රාජකීය සම්ප්‍රදායට පයින් ගැසූ කුමාරයා | දිනමිණ

රාජකීය සම්ප්‍රදායට පයින් ගැසූ කුමාරයා

ෆවුස් මොහොමඩ්

එංගලන්ත රජ පවුලේ කාගෙත් අවධානය දිනාගත්තු දඟකාර හැරී කුමාරයා ඔන්න දැන් තැන්පත් වෙන්න තීරණය කරලා. ලොව පුරා විවිධ රටවල අතිශය රූමත් තරුණියන්ගේ ආදරය නොඅඩුව ලැබුණු මේ සෙල්ලක්කාරයාගේ හිත නැවතුණේ අමෙරිකාවේ රූපවාහිනි නිළියක හා මෝස්තර නිරූපන ශිල්පිනියක වූ මීගන් මර්කල්ගේ හිත ගාවයි.

තමන්ගේ රාජකීයත්වයට ගැලපෙන කුමාරිකාවන් කොයිතරම් ජීවිතයට සමීපව සිටියත් එංගලන්තයෙන් සැතපුම් දහස් ගණනක් දුරින් පිහිටි අමෙරිකාවෙන් හැරී කුමාරයා තමන්ගේ සහකාරිය සොයා ගැනීම ගැන තරම් තවත් රසවත් කතාවක් බ්‍රිතාන්‍ය ටැබ්ලොයිඩ් පුවත්පත්වලට රස සාගරයක් වූ පුවතක් මෑත කාලයේ තිබුණේම නෑ.

ඊයේ පෙරේදා නිල වශයෙන් හැරී කුමාරයා එක්ක විවාහ ගිවිස ගත්තු මේ තරුණිය සැබැවින්ම කවුරුත් අපේක්ෂා කළ විදිහේ කෙනෙක් නම් නෙවෙයි. රාජකියත්වයට ගැලපෙන විදිහේ සම්ප්‍රදායික තරුණියකුත් නෙවෙයි. ඇය එහෙම පිටින්ම වෙනස් චරිතයක්.

33 හැවිරිදි හැරී කුමාරයාගේ හදවතේ සදාකාලිවම ලැගුම් ගන්නට එංගලන්තයට ගොඩබැස්සේ පළමු විවාහය කඩාකප්පල් කරගත්තු..ඔහුට වඩා අවුරුදු 3කින් වැඩිමල් නිළියක්. ඇරත් කළු ජාතික සම්භවයක් ඇති ගැහැනියක්. මේ රූමත් නිළිය හැරී කුමාරයාගේ ජීවිතය එහෙම පිටින්ම අයිතිකරගනීවි කියලා පසුගිය වසරේ නොවැම්බර් මාසයේ 8 වැනිදා කෙන්සින්ටන් මාළිගාව තහවුරු කරනතුරුම කවුරුත් ඒක විශ්වාස කළෙත් නෑ.

බ්‍රිතාන්‍ය ඔටුන්නට හිමිකම් කියන රජ පවුලේ සාමාජිකයන් අතර පෝලිමේ ඉදිරිපෙළ සිටින මේ කඩවසම් ඉලන්දාරියා සිය රාජකීයත්වයට කදිමට ඔබින සහකාරියක සොයා ගනු ඇතැයි මීට කළින් බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයන් ද වරින් වර ඉඟි පළ කරද්දී කවුරුත් සිතුවේ ඔහු ලොව ප්‍රභූ පැලැන්තියේ තරුණියක් විවාහ කරගනු ඇතැයි කියලයි. ඒත් ඒක එහෙම වුණේ නෑ. අන්තිමේදී හැරී කුමාරයා සම්ප්‍රදායට පයින් ගැහුවා.

මීට කළින් ඒ කියන්නේ 2011 සැප්තැම්බරයේ දී අමෙරිකාවේ චිත්‍රපට නිශ්පාදකවරයකු වූ ට්‍රෙවර් එංගල්සන් සමග විවාහ වී සිටි මීගන් අවුරුදු දෙකකට පස්සේ ඒ විවාහය කුරුටු ගෑවේ 2013දීයි. ඇත්තටම සිද්ධවුණේ ඇය ඔහුව අත්හැරීම නෙවෙයි. ඕනවට වඩා සැප සම්පත් හොයන බව කියමින් ඇය දික්කසාද කළේ ඔහුයි.

හැරී කුමාරයාට මීගන් මුල් වතාවට මුණ ගැසුණේ මීට අවුරුදු දෙකකට කළින් කැනඩාවේ ටොරොන්ටෝ නුවර රූගත කිරීමත් අතරතුරදීයි. හැමෝම කියන්නේ දුටු විගස ඔහු ඇගේ ප්‍රේම දැලේ පැටලුණා කියලයි. ඒක කොහොමවුණත් හිතේ හැටියට රූමත් තරුණියන්ගේ ඇසුර ලැබූ සෙල්ලක්කාර හැරී කුමාරයාගේ හිත නතර කරගන්න තරම් හැකියාවක් ඇයට තිබීම එක අතකින් පුදුම සහගත කාරණාවක්.

