අගාධයට ඉහළින් | දිනමිණ

අගාධයට ඉහළින්

සෝවියට් ලේඛක
ඇලෙක්සැන්ඩර් බෙලායෙෆ්

නව අධ්‍යාපන ආධාරකයක්

මා ඉදිරියේ මහචාර්ය වැග්නර් සිනාසෙමින් සිටියි. වික්ෂිප්තව සිටි මම ඔහු දෙසත් අවටත් බැලුවෙමි.

හිමිදිරි පාන්දර නිල් අහස් වියන, ඈත නිල් පැහැති සාගරය, සුදු පැහැති සමනලයන් දෙදෙනෙක් ආලින්දය වටා පියාසර කරමින් එම ස්ථානයේ සන්සුන් බව වැඩි කරයි. ගෘහ සේවිකාව විශාල වෙඬරු භාජනයක් රැගෙන අප පසුකර යන්නීය.

“ඒ කුමක්ද? මේ සියල්ලේ තේරුම කුමක්ද?”මම මහාචාර්යවරයාගෙන් විමසුවෙමි.

ඔහු මහ හඬින් සිනාසුනේය.

“මම සමාව ඉල්ලිය යුතුයි” ඔහු පැවසුවේය. “ඔබගෙ අවසරයක් නොමැතිව, ඔබව හමුවීමේ සතුට භුක්ති විඳින්නේවත් නැතිව, මගේ අත්හදා බැලීම්වලට ඔබව යොදා ගැනීම ගැන. ඔබ මා ගැන දන්නවා නම් බොහෝ විට ඔබ දන්නවා ඇති මා වසර ගණනාවක්ම නුතන අතිවිශාල දැනුම සමග මිනිසා සටන් කිරීමේ ගැටලුව ගැන වැඩ කරමින් සිටින බව. නිදසුනක් වශයෙන් පෞද්ගලිකව මා ජයග්‍රහණය ලබල බියෙනවා මාගේ මොළයෙන් අඩක් නිදහසේ කටයුතු කිරීමට සැලැස්වීමෙන්. මම නින්ද සහ වෙහෙස නැති කර දමා තිබෙනවා”

“මම ඒ ගැන කියවලා තියෙනවා”මම කීවෙමි.

වැග්නර් හිස සැලුවේය.

“හොඳයි. ඒත් හැමෝටම ඒක කරන්න බැහැ. ඒ නිසා අධ්‍යයන ආධාරකයක් වශයෙන් මෝහනය යොදා ගන්න මම තීරණය කළා. සාම්ප‍්‍රදායික අධ්‍යාපනයත් එක්තරා ප්‍රමාණයකින් මෝහනයට සම්බන්ධයි. උදෑසන මම ඇවිදින්න යන කොට මට පෙනුණා ඔබ ජුනිපර් පඳුරක් අස්සේ සැඟවී ඉන්නා බව. මේ ඔබ මෙහි පැමිණි ප්‍රථම අවස්ථාව නොවෙයිනෙ?”ඔහුගේ ඇස්වලින් උපහාසාත්මක බැල්මක් පළ විය.

මම අවුලකට මැදි වීමි.

“හොඳයි. මම හිතුවා ඔබගේ කතුහලයට දඬුවම් කරන්න ඔබව මෝහනයට පත් කරලා”

“මොකක්? මේ ඔක්කොම...........”

“ඔව්. ඔබ මාව දැක්ක මොහොතේ ඉඳල මෝහනයට පත් වෙලා හිටියේ. ඒත් ඔබට ඒ සියල්ල ඇත්ත වගෙ පෙනුණා. එහෙම නේද? මට සහතිකයි මේ අත්දැකීම ඔබට අමතක නොවන බව. ඒ වගෙම කේන්ද්‍රපසාරි බලය සහ ආකර්ෂණ ශක්තිය පිළිබඳ ඔබට ඉගැන්වු ප්‍රායෝගික පාඩම පිළිබඳව. ඔබ තද හිතක් තියෙන ශිෂ්‍යයෙක් බව මුලදී පෙන්නුම් කළා. ඒත් අවසාන වන විට ඔබ කැළඹීමට පත් වුණා”

“ඒත් මේකට 'කොයි තරම් වෙලාවක්' ගත වුණාද ?”

මහාචාර්ය වැග්නර් තම අත්ඔරලෝසුව දෙස බැලුවේය. “මිනිත්තු දෙකයි. ඊට වැඩිය නැහැ. හොඳ උපක්‍රමයක්. එහෙම හිතෙන්නෙ නැද්ද?”

“ඒත්”මම මවිතය පළ කළෙමි. “එතකොට අර වීදුරු තට්ටුව විදුරු කවුළු පොළොවට සවි කර තිබූ රාක්ක”මම අත දිග ඇරියෙමි. කිසිවක් දක්නට නැත. මා ඉදිරියේ ඇත්තේ හිස් බිමකි.

“ඒ ඔක්කොම මෝහනයද?”

“ඒක හරි. ඒත් ඔබට මගෙ භෞතික විද්‍යා පාඩම එපා වුණාද?”

“‍ෆ්‍රීමා”ඔහු ගෘහ සේවිකාව ඇමතුවේය. “කෝපි ලෑස්තිද? අපි ගිහින් උදේ ආහාරය ගනිමු”

අනුවාදය
බොබී ජී. බොතේජු

නව අදහස දක්වන්න