මනෝ විද්‍යාෙව් CID හාස්කම් | දිනමිණ

මනෝ විද්‍යාෙව් CID හාස්කම්

ඩබ්ලියු අකුරින් හෙළිවන රහස

උමතු බෝම්බකරුගේ ලිපි තුළින් එක්වරම මගේ සිහිය අවදි කළ වෙනත් බලවත් කාරණයක්ද විය. ඔහුගේ අච්චු කැපූ අකුරුවල දෝෂ රහිත ක්‍රමානුකූල බවක් පෙන්නුම් කළේ භින්නෝන්මාදී රෝගියෙකුගෙන් බලාපොරොත්තු විය හැකි ආකාරයටමය. සම්පූර්ණයෙන්ම පාහේ පිළිවෙළකට, ඉංග්‍රීසි හෝඩියේ අකුරු විසිපහක්ම ලියා තිබුණු නමුත් ඉතිරි අක්ෂර එනම් ඩබ්ලියු අකුර පුදුමයට මෙන් විකෘති, විරූපී හා අස්වාභාවිකව ලියවී තිබුණි.

මේ සම්බන්ධයෙන් මගේ ඊළඟ හේතු දැක්වීම ඇතමෙකුට ඇදහිය නොහැකි බව මම තරයේ විශ්වාස කළෙමි. මේ පිරිස් අතර, ඒ මොහොතේ මා ඉදිරියේ සිවිල් ඇඳුමින් සැරසී සිටි රහස් පොලිස් නිලධාරින් සිටිනු ඇති වුවත් ඉන්ස්පෙක්ටර් ‍ෆිනී මේ ගොඩට වැටීමට ඉඩක් නැතැයි මම කල්පනා කළෙමි.

සිග්මන් ‍ෆ්‍රොයිඩ්ගේ සිට මනස පිළිබඳව ඉතා සියුම් සෝදිසිවලට එළඹි මනෝවිද්‍යාත්මක ගවේෂකයින් මුහුණදුන් ගැලුවට මමද මුහුණදී සිටියෙමි. මන්ද, මනෝවිද්‍යාව හා මනෝචිකිත්සාව යන නම්වලින් හැඳින්වෙන දැවැන්ත විෂයපථයේ වෘත්තිකයින් නොවන හා සුවිශේෂ දැනුමක් නොමැති පිටස්තරයින් හට මනෝවිද්‍යාත්මක සියුම් අදහස් බුද්ධියේ උගුරෙන් පහළට දමාගැනීම අතිශය දුෂ්කර කටයුත්තක් බැවිනි. බෝම්බකරුගේ විකෘති බඩ්ලිව්. අක්ෂරය පිළිබඳව මාගේ හේතු දැක්වීම ඇදහිය නොහැකි නම්, මට කීමට ඇත්තේ මනසද ඇදහිය නොහැකි දෙයක් බව පමණි. මනස හැමවිටම, හැම තැනම ක්‍රියාකාරීය; සියල්ලේ අගතැන්පත් මේ මායාවී, මනඃකල්පිත සංකීර්ණ ඒකකයට තමන් තුළින්ම ඇරඹුමක් සහිතව අපූර්වාකාරයෙන් ක්‍රියාකළ හැක.

මනස යනු අවුල්සහගත, අපැහැදිලි හා ව්‍යාකූලත්වයෙන් පිරී දැවැන්ත ලෙස වෙනස්කම්වලට භාජනය වන සංකීර්ණ යාන්ත්‍රණයක් නම්, අප බොහෝදෙනකුට මෙය පාලනයට නතුකර ගනිමින් කළමනාකරණය කර ගැනීමෙන් එකිනෙකාහට සිත්ගන්නාසුළු සරුමිහිරක් අත්විඳිය හැකිය.

