පෞද්ගලික අධ්‍යාපනයත් නිදහසේ අංගයක් | දිනමිණ

පෞද්ගලික අධ්‍යාපනයත් නිදහසේ අංගයක්

මහාචාර්ය කෝලිත එච්. සෙල්ලහේවා
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල

සයිටම් අර්බුදය විසදී ඇතත් සයිටම් උපාධිධාරී වෛද්‍ය සිසුන්ගේ ප්‍රශ්නය පිළිබද ඇත්තේ දෙගිඩියාවකි. ඒ පිළිබද සහ මෙරට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයේ අනාගතය පිළිබද විශේෂ අවධානය යොමු කරමින් විශේෂඥ වෛද්‍ය කෝලිත එච්. සෙල්ලහේවා එහා ඉවුරට එක් වේ.

* සයිටම් ආයතනය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා විරෝධතා ඇති වුණා. ඔබ මෙරට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන සම්බන්ධයෙන් දරන මතය කුමක් ද?

පළමුවෙන්ම කියන්න ඕන දෙයක් තමයි, මේ රටට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය කියන එක අත්‍යවශ්‍යයි. එහෙම කියන්නේ, මේ රටේ ඉපදෙන ඕනෑම කෙනෙකුට ඕනෑම තැනකට ගිහින් නිදහසේ ඉගෙන ගන්න අවස්ථාව තියෙන්න ඕන කියන එකයි. ඒ වගේම මේ රටේ නිදහස් අධ්‍යාපනය ලබලා උසස් අධ්‍යාපනයට එනකොට ඒ අයට නිදහසක් තියෙන්න ඕන, ඕනෑම තැනකට ගිහින් තමන්ගේ උසස් අධ්‍යාපනය සපුරා ගන්න. ඒක මේ රටේ පුරවැසියාගේ අයිතිවාසිකමක්. මේ රටේ අධ්‍යාපනය ලබන පිරිසට රජයේ විශ්වවිද්‍යාලවලින් වගේම පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් උසස් අධ්‍යාපනය ලබන්න පුළුවන්. නමුත් අද මතුවෙලා තියෙන ගැටලුව තමයි උසස් අධ්‍යාපනය ලබන්න රජයෙන් පහසුකම් දෙන්නේ ඉතා සීමිත පිරිසකට. මම හිතන විදිහට 90%කට වඩා වැඩි ප්‍රමාණයකට උසස් අධ්‍යාපනය ලබා දෙන්න රජයට හැකියාවක් නෑ. මේ 90% තුළත් ඉන්නේ මේ රටේ අධ්‍යාපනය ලබලා උසස් අධ්‍යාපනය ලබන්න ඕන ශිෂ්‍යයෝ. ඒ නිසා තමයි මම කියන්නේ ඒ අයට අධ්‍යාපනය ලබන්න පෞද්ගලික අධ්‍යාපන ආයතනය හෝ තියෙන්න ඕන කියලා.

* රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට පරිභාහිරව පෞද්ගලික විශ්වවිද්‍යාල ගොඩනැඟීම මේ රටේ නිදහස් අධ්‍යාපනයට බාධාවක් කියලා ඇතැමුන් පෙන්වා දෙනවා?

උසස් අධ්‍යාපනයට රාජ්‍ය විශ්වවිද්‍යාලවලට තෝරා ගන්නේ සීමිත ප්‍රමාණයක්. මම කලින් කිව්වා වගේ එය ඉතාමත් සුළු ප්‍රමාණයක්. රාජ්‍ය විශ්වවිද්‍යාලවල තිබෙන පහසුකම් අනුව තමයි ඒ ප්‍රමාණය තෝරා ගන්නේ. ඊට වඩා වැඩි පිරිසක් ඇතුළත් කරගන්න බැහැ. මේවත් පෞද්ගලික රෝහල් වගේ තමයි. ඉස්සර තිබුණේ රජයේ රෝහල් පමණයි. ඒ වගෙනුත් හොඳ පහසුකම් තිබුණේ කොළඹ මහ රෝහලේ පමණයි. මේ රටේ සියලුම තරාතිරම්වල අය එදා මේ රෝහල්වලට ආවා ගියා. ඒ අයට යන්න වෙන තැනක් තිබුණේ නෑ. ඊට පස්සේ පෞද්ගලික රෝහල් බිහි වීමත් එක්ක වඩාත් දියුණු පහසුකම් එක්ක රෝගීන්ට සේවා සපයන්න ගත්තා. ඒ වෙනකොට රජයේ රෝහල්වල නොතිබුණ පහසුකම් පෞද්ගලික රෝහල්වල ආරම්භ කළා. ඊට පස්සේ රජයේ රෝහල්වල තදබදය අඩු වෙලා රෝගීන් පුද්ගලික රෝහල්වලට ගියා. රජයේ රෝහල්වල තදබදය අඩු වෙනකොට ඒ රෝහලුත් පෞද්ගලික රෝහල් මට්ටමට දියුණු වුණා. ඒ වගේම තත්ත්වයක් තමයි මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය බිහිවීම.

