මේ දවස්වල අමු ආහාර ගැනීමෙන් වළකින්න | දිනමිණ

මේ දවස්වල අමු ආහාර ගැනීමෙන් වළකින්න

සන්ධ්‍යා කරුණාරත්න

පවතින වර්ෂාවත් සමඟ ගං වතුර හෝ වැසි ජලය හේතුවෙන් ජල මූලාශ්‍ර අපිරිසුදු වීමෙන් පාචනය, අතීසාරය වැනි බෝ වන රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි.

කිසිදු ප්‍රදේශයකින් වසංගත රෝග වාර්තා වීමක් මෙතෙක් සිදු වී නොමැති බවත් නමුත් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිට වසංගත රෝග වළක්වා ගැනීමට ජනතාව උනන්දු විය යුතු බවත් ඒ මහතා පැවැසුවේය.

ජල මූලාශ්‍ර අපිරිසිදු වීමේ අවදානම නිසා සෑමවිටම උණු කර නිවා ගත් ජලය පානය කළ යුතු බවත් හොඳින් පිසූ ආහාර පරිභෝජනයට ගත යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

අමු එළවළු, පලතුරු, පලා වර්ග ආහාරයට ගන්නේ නම් හොඳින් සෝදා ආහාරයට ගත යුතු අතර අමු ආහාර මේ දිනවල අඩුවෙන් ආහාරයට ගත හැකි නම් බෝ වන රෝගයන්ගෙන් ආරක්ෂා විය හැකි යැයි ද ඔහු පැවැසුවේය.

මැස්සන් වැඩිපුර බෝවිය හැකි පරිසරයක් වර්ෂාවත් සමඟ පවතින නිසා ආහාර වර්ග මැස්සන්ට වැසිය නොහැකි ලෙස ආවරණය කළ යුතු යැයි ද වෛද්‍ය ගිනිගේ මහතා කීය.

පානයට ගන්නා ජල මූලාශ්‍ර අපිරිසිදු වී ඇත්නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දැනුම් දී ඒවා ක්ලෝරනීකරණය කළ යුතු බවත් අනවශ්‍ය ලෙස ගංවතුරට හෝ වැසි ජලයට නිරාවරණය වීමෙන් මී උණ, සමේ රෝග යනාදිය ඇති විය හැකි බවත් ඒ මහතා අවධාරණය කළේය. 

නව අදහස දක්වන්න