බෝම්බකරුගේ විකෘති ඩබ්ලිව්. අක්ෂරය, වෙනත් බොහෝ අයට වඩා අතිශය වෙනස් බැවින් මාගේ දෑස් අල්ලාගන්නට එය සමත්විය. භින්නෝන්මාදි රෝගියා මෙලෙස විස්තර කෙරේ. “පැහැදිලි බව හා නිරවුල් බව දැඩි ලෙස සිත්ගත් මිනිසෙකි. තමා තුළ අඩුපාඩුවක් ලෝකයා දකින්නේ නම් ඔහු එය දරා නොගනියි. මේ මිනිසා තුළ ඉතා කුඩා හෝ අසංවිධිතකමක්, පිළිවෙළක් නැති බවක් නොමැති නම්, ඒ තත්ත්වය මනෝ වෛද්‍යවරයකුගේ අවධානය සැණින් පැහැරගන්නකි. එපමණක් නොවෙයි, මෙබඳු සුළු වෙනස්කමක් අන් අයට සලකා බැලීමට කිසිම හේතුවක් නැතත්, රෝගියාට මෙන්ම වෛද්‍යවරයාට ඒ සුළුදෙයට විශාල හේතුවක් තිබේ. එම නිසා මම බෝම්බකරුගේ W අකුර වෙත වැඩි අවධානයක් යොමු කළෙමි.

බෝම්බකරු W අකුර ලියා තිබුණේ මූලික වශයෙන්ම U අකුරු දෙකක් එකට ගෑවෙන ලෙසය. අප කවුරුත් W අකුරේ තුඩුදෙන ඍජුව උල්වී V අකුරු දෙකක් එකට ගෑවෙන අයුරින් සාමාන්‍යයෙන් ලිවීමට හුරුවී ඇතත්, බෝම්බකරුගේ අක්ෂරය යූ අකුරු දෙකක හැඩය ගෙන තිබුණි. අනෙක් කැපිටල් අක්ෂර විසිපහම ඉතාමත් තියුණු ලෙස නියමාකාරයටම ලියා ඇත. W අකුර හරියටම, අවධානයෙන් යුතුව සීරුවෙන් සිටින සොල්දාදුවන් විසිපහක් අතර කොන්ද කුදුකර ගත් සොල්දාදුවෙක් වැනිය. නැතිනම් අමද්‍යප රැස්වීමකට පැමිණි බේබද්දෙකි. එම නිසා බෝම්බකරුගේ අක්ෂරය කැපී පෙනිණි.

භාෂාව යනු මනසේ කැඩපතය. විකාර අන්දමින් පතුල් වක්‍ර වූ W අක්ෂරය, උමතු බෝම්බයා ගැන යමක් පවසනවා මෙන් මට දැනිණි. සෙසු අකුරු සියල්ල අනම්‍ය දැඩි ගතියකින් නැගී සිටිද්දී වාරණයට ලක්වූ ඔහුගේ හෘදය සාක්ෂිය විසින් විකෘති W අකුර පමණක් අතීත හෘද සාක්ෂිය තුළ ගුළිවී ඇති යමක් කපටිකමෙන් මඟහැරීමක් හෝ සමතලාකොට විනාශකර දැමීමේ තදබල වේගයක් පෙන්නුම් කරමින් තිබේ. මේ තත්ත්වය තුළ ඔහුගේ ජීවිතයේ කිසියම් වැදගත් රහසක් ඇතැයි මම අනුමාන කළෙමි. එය කුමක් විය හැකි ද?

මම ඒ අමුතු අක්ෂරය වෙත දෑස් දල්වා හිටියෙමි. එය ස්ත්‍රී පයෝධර යුගලයක ඉදිරි පෙණුමට අතිශයින්ම සමානය. එය පිරිමියෙකුගේ අණ්ඩ කෝෂ පැසටද සමානය. කිසියම් ලිංගික කාරණයක් අරබයා බෝම්බකරු කරදර වනවා විය යුතුය. එසේ නම් ඒ රහස් කාරණය කුමක් ද?

