වේළීමට මාළු නැතිව වේළෙන කල්පිටිය | දිනමිණ

වේළීමට මාළු නැතිව වේළෙන කල්පිටිය

දුමින්ද අලුත්ගෙදර

 “ඉස්සර අපේ කළපුවේ මාළු අරගෙන ඒවා කරවල කළාම අපිට ගොඩක් ලාභ තිබුණා. ඒත් දැන් මාළු ගේන්න වෙලා තියෙන්නෙ පිටින්. ඒවා ගෙනල්ලා මිනිස්සු දාලා කපලා ලුණු ගහලා දවසක් තියා ගන්න ඕන. ඊට පස්සෙ ඊළඟ දවසෙ ලුණුවලින්ම හෝදලා වේල ගන්න දාන්න ඕන. කරවල කරන්න දවස් තුනක් විතර ගත වෙනවා. මාළු පලලා ලුණු දාලා වේලන්න යන වියදම බැලුවාම අද අපිට ලාභයක් නෑ.

පුත්තලම සිට කල්පිටිය දක්වා දිවෙන මාර්ගය දෙපසින් දිස්වන්නේ, රටකින් වෙනත් රටකට ඇතුළුවන්නාක් මෙනි. වැඩුණු පොල්ගස් යායට දිස්වෙන අපූරු දසුන් මවන කල්පිටි කළපුව විටෙක සන්සුන්, විටෙක කලබලකාරි වූයේ මන්ද? අතීතයේ සිටම කරවල වේලීම ජීවනෝපාය කරගත් ධීවරයෝ වත්මනෙහි කරවල වාඩිවල දවස ගෙවති.

කඩිගුලක් මෙන් ඒ මේ අත දුවන ධීවර ජනතාව වර්ෂාවට බියෙන් තම කරවල සම්පත එක්රැස් කරන්නේ ය. අහස් දිය වගුරුවමින් මහපොළවට පතිත වන්නට පෙර කඩිමුඩියේ වේළු කරවල එකතුකර වාඩිය තුළට රැගෙන යාම අපූරු දසුනකි. එකී දසුනට පිටුපස මහමේරු පර්වතය තරම් දුක්ඛ දෝමනස්සයන් තිබිය හැකි බව බැලූ බැල්මටම පෙනී යන්නේ ය.

පැරැන්නෝ කල්පිටි කළපුව ධීවර රැකියාවට තෝරාගෙන ඇත්තේ, මත්ස්‍ය සම්පතෙහි අඩුවක් නොතිබූ බැවිනි. මුළු ගම්මානයම එකාවන්ව කරවල වෙළඳාමට සූරයෝ වූහ. එහෙත් අද කරවල ගම්මානය පාළු සුසානයක සෙයක් ගෙන තිබේ. මසුන් ඇල්ලීමට කළපුවේ කරක්ගහන කෙනෙක් දකින්නට ලැබෙන්නේ අහම්බයෙනි. ධීවර කෙරුවාව අතැර ගම්මු පිටගම් බලා ගියෝ ය. ඒ කිසිවක් නිසා නොව.. කාලයත් සමඟ ධීවර රැකියාවට කනකොකා හැඬ වූ ධීවර සමාගම් නිසා ය.

කල්පිටිය ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ කරවලවලට ය. පැරැන්නෝ කළපු මාළු අල්ලා කරවල බවට පත් කර වෙළෙඳපොළට එවා තිබුණත් අද තත්ත්වය හාත්පස වෙනස් ය. මහා පරිමාන සමාගම්වලට කල්පිටි මාළු ගෙන යාමත් සමඟ කල්පිටියේ කරවල වාඩිවලට වෙනත් ප්‍රදේශවලින් මාළු ගෙන එන්නට සිදුවූ බව පවසන ජූලියස් පිල්ලේ මහතා කියා සිටියේ, ගුණාත්මක තත්ත්වයේ මාළු තොග පිටින් සමාගම්වලට ගන්නා බවකි. ඒ හේතුවෙන් තමනට කරවල සඳහා අවශ්‍ය මාළු වෙනත් පෙදෙස්වලින් ගෙන එන්නට සිදුවන බවත් ඒ සඳහා වැඩි පිරිවැයක් දරන්නට සිදුවන බවත් ඔහු පෙන්වා දෙයි. ඒ පිළිබඳ අදහස් දක්වන ජූලියස් පිල්ලේ මහතා,

