ඇමරිකාවේත් සිරවුණු බාස්මතී බ්ලූස් | දිනමිණ

ඇමරිකාවේත් සිරවුණු බාස්මතී බ්ලූස්

විද්‍යාඥවරියක වන ලින්ඩා ජාන වෙනස් කළ නව සහල් විශේෂයක් සොයා ගනු ලබනවා. ලින්ඩාගේ ප්‍රධානියා විසින් ඇය ඉන්දියාවට එවන්නේ, එම සහල් විශේෂය ඉන්දියාවේ පිටිසරබද පළාත්වල ප්‍රචලිත කිරිමේ අරමුණෙනි. ඇයගේ සිතුවිල්ල වන්නේ, තමා මේ අහිංසක ගොවින්හට උපකාරයක් කරන බවයි

රිදී තිරයේ දිග හැරෙන්නට නියමිතව තිබෙන ඉංග්‍රීසි සහ හින්දි භාෂා ද්විත්වයෙන් නිර්මාණය වූ නවතම චිත්‍රපටය Basmati Blues හි දිග හැරෙන්නේ මෙම කතාවයි. ප්‍රේමය සහ හාස්‍යය රැගත් සංගීතමය චිත්‍රපටයක් ලෙසින් රිදී තිරයේ දිගහැරෙන Basmati Blues අධ්‍යක්ෂණය ඩැන් බරෝන් විසිනි. මෙය ඔහුගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන අතර තිරරචනය කර තිබෙන්නේද බරෝන් සහ ජෙෆ් ඩොර්ෂේන් විසිනි. බ්‍රියේ ලාර්සන් ලින්ඩාගේ චරිතයට පණ පොවන අතර ඩොනල්ඩ් සදර්ලන්ඩ් ප්‍රධානියා ලෙස චරිත නිරූපණය කරයි. ස්කොට් බකූලා සමගින් උත්කර්ශ් අම්බුද්කාර්, ටයින් ඩ්ලේ, සුදාශිණි මුලේ, ලක්ෂ්මි මන්චු ඇතුළු පිරිසක්ද මෙහි රංගනයෙන් දායක වෙති.

පසුගිය සතියේ මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් කිරීම සමඟින් එය හොලිවුඩයේ සුවිශේෂි කතාබහකට ලක් වූ සිනමා නිර්මාණයක් බවට පත් විය. සංස්කෘතික වශයෙන් අසංවේදී මෙම චිත්‍රපටයේ බ්‍රියේ ලාර්සන් සුදු ගැලවුම්කාරියකගේ චරිතයක් නිරූපිත බවට එහිදී චෝදනා එල්ල කෙරුණා. ඒ වෙනුවෙන් චිත්‍රපටයේ නිර්මාණකරුවන් වෙතින් ඉදිරිපත් වූ අදහස නම් පූර්ව ප්‍රචාරක පටයෙන් සිනමා නිර්මාණයක සම්පූර්ණ අදහස නොගත යුතු බවයි. කෙසේ නමුත් හොලිවුඩ් මාධ්‍ය වාර්තා කරන්නේ මේ චෝදනා සමඟින් තම වෘත්තියේ ඉහළින් සිටින නිළියකගේ රංගන ජීවිතයට නම් යම් කිසි අයුරකින් ප්‍රශ්න ඇති විය හැකි බවයි.

ලොව කෙතරම් සිනමා නිර්මාණ බිහි වුවත් ඒ සෑම නිර්මාණයකටම රිදී තිරයට සමීප වෙන්නට අවස්ථාව හිමි නොවන බව කවුරුත් දන්නා සත්‍යයක්. ඇතැම් විට ප්‍රායෝගික ගැටලු, නීතීමය, මූල්‍යමය, උපාය මාර්ගික එසේත් නොමැති අවස්ථාවල අවාසනාව පවා එයට හේතු වෙනවා. නමුත් ඇතැම් අවස්ථාවල එහි ප්‍රධාන නළුවා හෝ නිළිය ක්ෂේත්‍රයේ යම් ස්ථානයකට පැමිණි විට සැඟවී තිබූ මෙවැනි නිර්මාණවලට ඉදිරියට පැමිණීමට අවස්ථාව සැලසෙනවා. Basmati Blues චිත්‍රපටයද ගැනෙන්නේ මේ කොටසට වීමත් විශේෂයක්. 2013 වසරේදී නිර්මාණය කෙරුණු මෙම සිනමා නිර්මාණයටත් රිදී තිරය වෙත සමීප වෙන්නට ලොකු අරගලයක් කරන්න සිදු වෙලා.

