විදුලකර පිරිවෙන් අලංකාරය | දිනමිණ

විදුලකර පිරිවෙන් අලංකාරය

මහර ගණිදු රෝචන සමරතුංග

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වසර එකසිය හතළිස් දෙකක කාලයක සිට ගිහිපැවිදි උගතුන් රැසක් බිහි කිරීමට සමත් පිරිවෙනක් ලෙස හැඳින්විය හැකිය.

මහනුවර රජ සමයේ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන් විසින් පුස්කොළවල ධර්ම කරුණු ලියවා අනාගත පරපුර වෙත ආරක්ෂිතව තබා තිබේ. වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන් එම ධර්ම කරුණු පුස්කොළවල ලියා නොතිබෙන්ට ‍විද්‍යෝදය හෝ විද්‍යාලංකාර පිරිවෙන් ආරම්භ කිරීමට ඉඩ නොතිබුණි. හඩුපේ සෝනුත්තර මාහිමිපාණන්ගේ ශිෂ්‍ය වලානේ ශ්‍රී සිද්ධාර්ථ නාහිමියන් ධර්ම ශාස්ත්‍ර ශික්ෂණය ලැබූ ශ්‍රී ධර්මාලෝක නාහිමියන් විසින් 1875 වසරේ නොවැම්බර් මස පළමු වන දින පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කර ඇති බව සඳහන් වේ.

අඩු පහසුකම්වලින් සමන්විතව ඇරැඹූ මෙය ශාස්ත්‍ර ශාලාව ලෙස එකල හැඳින්විණි. මේ වනවිට මෙම පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන දේශ දේශාන්තරවල පවා ප්‍රසිද්ධියට පත්වී තිබේ. මේ වනවිට දෙමහල්, තෙමහල් ගොඩනැගිලිවලින් හා විවිධ භෞතික සම්පත්වලින් යුක්තය. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන, ශ්‍රීමත් ඩී. බී. ජයතිලක, මහා පණ්ඩිතවාදීභසිංහ, බැදිගම ශ්‍රී රත්නපාල හිමියන් වැනි උගතුන් රැසක් සමාජයට දායාද කර තිබේ.

රත්මලානේ ශ්‍රී ධර්මාලෝක හිමියන් අපවත්වී වසර පනහක් පිරීම නිමිත්තෙන් විද්‍යාලංකාර පිරිවෙන ප්‍රශංසනීය මෙහෙයන් රැසකට ආරම්භය ලබාදී තිබේ. එහිදි ප්‍රදේශයේ බෞද්ධ අබෞද්ධ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීමට ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය ආරම්භ කර තිබේ. මීට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ආයතනයක් මගින් ශාස්ත්‍රීය උපාධිය පිරිනැමීම ආරම්භ කර තිබේ. මෙරට උපාධි පිරිනමන ආයතන ලෙස විශ්වවිද්‍යාල බිහිවන්නේ 1942 වසරෙන් පසුව බව සඳහන් වේ.

එහෙත් එවකට පරිවේණාධිපති ලුනුපොකුණේ ශ්‍රී ධම්මානන්ද හිමියන් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ අධ්‍යක්ෂ යක්කඩුවේ ප්‍රඥාරාම හිමි ඇතුළු පිරිසකගේ අදහස් අනුව වර්ෂ 1937 දී විද්‍යාලංකාර උපාධි පරීක්ෂා නමින් ශාස්ත්‍රීය පාඨමාලාවක් ආරම්භ කර එමගින් ත්‍රිපිටකාචාර්ය හා සාහිත්‍යාචාර්ය උපාධි පිරිනමන ලදි. ඉන්පසුව පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනත් කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනත් 1959 වසරේ ජනවාරි මස පළමු වන දින විශ්වවිද්‍යාල තත්ත්වයට පත්ව තිබේ.

පසුව පිරිවෙන විද්‍යාලංකාර වූ පසු පරිවෙනාධිපති කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර හිමියන් මෙහි උපකුලපති ධුරයට පත්විය. මීට අමතරව විද්‍යාලංකාර සභාවේ ඒකමතික තීරණයෙන් මෙහි පරිවේනාධිපති ධුරයට යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාසාර හිමියන් පත්විය. පසුව එවකට පැවති රජය මගින් වර්ෂ 1967 දී පමණ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන අයත් භූමිය සඟසතු දේපළක් ලෙස ගැසට් නිවේදනයක් මගින් පවරා ඇති බව සඳහන් වේ.

ඉන්පසුව බලයට පත් හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය විසින් වර්ෂ 1970 දී පමණ විද්‍යාලංකාර පිරිවෙන මුල් භූමියේම පවත්වාගෙන යාම සඳහා රජයට පවරා ගත් සියලු දේපළ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමියන්ට ඔප්පුවක් මගින් නැවත ප්‍රදානය කර ඇත.

පසුව මෙය නව ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර අධ්‍යාපන පටිපාටිය ඇති කර පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් භූමිය දියුණු කිරීමට කටයුතු යොදා තිබේ. මේ වනවිට පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ පරිවෙනාධිපති වැලමිටියාවේ කුසලධම්ම හිමියෝ මෙම පිරිවෙන වැඩිදියුණු කිරීම සඳහා ඉමහත් සේවයක් ඉටුකර තිබේ.

නව අදහස දක්වන්න