හැරී කුමරු විසින් දියමන්ති කැට තුනක් ඇල්ලූ මුදුවක් මීගන්ගේ වමතේ වෙදැඟිල්ලේ පළඳනු ලැබුවේ පසුගිය නොවැම්බරයේ 27 වැනිදායි. මේ දියමන්ති කැටවලින් දෙකක්ම ඩයනා කුමරිය සතුව තිබූ ඒවායි. හැරී කුමරු තම මෑණියන් සතුව තිබූ දියමන්ති කැට සිය අනාගත බිරියට තෑගි කිරීම වෙනම කතාවක්. ඒත් ඒ විවාහ ගිවිස ගැනීමේදී මීගන් පළමුවතාවට රාජකීය සම්ප්‍රදාය බිඳ දැමීම නම් කාගෙත් කතාබහට ලක්වී තිබුණා. රාජකීය සම්ප්‍රදායට අනුව රජ කුමාරයකුගේ හෝ කුමාරියකගේ විවාහ ගිවිස ගැනීමකදී කුමරිය ඇගේ දෙපා සම්පූර්ණයෙන්ම වැසෙන පරිදි දිගු ගවොමක් හැඳ සිටීම අතීතයේ සිටම කෙරෙන චාරිත්‍රයක්. ඒත් එදා මිගන් නම් ඉතා නිර්භීත විදිහට ඇගේ දෙපා නිරාවරණය වූ ඇඳුමකිනුයි සැරසී සිටියේ. රාජකීය මෝස්තර සම්ප්‍රදාය පළමු පිම්මේදීම බිඳ දැමු මේ අමෙරිකානු නිළිය අතින් ඉදිරියේදී තවත් රාජකීය සම්ප්‍රදායයන් ගණනාවක්ම බිඳ වැටෙනු ඇතැයි දැන් දැන් කවුරුත් කියනවා. ඒත් හැරී කුමාරයාට නම් ඒවායේ වගේ වගක් නෑ.

හැරී කුමාරයා කොහොමටත් රාජකීය පවුලේ ඌෂ්ණය එතරම් තදින් හිතට නොගත්තු තරුණයෙක්. සිය මැණියන් වූ ඩයනා කුමරියගේ අභාවයෙන් පසුව පියා චාල්ස් කුමරුගේ සෙවණේ හැදී වැඩුණත් තරුණ වියට එළැඹෙද්දී ඔහු බෙහෙවින් අකීකරු දරුවකු බවටයි පත්වුණේ. මිතුරන් සමග සාමාන්‍ය තරුණයන් සේ ලන්ඩනයේ වීදි පුරා රස්තියාදුවේ යාම ඔහුගේ දෛනික රාජකාරියක් වී තිබුණා. දඩබ්බර වැඩ කිරීම නිසා ලෙස ටැබ්ලොයිඩ් පුවත්පත්වලින් ‘කැලෑ කොල්ලා‘ යනුවෙනුත් ඔහු ලේබල් ගතවයි සිටියේ.

එහෙම වුණේ අවුරුදු 17 දී ගංජා උරන්නට ගොස් හසුවීමත්, මිතුරන් සමග එක්ව මත්පැන් පානය කොට පැපරාසි ඡායාරූප ශිල්පීන්ට දිගට හරහට ගුටිබැට දීමත් නිසයි. ලබන වසරේ වස්සානයේදී තම විවාහ මංගලෝත්සවය රාජකීය අන්දමින් පැවැත්වීමට දැනටමත් හැරී කුමාරයා දින වෙන් කර හමාරයි. එය වින්ඩ්සර් මාලිගාවේ සාන්ත ජෝර්ජ් පල්ලියේදී පැවැත්වෙනු ඇතැයි රජ පවුලේ නිවේදනයකින් සඳහන් වුණා. විවාහයෙන් පස්සේ ලන්ඩනයේ නොටින්හැම් ප්‍රාන්තයේ දෙදෙනා සිය පවුල් ජීවිතය ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.

දැන් කවුරුත් කතා කරන්නේ විවාහයෙන් පස්සේ හැරී කුමාරයාටත්, මීගන්ටත් එලිසබෙත් මහ රැජනගෙන් රාජකීය පෙළපත් නම් ලැබෙන ආකාරය ගැනයි.

රජ පවුලක උපන් ගැහැනියක් නොවන නිසා මීගන්ට කොහෙත්ම මීගන් කුමරිය ලෙස ආමන්ත්‍රණය කිරීමක් නම් නොලැබෙන බව සහතිකයි. ඒත් හැරී කුමාරයා ආදිපාදවරයකු ලෙස නම් කිරිමට නියමිත නිසා ඇය කුමාරිකාවක් ලෙස නොව ආදිපාදවරියක් ලෙස නම් කෙරෙනු ඇතැයි කවුරුත් කියනවා.

 

නව අදහස දක්වන්න