1999 වසරේදි Special Delivery චිත්‍රපටයෙන් හොලිඩුවයට පිවිසි බ්‍රියේ ලාර්සන් කතාබහට ලක්වන චරිතයක් නිරූපණය කළේ 2012 වසරේදී 21 Jump Street චිත්‍රපටයේදීයි. Short Term 12,Kong: Skull Island අනතුරුව 2015 වසරේදී Room චිත්‍රපටයේ රංගනය ඇය ඔස්කාර් හොඳම නිළිය ලෙසින් සම්මානනීය කළා. ගෝල්ඩන් ග්ලෝබ් සහ බ්‍රිතාන්‍ය ඇකඩමි සම්මාන උලෙළෙවලදී ද එම රංගනය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මාන ලාර්සන් වෙත පිරිනැමුණා. මෙම තත්ත්වය වසර ගණනකට පසු Basmati Blues වෙත රිදී තිරයට පැමිණෙන්නට මඟ පෑදු බවයි කියවෙන්නේ. පැරණි නිර්මාණ සාර්ථකත්වය පසුපස හඹා ආ මුල් සිනමා තරුව ඇයම පමණක් නොවේ. ලියනාඩො ඩිකැප්‍රි යෝ ද Don's Plum චිත්‍රපටය සමඟින් මෙවැනිම තත්ත්වයකට මුහුණ දුන් අතර එහිදී ඔහු නඩු මඟටද පිවිසියා. මේ අනුව කලකට පසු එන Basmati Blues ලාර්සන්ගේ ඉදිරි සිනමා ජීවිතයට බලපැමක් කරනු ඇති බව විචාරක අදහසයි. එයින් ඇය ඉදිරියේදී නිරූපණය කරන්නට නියමිත මාර්වල් විශ්වයේ සුපිරි වීර චරිතයට ද බලපානු ඇති දැයි ප්‍රශ්නයක් මතු වී ඇති බව හොලිවුඩ් වාර්තා ගෙන එනවා. විචාරකයන් Basmati Bluesචිත්‍රපටය පෙන්වා දෙන්නේ බ්‍රියේ ලාර්සන්ගේ ඇඳුම් අල්මාරියේ වසර හතරක් පුරා සඟවා තිබූ ඇටසැකිල්ලක් එළියට ගැනීමක් ලෙසින්.

ඒ කෙසේ වෙතත් අධ්‍යක්ෂ ඩැන් බරෝන් පවසන්නේ විචාරකයන් ජාත්‍යන්තර පූර්ව ප්‍රචාරක පටයෙන් වැරදි නිගමනයකට එළඹී ඇති බවයි. අමෙරිකානු ජාතික කාන්තාවක් ඉන්දියාවට ගොස් ප්‍රශ්නයක් විසඳනවාට වඩා දෙයක් මෙහි ඇති බව ඔහු පෙන්වා දෙනවා. එහි සංස්කෘතික අතින් එකිනෙකට වෙනස් දෙදෙනෙකු අතර ඇතිවන ඝට්ටනය, ව්‍යාපාරික ලෝකය තුළ මේ දෙදෙනා ආදරය සොයා යන්නේ කෙසේ ද යන්න Basmati Blues ඔස්සේ ගෙන එන බවත් අධ්‍යක්ෂ බරෝන් පෙන්වා දෙනවා. චිත්‍රපටය සම්පූර්ණයෙන් නැරඹු කෙනෙකුට එය වටහා ගතහැකි වනු ඇති බවත් එසේම මෙය ඉන්දියාව සහ ඉන්දීය ජනතාවටද ගරු කරන චිත්‍රපටයක් බවත් අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශය තුළ ඇතුළත්. එසේම ඔහුගේ අදහස නම්, Basmati Blues චිත්‍රපටය හොලිවුඩ් චිත්‍රපටයක්ම පමණක් නොව බොලිවුඩ් සිනමාවේද යුග ගණනකට ලියූ ආදර හසුනක් බවයි.

 

නව අදහස දක්වන්න