ප්‍රහේලිකාව විසඳීම පිණිස ඉන්ස්පෙක්ටර් ෆිනී වෙත මේ ප්‍රශ්නය ඉදිරිපත් කරම්දෝ නොකරම්දෝ යන දෙගිඩියාවෙන් මම පසුවීමි. ඔහුට කතා කිරීම පිණිස, මගේ මේසයේ ඉදිරි අසුන් වෙත බැල්ම හෙළූ විගසම, සිවිල් ඇඳුමින් සිටි රහස් පොලිස් නිලධාරින් මගෙන් වහන්වී ඇස් බිමට හරව ගන්වා මම දැක්කෙමි.

‘සමාවෙන්න, මම ගොඩක් වෙලා ගත්ත’ මම කීවෙමි.

‘ඔබට අවශ්‍ය තරම් වෙලාව ගන්න’ එසේ මට කාලය දුන් ඉන්ස්පෙක්ටර් මෙලෙස ද පැවසුවේය. ‘හැමදෙනාම දන්න කියන දෙයක් අහන්න අපි ඩොක්ටර් ළඟට ඇවිල්ලා නෑ.’

මගේ මනසේ නලියන කරුණ මේ පොලිස් නිලධාරින්ට විශ්වාස කිරීට අපහසු විය හැක. ඒ නිසා බාගෙට තැම්බුණු අදහසක් මා ප්‍රකාශ කළා නම් කාට කාටත් වන්නේ අවැඩකි. එවිට ඔවුන් ඉදිරිපත් කරන්නේද එවැනිම අඩ අදහසකි. මගේ අදහස, මා තුළම හොඳින් හැඩරුව ගන්වා ගැනීමට ඉන්ස්පෙක්ටර් ෆිනීගෙන් වේලාව තවත් ලැබීම මට සහයකි.

සියල්ල නිවැරදිය, පතුල් වක්‍රවූ W අකුරේ අර්ථය කුමක් ද? මගේ මේසය මත වූ ලිපි හා ඡායාරූප එහෙ මෙහෙ පෙරළමින් මේ කරුණ ඔප්පුකර ගැනීම පිණිස මම හෝඩුවා සොයමින් සිටියෙමි. ටික වෙලාවක් ගෙවීයද්දී උමතු බෝම්බයාගේ මුළු පෞරුෂයම වටහා ගැනීමේ යතුර මට සිමීප විය. එය තිබු‍ෙණ් කුෂනය පලා තිබූ සිනමා ශාලා අසුනක් සහිත ඡායාරූපයකය.

මීට වසරකට පමණ ඉහත, සිනමාශාලා අසුන් තුළ ‍බෝම්බ අටවා තිබූ ආකාරය ගැන පුවත්පත් වාර්තා කියවමින් සිටියදී මා මනස තරමක කැලඹීමකට පත්වූ ආකාරය මට සිහිවේ. පැන නැඟුණු කාරණා පිළිබඳ එයින් පූර්ණ විග්‍රහයක් නොවුණත් අමුත්තක් ඇති බව මට හැඟිණි. නමුත් එකල මෙහි පසුපස්සේ පන්නා යාමට මට අවශ්‍ය නොවුණි. නමුත් ඒ කැලඹුම් හේතුව මේ තීරණාත්මක මොහොතේදී ක්ෂණිකව මුදුන් වන බවක් මට හැඟුණි.

