ජනපති නිල මෙහෙවරින් කුලියාපිටිය නැඟෙනහිර ගම්මාන 145කට සෙත | දිනමිණ

ජනපති නිල මෙහෙවරින් කුලියාපිටිය නැඟෙනහිර ගම්මාන 145කට සෙත

වසර ගණනාවක් තිස්සේ නොවිසඳී පවත්නා ජනතා ගැටලුවලට විසඳුම් ලබාදීම කඩිනම් කෙරෙමින් රාජ්‍ය අංශය ගමට ගෙන යන ප්‍රවේශයක් ලෙස හැඳින්වෙන ‘ජනපති නිල මෙහෙවර ජනතා සේවය, කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 45 කට අයත් ගම්මාන 145 ක ජනතාව උදෙසා කුලියාපිටියේ නක්කාවත්ත මහින්ද මැදි විදුහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

එය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ 23 වන වැඩසටහනය.

මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමාගේ නියමයෙන් හා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමන්ගේ උපදෙස් මත, දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක වන ‘ජනපති නිල මෙහෙවර ජනතා සේවා ව්‍යාපෘතියේ මෙම 23 වන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන, අධ්‍යාපන ඇමැති නීතිඥ අකිල විරාජ් කාරියවසම් යන මහත්වරු සහභාගි වූහ.

එම උත්සව සභාව අමතමින් ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා මෙසේ පැවැසීය.

මෙම ජනපති නිල මෙහෙවර ජනතා සේවා ව්‍යාපෘතිය අර්ථවත් කිරීමට රාජ්‍ය අමාත්‍යාංශ 53 ම පූර්ණ සහාය නොමිලේම ලැබෙනවා. රජය මෙවර අයවැයෙන් ‘ජනපති නිල මෙහෙවර’ වැය ශීර්ෂයක් ලෙස ගෙන මුදල් ප්‍රතිපාදන ඊට වෙන්කර දී තිබෙනවා.

විශාල ජන සංඛ්‍යාවක් අද දින මෙම ජනපති නිල මෙහෙවර අවස්ථාවට පැමිණ සිටින්නේ ප්‍රදේශයේ දේශපාලන අධිකාරියට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කොට විසඳුමක් ලබාගත නොහැකි වූ තම ප්‍රශ්න ගැටලුවලට විසඳුම් ලබාගැනීම සඳහායි.

එම විසඳුම් කඩිනමින් ලබාදීමට අවශ්‍ය පියවර අප මෙහිදී ගෙන තිබෙනවා.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා - සිසු දරුවනට පාසල් අධ්‍යාපනයෙන් නොහැලී වසර 13ක් අඛණ්ඩව පාසල් අධ්‍යාපනය ලබාදීමට සකසා ඇති නව අධ්‍යාපන ක්‍රමය යටතේ වෘත්තීය විෂයන් 26 ක් අධ්‍යාපන විෂය මාලාවට හඳුන්වා දී තිබෙනවා.

කොවුල්වැව ශ්‍රී වර්ධනාරාමාධිපති පූනාහැල සද්ධානන්ද නාහිමි, වයඹ ප්‍රධාන ඇමැති ධර්මසිරි දසනායක, කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් නායනා දිසානායක මහත්මියද උත්සව සභාව ඇමතූ අතර, වයඹ ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මිය හා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න මහතාද මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

සටහන හා ඡායාරූප
කුලියාපිටිය විශේෂ - ඩබ්ලිව්. රණසිංහ

 

නව අදහස දක්වන්න