‘‘ඉස්සර මේ ප්‍රදේශය කරවලවලට ගොඩක් ප්‍රසිද්ධයි. ඒත් දැන් එහෙම නෑ. දැන් ගොඩක් හොඳ මාළු මෙහෙ නෑ. ඒ හැම එකක්ම කොම්පැනිවලින් ඇවිත් තොග පිටින් අරන් යනවා. ඉස්සර අපි කළපුවේ මාළු අල්ලලා කරවල කළා. ඒත් දැන් එහෙම බෑ. පිටින් මාළු ගෙනල්ලා තමයි කරවල කරන්නේ. ඒකට ලොකු වියදමක් යනවා“

වසර 28ක් තමන් ධීවර රැකියාවේ යෙදුන බව පවසන පිල්ලේ මහතා පෙන්වා දෙන්නේ, අතීතයේ තරම් පහසුවෙන් කරවල රස්සාව වර්තමානයේ කළ නොහැකි බවයි. දිනෙන් දින වෙළෙන්දන් පිරිස වැඩි වී ඇති අතර ඔවුන්ගේ ඉල්ලුම අනුව මාළු මිලද ඉහළ යයි. එනිසා කරවල සඳහා මාළු ලබා ගැනීම දුෂ්කර වී තිබෙන අතර කරවල කරනවාට වඩා මාළු වෙළෙඳාම කිරීම පහසුවක් සේම අඩු පිරිවැයකින් ලාභ ලැබිය හැකියාවද තිබේ. එය කරවල වාඩිවලට දැඩිව බලපාන බව ද ඔහු පෙන්වා දෙයි.

“ඉස්සර අපේ කළපුවේ මාළු අරගෙන ඒවා කරවල කළාම අපිට ගොඩක් ලාභ තිබුණා. ඒත් දැන් මාළු ගේන්න වෙලා තියෙන්නෙ පිටින්. ඒවා ගෙනල්ලා මිනිස්සු දාලා කපලා ලුණු ගහලා දවසක් තියා ගන්න ඕන. ඊට පස්සෙ ඊළඟ දවසෙ ලුණුවලින්ම හෝදලා වේල ගන්න දාන්න ඕන. කරවල කරන්න දවස් තුනක් විතර ගත වෙනවා. මාළු පලලා ලුණු දාලා වේලන්න යන වියදම බැලුවාම අද අපිට ලාභයක් නෑ. පුරුදු රස්සාව හින්ද කරවල වේලනවා. මුල් කාලේ කරවල වේලන එක හොඳ ලාභයක් තිබුණා. ඒත් දැන් එහෙම නෑ. දැන් ගොඩක් අය මේ රස්සාවෙන් ඈත් වෙලා ඉවරයි. ටිකෙන් ටික රස්සාවත් නැති වෙලා යනවා‘‘

කරවල වේලා තම දෛනික ජීවනෝපාය සරිකගත් බොහෝ පිරිසක් කරවල වාඩි මත හිඳ නිසොල්මනේ බලා හිඳිති. ඔවුනට ද යන එන මං නැති සේය. කළ යුත්තේ කවරක් ද යන්න ඔවුනට ද නිනව්වක් නැත. පුරුද්දට මෙන් තැනින් තැන සුළු වශයෙන් කරවල වේලීමට දමා තිබේ. ස්වභාවිකව වේලාගත් කරවල තරම් යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් වේලා ගනු ලබන කරවල එතරම් රසයක් නොමැති බව ද ඔවුන් පෙන්වා දෙයි. මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ඉල්ලුමට අනුව කළපු මාළු පිට පටවන නිසා, බොහෝ පිරිසකට දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුව තිබේ.

“එදා අපි මාළු කිලෝ 1500ක් කැපුවොත්, මාසයක් ජීවත් වෙන්න හැකියාව තිබුණා. දැන් ඒ ගාන කපලා වේලුවොත් සතියක් ජීවත් වෙන්නත් මදී. ඒකට ගොඩක් හේතු බලපාලා තියෙනවා. එකක් තමයි කළපුවේ ඉස්සර වගේ මාළු නෑ. අනෙත් එක තමයි මෙහෙ මාළු මහා පරිමාණ ව්‍යාපාරිකයෝ ඇවිත් අරන් යන එක. මීගමුව පැත්තේ මහා පරිමාණයෙන් කරවල වේලනවා‘‘ යැයි පවසමින් ජූලියස් පිල්ලේ මහතා පෙන්වා දෙන්නේ ක්‍රමයෙන් කළපුව ද වැනසෙමින් පවතින බවයි. එක් පැත්තකින් මාළු සංරක්ෂණයට වැඩපිළිවෙළක් ද නොමැති අතර අනෙක් පැත්තෙන් කළපුව දූෂණය වීම වැඩි වී තිබේ. එය ද තම කර්මාන්තය බිඳ වැටීමට බලපා තිබෙන අතර මහා පරිමාණ සමාගම් සමග තමන්ට තරග කළ නොහැකි බව ද ඔහු පෙන්වා දෙයි.