බෝම්බකරුගේ අනෙක් සැම ඇටවීමක්ම කරනු ලැබුවේ, අනවශ්‍ය අවදානමක් කැමැත්තෙන් නොදරමින් අතිශය තීක්ෂණ ආකාරයකටය. ඒ සෑම අවස්ථාවකම ඔහු බෝම්බය අටවා සැණින් පලාගොස් තිබේ. මහජන දුරකථන කුටි, එළිමහනේ තිබූ ලොකර ආදියේ බෝම්බ අටවා, ඒ අසල නිකරුණේ හෝ හේතුවක් ඇතුව රැඳී සිට නැත. එසේම දොර අගුලුවල බෝම්බ බැඳ හෝ දුකරතන කුටිවල අසුන් යටිපැත්තේ බෝම්බ සවිකරද නැත. ඉතාමත් සරලව ඔහු කළේ, බෝම්බය තැබූ විගසින් ඉවතට යාමය. කරුණු එසේ නම්, මේ එන රටාව ප්‍රසාංගික ශාලා තුළ පමණක් නොකළේ මන්ද? ශාලා අන්ධකාරය මධ්‍යයේ අසුනක් යට බෝම්බය තබා, හෙමින් ‍නැගිට, ශාලාවෙන් පිටවී යාමට හොඳට ඉඩ කඩ නොතිබුණේ ද? එහෙත් කරදර වෙමින්, කාලය හා අවදානම දරමින් අසුන් යටි පැත්තේ කුෂන් පලා වැර විර්යයෙන් යුතුව ප්‍රසාංගික ශාලා තුළ බෝම්බ ඇටවීමට විශේෂ හේතුවක් තිබුණේ ද?

අසුන්වල කුෂන් පලා තිබුණේ ඩබ්ලියු අක්ෂරය ආකාරයට සමානවය. මෙයින් පෙනී යන්නේ මේ මිනිසා තුළ ක්‍රියාත්මක යම් බලවත් චිත්තවේගයක (හැඟීමක) පුපුරා යෑමකි. මේ චිත්තවේගය නම් කුමනාකාරයේ හෝ ලිංගික සබඳතාවයක් ඇති දෙයකි. උමතු බෝම්බයා හඳුනා ගැනීමේ දැවැන්ත පිම්මක් මේ ඔස්සේ තැබිය හැකි යැයි විශ්වාසයක් මා තුළ පහළ විය.

පැලූ අසුනක ඡායාරූපයක් මම හොඳින් නිරීක්ෂණය කළෙමි. කුෂණයේ වූ කැපුමෙන් සංකේතවත් වන්නේ කුමක්දැයි මම විශ්මයට පත්වීමි. අසුනේ යටි පැත්ත සාක්කු දුනු පිහියකින් යම් විදිහට පලා දැමීමට හේතුව කුමක් ද? මේ අසුනේ කුෂනයෙන් මිනිස් උකුල ප්‍රදේශය සංඛේතවත් වන්නේ ද? උඩු අතට පිහිය ඇන විකෘති බඩ්ලිව් අක්ෂරය ආකාරයෙන් මේ ‘උකුල’ ප‍්‍රදේශය පලා ඇත්තේ, බෝම්බකරු සංඛේතාත්මක ලෙස ස්ත්‍රියක් ලිංගික ලෙස පසාරු කරගෙන යන ආකාරයට ද? නැත්නම් පිරිමියෙකුගේ වෘෂණ කෝෂ පැස කපා ඉවත්කොට කර අඹන ආකාරයට ද? එසේ නොමැති නම් ඒ දෙයාකාර‍යටම ද?

නැවත වරක් මා තේරුම්ගත් කාරණය වූයේ, මා මේ සිතූ දේවල් මා ඉදිරියේ වාඩිවී සිටින අමුත්තන්ට විශ්වාස කළ නොහැකි බවය. මනෝචිකිත්සකයා මනසින් කපා කොටා අවබෝධ කර ගන්නා දේ පිටස්තරයාට විශ්වාස කිරීමේ ගැටලු ඇතිවීම සදාතනික සත්‍යයක් බවට පත්වී ඇතුවා ‍වැනිය. මට ඉතා පැහැදිලිව පෙනුණු කාරණයක් වූයේ, උමතු බෝම්බයාගේ උඩින් පල්ලෙන් පෙනෙන චරිත ලක්ෂණ හෝ ඔහුගේ ඇතුළාන්තව හා පිටස්තරින් ඇති පෙලඹවීම් හෙවත් අභිප්‍රේරණ ‍සහිත ප්‍රහේළිකාව දෙදරවීමට මට කිසිදා අවශ්‍ය නොවන බවය. කෙසේ හෝ යා දෙක නොරත රත යනාකාරයේ පරස්පර විරෝධී අන්තයකට මට පැමිණියෙමි.