* කොහොම නමුත් නුසුදුස්සෝ වෛද්‍යවරුන් බවට පත් කරනවා කියලා චෝදනාවක් එල්ල වෙනවා?

අපි කියන්නේ නෑ සුදුසුකම් නැති අය මේ ආයතනවලට බඳව ගන්න ඕන කියලා. වෛද්‍ය උපාධියකට පෙනී හිටින්න නම්, රජයේ විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නවා වගේම සුදුසුකම් තියෙන්න ඕන. ඒ වගේම තමයි මේ රටේ වැඩි ප්‍රතිශතයකට උසස් අධ්‍යාපනය ලබා ගන්න විදිහක් නැති නිසා ඔවුන් රට අතැරලා යනවා. සල්ලි තියෙන අය ගිහින් විදෙස් රටවලින් හරි ඉගෙන ගන්නවා. සල්ලි ගෙවලා ඉගෙන ගන්නවා ද නැද්ද කියන එක නෙමෙයි වැදගත්. යම් අයෙකුට මුදල් දීලා හරි ඉගෙන ගන්න ඕන නම් ඒකට අවස්ථාව තියෙන්න ඕන. ඇයි එහෙමනම් රජයේ රෝහල් තිබියදී පුද්ගලික රෝහල්වලට ජනතාව යන්නේ. අපිට කියන්න බෑ ඒ අයට පුද්ගලික රෝහල්වලට යන්න එපා කියලා. සල්ලි තියෙනවා නම් ඒ අය යනවා. ඒ වගේම සල්ලි තියෙනවා නම් සමහරු වෙනත් රටවල්වලට ගිහිල්ලත් ප්‍රතිකාර ගන්නවා. ඒක මේ රටේ මහජනතාවගේ අයිතියක්.

* සයිටම් විරෝධී කඳවුර පෙන්වා දුන්නේ සයිටම් ආයතනයට බඳවා ගන්නා වෛද්‍ය ශිෂ්‍යයන්ට, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා වෛද්‍ය සිසුන්ට ඇති අවම සුදුසුකම්වත් නෑ කියලයි. ඒ ගැන මොනව ද කියන්නේ?

ඒ අය කොහොම කියන්නේ මේ ආයතනයට බඳවා ගත්තු ශිෂ්‍යයන්ට සුදුසුකම් නෑ කියලා. ඒ අයට තියෙන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් එක්ක තියෙන වෛරයක්. ඒ වෛරය හරහා එක එක දේවල් කියනවා. ඒ අයගේ හදවතේ තියෙන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඕනෙ නෑ කියලයි. ඒක තහවුරුකර ගන්න පුළුවන් තරම් බොරු කියනවා. මෙතන ඉන්න සිසුන්ට සුදුසුකම් තියෙනවා ද නැද්ද කියලා බලන්න පුළුවන් මෙතැනින්ම තමයි. මේ ආයතනයට සිසුන් බඳවා ගන්නේ මණ්ඩලයක් පත් කරලා. ඒ මණ්ඩලයට විශ්වවිද්‍යාල පීඨාධිපතිවරු ඉන්නවා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ බලධරයන් ඉන්නවා. මේ වගේ මණ්ඩලයකින් තෝරා ගන්න අයට සුදුසුකම් නෑ කියලා කියන්න බෑ. මම දන්න විදිහට ලංකාවේ උසස් පෙළ, ලන්ඩන් උසස් පෙළ කරපු, අවම සුදුසුකම් සපුරපු අය තමයි තෝරා ගන්නේ. එහෙම තෝරාගන්නා අය සම්මුඛ පරීක්ෂාවට ලක් කරන්නේ සයිටම් ආයතනයේ අය නෙවෙයි. ඒ නිසා ඔය ගේන තර්ක තේරුමක් නැති ඒවා. මම දන්න විදිහට මෙතැන උසස් පෙළ ඒ සාමාර්ථ තුනක් ගත්තු අයත් ඉන්නවා.