කෙසේ නමුත්, පාරම්පරික කරවල වාඩි නිහඬ ස්වරූපයක් ගෙන තිබේ. කෙනෙක් දෙන්නෙක් හැරුණු විට බොහෝමයක් පිරිසක් වෙනත් රැකියා තෝරාගෙනය. සාමාන්‍යයෙන් මාළු කිලෝ 1500ක් කරවල බවට පත් කිරීමට රුපියල් තිස්දහසක පමණ මුදලක් වැය වන බව පිල්ලේ මහතා පෙන්වා දෙයි. ඇතැම් අවස්ථාවල වර්ෂාවට හසු වුණොතින් ලක්ෂ ගණනින් පාඩු සිදුවන බව ද ඔහු පවසයි. ඉන් බේරීමටද ආරක්ෂිත ක්‍රමෝපායන් නොමැති බව පවසන පිල්ලේ මහතා,

‘‘අපිට කරවල වේලලා ගබඩා කර ගන්න ඉඩ පහසුකම් නෑ. වාඩියක් හදා ගන්න නම් ලක්ෂ පහක්වත් ඕන. එච්චර මුදලක් යට කරන්න අපට බෑ. බැංකු ණයක් ගත්තත් ලොකු ගාණක් වාරිකය විදිහට ගෙවන්න ඕන. මීට පෙර නිලධාරින් ඇවිත් බලලා කිව්වා අපිට කරවල වේලන මැෂින් දෙන්නම් කියලා. එහෙම කියලා කිව්වේ කරවල බිම දාලා වේලන්න එපා කියලයි. කරවල වේලන්න මැස්ස ගහලා දෙන්නම් කිව්වා. ඇවිත් කියනවා විතරයි, කෙරෙන්නෙ නෑ‘‘

දිනෙන් දින කරවල කර්මාන්තය වැනසෙමින් පවතින බවත්, ඊට බලධාරින්ගේ අවධානය යොමු නොවන බවත් කරවල වාඩි ජනතාව පෙන්වා දෙයි. තමනට ද මේ රැකියාව අතහැර වෙනතක් බැලීමට කාලය එළඹ ඇතැයි ද ඔවුන් පෙන්වා දෙයි. කරවල වේලීමේ ක්‍රියාවලිය පළපුරුදු පිරිසකට කළ හැකි වුවත් ආධුනිකයන්ට එය සාර්ථකව කළ නොහැකිය. එනිසාම කල්පිටි කරවල නබෝ දිනකින් ශ්‍රී ලාංකිකයන්ට අහිමිවනු ඇති බවට ද ඔවුන් කළකිරීමෙන් යුතුව ප්‍රකාශ කරති.

බාධක රැසක් මැදින් තම ජීවනෝපාය සරිකරගන්නා කල්පිටි කරවල වාඩි ජනතාවගේ ආර්ථික හා අධ්‍යාපනික දියුණුව ද ඉඹිගමනින් සිදුවන්නකි. ඇති හැකි අය ප්‍රදේශය අතැර වෙනත් වෘත්තීන් සොයා යති. ඇතමෙකුට එය කළ නොහැකි අතර දූ දරුවන් ද කරවල වාඩිවලට වී මව්පියන්ට සහය පළ කරති. කෙසේ වෙතත් ස්වභාවික කරවල අපේ වෙළෙඳ පළෙන් අහිමි වීමට මත්තෙන් ඒ පිළිබඳ බලධාරින්ගේ නෙත් යොමු විය යුතුයි.

එක් පැත්තකින් කරවල වාඩි ජනතාවගේ ජිවනෝපාය අනතුරකට ලක්ව ඇත. අනෙක් පසින් ඔවුනගේ ආර්ථිකයට බලපෑම් එල්ල වී තිබේ. මේ පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය. නොඑසේ නම් කල්පිටි කරවල වාඩිවල වෙසෙන ජනයාගේ ජීවනෝපාය තර්ජනාත්මක අභියෝගයකට ලක්වනු ඇත.

ඡායාරූප-නිරෝෂ් බටේපොළ 

නව අදහස දක්වන්න