පොරොන්දු වූ වරාය නගරය නැවත ඉදිවන්නේ ඒ අනුවය. වෙරළ තීරයේ සංචාරක කර්මාන්තය සඳහා උදුරාගනු ලැබූ ජනතාවගේ ඉඩම් කැබිනට් තීන්දු උල්ලංඝණය කරමින් තවමත් රඳවාගෙන සිටින අතර නව සංචාරක සැළසුම් ඒ මත ඉදිවෙමින් තිබේ. උතුරේ ජනතාවගේ ඉඩම් බොහොමයක් තවමත් ආරක්ෂක හමුදා යටතේ පවතින අතර එම ඉඩම් වරාය, ගුවන් තොටුපොළ හා මහා නගර පුළුල් කිරීමේ සැළසුම්වල කොටස් බවට පත්ව ඇත. වතුකරයේ ජනතාවට ඉඩම් හා වැඩි වැටුප් ලබා දීමේ පොරොන්දු තවමත් පොරොන්දු පමණක්ම බවට පත්ව තිබෙන අතර ඒ වෙනුවට වතු සමාගම්වල උවමනාවන් ඉටු කිරීම ප්‍රමුඛ වී තිබේ.

මේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා අවශ්‍ය නීති රාමුව ද කඩිනමින් සැකසෙමින් තිබේ. ජනතාවගේ බදු බර වැඩි කරවන අගය එකතු කිරීමේ (වැට්) බදු පනත ඉක්මණින් පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇති අතර විදේශිකයන්ට ඉඩම් පවරා දීමේදී අය කරනු ලැබූ බදු ඉවත් කරමින් ඉඩම් සන්තකය පැවරීම සීමා කිරීමේ පනත සංශෝධනය කර ඇත. ජලය, බීජ හා ඉඩම් අයිතිය ජනතාවගෙන් උදුරා ගන්නා අණපනත් ළඟදීම කරළියට එනු ඇත. නවීකරණය නාමයෙන් සමාගම්වල අයිතිය සතු වැඩි දියුණු කළ හා ජාන වෙනස් කළ බීජ රසායනික යෙදවුම් මත පදනම්වූ කෘෂිකර්මයක් ව්‍යාප්ත වනු ඇති අතර විනාශ වන පස, ජලය හා පරිසර පද්ධතීන් හේතුවෙන් ගොවීන් හා පාරිභෝගිකයින් වැඩි වැඩියෙන් රෝගීන් බවට පත් වනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය

2016 ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුව අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලබා ගැනීම සඳහා එකඟතාවයකට පැමිණියේය. මීට අමතරව ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ආදී ද්වි පාර්ශවීය හා බහු පාර්ශවීය ආධාර දෙන ආයතන මඟින් ඇමෙරිකානු ඩොලර් මිලියන 650 ක් වටිනා ණය ලබා ගැනීමට ආණ්ඩුව සමත් විය. මෙම ණය පැකේජය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මධ්‍ය කාලීන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා ක්‍රියාමාර්ග නිර්දේශ කොට තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙලෙස පණවා තිබෙන ණය කොන්දේසි ලංකාවේ ආර්ථිකය මත දිගුකාලීන බලපෑම් ඇති කළ හැකිය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවා

ඇති කොන්දේසි

2020 වර්ෂය වන විට අය-වැය හිඟය 3.5% දක්වා අඩු කිරීම, බදු වැඩි කිරීම, රාජ්‍ය වියදම් සීමා කිරිම, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කිරීම, වෙළෙඳාම් ලිහිල්කරණය හා මූල්‍යකරණය තීව්‍ර කිරීම ඇතුළු ව්‍යුහාත්මක වෙනස්කම් ගණනාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරනු ලැබ ඇත. බැලූ බැල්මට මෙම නිර්දේශ රටේ ආර්ථිකයට අවශ්‍ය බව පෙනී යා හැක. එහෙත් මේ විසඳුම් මහජනයා මත වූ ආර්ථික පීඩනය උග්‍ර කිරීමට හේතු වන විසඳුම් වේ.

නව ලිබරල්වාදී ආර්ථික සැලැස්ම පදනම්වී ඇත්තේ පහළට කාන්දු වීමේ න්‍යාය මතයි. ව්‍යාපාරයන්ට සහ පොහොසතුන්ට වැඩි වැඩියෙන් පහසුකම් හා සම්පත් ලබා දීම තුළින් ඔවුන් තවත් ධනවත් වන අතර ඒ මඟින් දුප්පතුන්ට වැඩි ආදායම් මාර්ග (රැකියාව ද ඇතුළුව) ලැබෙන බවත් ඒ හරහා සියලු දෙනාගේම ජීවන තත්වය උසස්වන බවත් පහළට කාන්දුවීමේ න්‍යායේ හරයයි.

නමුත් මෙම න්‍යාය ප්‍රායෝගිකව කිසිසේත් ක්‍රියාත්මක නොවන බව ලෝකය පුරා උදාහරණ මඟින් පෙන්නුම් කර තිබේ. සැබෑ තත්ත්වය නම් දශක පහකට ආසන්න නව ලිබරල්වාදී ආර්ථික ක්‍රියාවලියකින් පසුව ලෝකයේ සියලුම සම්පත් පොහොසතුන් අතළොස්සක් අතට ගොනු වෙමින් පවතින අතර දුප්පතුන් තව තවත් දුප්පත් වෙමින් සිටීමයි.

නව ලිබරල්වාදය විසින් ඇති කර තිබෙන්නේ ආර්ථික හා දේශපාලන අර්බුදයක් පමණක් නොවේ. ලාභය උදෙසා සිදු කරන ලද ස්වාභාවික සම්පත් මංකොල්ලය, විනාශකාරී නිෂ්පාදන හා පරිභෝජන රටාව ලෝකය අති දැවැන්ත පරිසර අර්බුදයක් කරා ගෙනයමින් තිබේ. වායුගෝලීය උණුසුම නිසා සිදුවන දේශගුණික විපර්යාස ඉදිරි දශක කිහිපය තුළ ලෝකයේ පැවැත්ම තීරණය කරන ප්‍රධානම සාධකය බවට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ අප සතු මූලිකම සම්පත් වන්නේ අපගේ මානව සම්පත හා ස්වාභාවික සම්පත්ය. අපට අවශ්‍ය වන්නේ එම සම්පත්වල අයිතිය හා ප්‍රතිලාභ සැමට සාධාරණව බෙදීයන ඒවායේ නිර්මාණශීලිත්වය හා තිරසර පැවැත්ම තහවුරු කරන ආර්ථික ක්‍රමවේදයකි.

ඒ තුළ ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවා බවට පත් විය යුත්තේ රටේ ජනගහණයෙන් 40% කට ආසන්න වන සුළු පරිමාණ නිෂ්පාදකයින්ය. ඔවුන්ගේ ජීවිකාවන් ආරක්ෂා කරීම හා වැඩි දියුණු කිරීමේ වගකීම රජය සතුය. ඔවුන්ගේ ජීවිකාවන්ගේ පදනම වන ස්වාභාවික සම්පත්වල අයිතිය ඔවුන් සතු වියයුතු අතර සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී දායක වීමටත් එම සැලසුම්වල ප්‍රතිලාභවලට සමානව හිමිකම් කීමටත් රටේ සියලු ජන කොටස්වලට ඇති අයිතිය තහවුරු කළ යුතුය.

(දේශනයක් ඇසුරිනි. )

සටහන-ආනන්ද හපුගොඩ
බණ්ඩාරවෙල සමූහ 


නව අදහස දක්වන්න