* කොහොම නමුත් මේ වනවිට සයිටම් ආයතනයට නවක සිසුන් බඳවා ගන්න බෑ කියලා සඳහන් වුණා නේද?

ඒ ගැන මට පැහැදිලිවම කියන්න බැරි වුණත්, මට හිතෙනවා මේ සම්බන්ධයෙන් වෙනත් සැලැසුමක් ඇති කියලා. සයිටම් ආයතනය කියන්නේ පෞද්ගලික ආයතනයක්. ඒකට රජයේ මුදල් වැය කරන්නේ නෑ. මේ ආයතනය පවත්වාගෙන යන්නේ, සියලුම පරිපාලන කටයුතු කරන්නේ බඳව ගන්න ශිෂ්‍යයන්ගෙන් ලැබෙන ආදායමින්. මේ ආයතනයට වෙනත් ආදායම් මාර්ගයක් නෑ. මේකත් ටියුෂන් පන්තියක් වගේ තමයි. දැන් ලංකාවේ ඉන්න ගොඩක් දරුවෝ ටියුෂන් යනවා. ඒ යන ටියුෂන්වලට ගාස්තු ගෙවනවා. මෙතැනදී කරලා තියෙන්නේ සයිටම් ආයතනයට සිසුන් එන එක වළක්වලා, ලැබෙන ආදායම අහිමි කිරීමක්. එකෙන් පැහැදිලිව පෙනෙන්නේ මේ ආයතනය වසා දැමීමක් කියලයි.

* කමිටුවේ යෝජනා මාලාවේ සඳහන් වුණා සයිටම් ආයතනය තවදුරටත් ලාභ නොලබන ආයතනයක් බවට පත් කරනවා කියලා?

එහෙම කරනවා නම් කවුරු හරි මේ ආයතනය නඩත්තු කරන්න මුදල් වැය කරන්න ඕන. ආණ්ඩුව ආයෝජනය කරන්නේ නැත්නම් වෙනත් පුද්ගලයෙක්, ධනපතියෙක් මුදල් වැය කරන්න ඕන. ලාභ නොලබන්න කවුරුවත් ව්‍යාපාරයක් කරන්නේ නෑ. දැන් තියෙන පෞද්ගලික රෝහල් වුණත් කොයි තරම් ලාභ ලබනවා ද, අද ලෝකය පුරාම මේ වෛද්‍ය සේවා විශාල මුදල් උත්පාදන අංශයක් වෙලයි තියෙන්නේ. මේ ක්ෂේත්‍රය ලාභ ලබන අතර තුර සේවාවක්ද කරනවා. සයිටම් ආයතනය එහෙම කියලා මම හිතන්නේ නෑ. සභාපතිතුමා ඔය ආයතනය ආරම්භ කළේම, මෙවැනි අධ්‍යාපනයක් ලබා ගන්න බැරි පන්තියකට ඒ අවස්ථාව හිමි කරදීලා එහි සියලු වගකීම් එතුමා ගත්තා. අපේ අය කරන්න ඕන එතුමාව ප්‍රතික්ෂේප කරන එක නෙවෙයි, මේ වගේ දෙයක් අපේ රටේ දරුවන්ට ලබා දුන්න එතුමා ආරක්ෂා කරන්න ඕන. කවුරුවත් තමන්ගේ මුදල් මෙහෙම වියදම් කරන්නේ නෑ. හරියට මේ ආයතනය පවත්වාගෙන ගියොත් වෙනත් රටවල ශිෂ්‍යයන් පවා මේකට බඳව ගන්න පුළුවන්. ඒක මේ රටට විදේශ විනිමය උත්පාදනය කිරීමක් කරගන්නත් පුළුවන්.

* චෝදනාවක් එල්ල වෙනවා සයිටම් ආයතනයෙන් බිහි වන්නේ ගුණාත්මක වෛද්‍යවරයෙක් නෙවෙයි කියලා?

මමත් රාජ්‍ය සේවයේ අවුරුදු තිස් ගාණක් ඉදලා ආවේ. මම වෛද්‍යවරු පුහුණු කරන්නේ ලෙඩ්ඩු මරන්න නෙමෙයි. මේ ආයතනයට මුල් කාලයේ බැඳුණ මාලදිවයින් ශිෂ්‍යයෙක් අද ඒ රටට ගිහින් දක්ෂ වෛද්‍යවරයෙක් වෙලා ඉන්නවා. අපිට ඕන සමාජයට හොඳ සේවයක් කරන වෛද්‍යවරයෙක් බිහි කරන්න මිසක් ලෙඩ්ඩු මරන වෛද්‍යවරු බිහි කරන්න නෙවෙයි. අපි පුහුණුවීම් කරනවා විතරක් නෙමෙයි, ඒ අයට විභාග තියනවා, ඒ විභාගවලින් ඉහළ සාමාර්ථ ගන්න අය විතරක් සමත් කරලා අනෙක් අය අසමත් කරනවා.

* ඔබ කොහොම කිව්වත් සයිටම් විරෝධීන් දිගින් දිගටම පෙන්නලා දුන්නේ සයිටම් වෛද්‍යවරුනට සායනික පුහුණුව ප්‍රමාණවත් නෑ කියලයි?

සයිටම් සිසුන්ට නෙවිල් ප්‍රනාන්දු රෝහලේ තමයි සායනික පුහුණුව දෙන්නේ. මේ රෝහලේ ලෙඩ්ඩු සංඛ්‍යාව අඩුයි. ජාතික රෝහල ගත්තොත් ඕනෑ තරම් ලෙඩ්ඩු ඉන්නවා, ඒ වගේ අද උඩයි යටයි හැම තැනම ලෙඩ්ඩු ඉන්නවා. මම කොළඹ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ට ජාතික රෝහලේ උගන්වලා තියෙනවා. ඒ හින්දා මම දන්නවා කොච්චර ප්‍රමාණයක් ලෙඩ්ඩු ඕනද කියලා උගන්වන්න කියලා. ලෙඩ්ඩු සීයක් හිටියත් ශිෂ්‍යයන් ලෙඩ්ඩු දහයක්වත් බලන්නේ නෑ. ඉන්න ප්‍රමාණය නෙවෙයි වැදගත් තත්ත්වයයි. මම විශ්‍රාම ගියාට පස්සේ තමයි මෙතන්ට ආවේ. ඒ හැම තැනම වෛද්‍ය ශිෂ්‍යයන්ට ඉගැන්නුවාට වඩා වැඩියෙන් මෙතන මට මේ සිසුන්ට උගන්නන්න අවස්ථාව තියෙනවා. මෙතැන රෝගීන් අඩුවීම තුළම වෛද්‍ය ශිෂ්‍යයන්ට උගන්වන්න තියෙන කාලය වැඩි වුණා. ඒ නිසා අපිට සයිටම් සිසුන්ට හොඳ පුහුණුවක් එක්ක උගන්වන්න අවස්ථාව තියෙනවා. නමුත් රජයේ රෝහල්වල ඉන්න රෝගීන් සීයක් විතර බැලුවම අපි හෙම්බත් වෙනවා. උගන්වන්න කාලයක් නෑ.

* සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන්ට අසාධාරණයක් සිදුවී ඇතැයි එම සිසුන්ගේ මව්පියන් පෙන්වා දෙනවා. ඒ වෛද්‍ය සිසුන් සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ගය කුමක් ද?

දැනට සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිය සමත් වුණ වෛද්‍ය සිසුන් පිරිසක් ඉන්නවා. ඒ අයට අනිවාර්යයෙන්ම වෛද්‍ය සභාවේ ලියාපදිංචිය දෙන්න ඕන. මොකද ඒ අය වෛද්‍ය උපාධියට අදාළ සියලු පුහුණු වීම් ලබා ගත්තා. ඒ වගේම සියලු විභාග සමත් වෙලා තියෙනවා. ඒ වගේම ඒ අය අවිස්සාවේල්ල සහ කඩුවෙල කියන රෝහල්වලින් පුහුණුවීම අරන් තියෙනවා. මම දකින විදිහට මේ වෛද්‍ය සිසුන් ඕනෑවට වඩා සුදුසුකම් සපුරලා තියෙනවා. ඒ නිසා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය නොදී ඉන්න කිසිම හේතුවක් නෑ. ඒ සිසුන්ට තවදුරටත් අසාධාරණයක් නොකර මේ ගැටලුව සමතයකට පත් කරලා මේ සිසුන්ට සාධාරණය ඉටු කළා නම් හොඳයි.

* සයිටම් ආයතනය ඉදිරියේ දී විවෘත විශ්වවිද්‍යාලයක ආකාරයෙන් පවත්වාගෙන යනවා නම් දැනට සයිටම් ආයතනයට බඳවාගෙන ඉන්න සිසුන්ට මොකද විය යුත්තේ?

දැනට බඳවගෙන ඉන්න සිසුන්ට අදාළ දේශන තියලා පාඨමාලා අවසන් කරන්න ඕන. ඒ වගේම ඒ අයට අදාළ විභාග තියන්න ඕන. දැනට වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරන්න සූදානම් වෙලා ඉන්න අයට අදාළ විභාග, පුහුණුවීම් දීලා ඒ අය ලියාපදිංචි කරන්න ඕන. කොහොම නමුත් විවෘත විශ්වවිද්‍යාලයක් විදිහට මේක ඉස්සරහට අරගෙන ගියත්, ඉන්න අයට තියෙන පාඨමාලා අවසන් කරන්න වෙනවා. ඒ විදිහට වෙනස් වුණොත් පරිපාලනය තමයි වෙනස් වෙන්නේ, මොකද මේ ආයතනයට නැවත බඳවා ගැනීම් කරන්නෙ නෑ කියලත් කියනවා. එහෙමනම් ඉන්න අයට අදාළ කටයුතු සියල්ල පිළිවෙළින් අවසන් කරන්න වෙනවා. එහෙම නැතිව ඒ අය මෙතැනින් එළියට යවන්න විදිහක් නෑ.

* විදෙස් වෛද්‍ය උපාධිලාභින්ට වෛද්‍ය සභාවේ විභාගයට පෙනී සිටින්නත් සයිටම් සිසුන් පෙනී නොසිටීමටත් හේතුව මොකක් ද?

සයිටම් සිසුන් ලංකාවේම පුහුණුවීම් ලබන හින්දා වෛද්‍ය සභාවම කියලා තිබුණා, ඒ විභාගය මේ සිසුන් කරන්න ඕන නෑ කියලා. මේක පටන් ගත්ත දවසේ ඉදලාම ඒ විභාගයට පෙනී සිටීමේ අවශ්‍යතාවයක් මේ සිසුන්ට තිබුණේ නැත්තේ, එහෙම අවශ්‍යතාවයක් නෑ කියලා ඒ අයම කිවුව නිසයි. අද වෙලා තියෙන්නේ කාලෙන් කාලෙට එක එක්කෙනා කියන විදිහට මේ දේවල් වෙනස් කරනවා. කවුරු බලපෑම් කළත් මේ රටේ ප්‍රතිපත්ති ඒ ඒ අයට ඕන විදිහට වෙනස් කරනවා නම්, ඒක භයානක තත්ත්වයක්.

* රටට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය අවශ්‍යයි කියලා රජය පිළිගැනීම සම්බන්ධයෙන් ඔබ ආයතනයේ සභාපතිවරයා රජයට ස්තූතිය පළ කරලා තිබුණා?

මට ඒ ගැන නම් වැඩි පැහැදීමක් නෑ. රටේ පාලකයන්ට හිතෙනවා නම් මේ රටට පෞද්ගලික අධ්‍යාපනය අවශ්‍යයි කියලා, මේ ප්‍රශ්නය මේ තරම් දුර ගෙනියන්න ඕන නෑ. පාලකයන්ට පුළුවන් ප්‍රතිපත්ති සම්පාදනය කරන්න. ඒකට වෙනත් පිරිස්වල බලපෑම්වලට යටත් වෙන්න අවශ්‍ය නෑ. සෘජුව තීන්දු තීරණ ගන්න පුළුවන්. මේ කරගෙන යන ක්‍රියාවලියෙන් සිදු වෙන්නේ මේ රටේ දූ දරුවන් සිය දහස් ගණනක් නිසි අධ්‍යාපනයක් ලබන්න බැරිව මේ සමාජ ක්‍රමය තුළම අසරණ වෙලා යටපත් වෙලා යන එකයි. මම නම් මේ තීන්දු තීරණ ගන්නේ, මට හිතෙනවා නම් මේ පෞද්ගලික අධ්‍යාපනය මේ රටේ විශාල වෙනසක් ඇති කරයි කියලා, සෘජුවම ඒ තීරණය මම ගන්නවා. නැත්නම් එක පෑන් ඉරකින්ම ඉවත් කරලා දානවා. එතැනින් එහාට මේ ප්‍රශ්නය තැන තැන වැටී වැටී දුවන්නේ නෑ. හැමෝටම විසඳුමක් තියෙනවා.

 

දුමින්ද අලුත්ගෙදර
ඡායාරූප නිරෝෂ් බටේපොළ

නව අදහස දක්වන්න