රඟහල් අසුන් සීට් පැලීම යනු ඔහුගේ දැනුවත් (සවිඥානික) බලාපොරොත්තු (ප්‍රාර්ථනා) වල ඍජු එරෙහිවීමක් වන අතර මේවා එළි නොබැස ඔහුගේ යටිහිත තුළ ගුළිවී තිබේ. සීට් පැලීම යනු ඉතාමත් පැහැදිලිව පෙනෙන ආකාරයට හුදු ක්‍රියාවක් වන අතර සැබෑ පෙලඹවීම ඇත්තේ විඥානික ගැඹුරේ සැඟවීය. මේ සැඟවුණු තර්කය හෙළිදරව් කර ගැනීම සඳහා තීක්ෂණ සෙවීමක් කළ යුතුව ඇතැයි මම සිතුවෙමි.

දරුවකුගේ ජීවිතයට අතිශය බලපෑමක් කරන වඩාත් බලසම්පන්න පුද්ගලයින් දෙදෙනා වන්නේ ඔහුගේ මව හා පියාය. සාමාන්‍යයෙන් මොවුන් අන් කවරකුටවත් වඩා වැඩියෙන් තමන්ගේ ජාන මඟින් භෞතික ශරීරය හැඩගැන්වූවාක් මෙන්ම චරිතය ද හැඩගස්වයි. ළමයා දෙමාපියන්ගෙන් උකහා ගන්නා අනෙක් දේවල් වන්නේ ලිංගික දිශානුගත වීමයි. ඇතැම් මනෝචිකිත්සක වෛද්‍යවරුන් පිළිගන්නා ආකාරයට (හැමෝම නොවෙයි) සෑම පිරිමි ළමයකුගේම ජීවිතයේ එක් වකවානුවක ඉතාමත් බලවත් අන්දමින් තම මව කරා ලිංගික ආකර්ෂණයක් ඇතිවන අතරම පියා හා වෛරක්කාරී ගතියක් මතුවේ.

මව කෙරෙහි ඇති ලිංගික තහංචි ස්වභාවයත්, පියා කෙරෙහි ඇති සක්‍රීය විරෝධයත් සමාජය නො‍පිළිගන්නා නිසා සවිඥානිකව තමාද පිළිනොගනිමින් මේ හැඟීම් යටපත් හෝ මර්දනයකොට අවරෝධනයට පත්කර ගනියි. නමුත් යටපත් කොටගත් මේ හැඟීම් ඔහුගේ ඇතුළාන්තයේ ශක්තියක් ලෙස සැඟවී තිබේ. මේ කාරණය සම්බන්ධයෙන් බොහෝ පිරිමි ළමුන් ක්‍රමානුකූලව තම හැඟීම් කෙළවර කරගනු ලබන්නේ ගැටලුකාරී තත්ත්වයන් සමඟිනි. නමුත් යෞවනය තුළ වැඩෙන ගැටවරයා මවට වක්‍රව තිබූ ආදර (ඊඩිපස්) සංකීර්ණය තම වයසේ ‍යෞවනියකට මාරු කරයි. මේ සමඟින් ඔහුට තම ආදරයේ දැවටුණ ලිංගිකත්වය සමාජය පිළිගන්නා ආකාරයටම ප්‍රකාශ කිරීමේ වරම ලැබෙයි. දෙදෙනා අතර මේ බැඳීම උත්සන්න වන විට විවාහයට පත්වේ. එවිට මෙතෙක් තිබූ ගැටලුව විසඳී යයි.

නමුත් ඇතැම් පිරිමි ළමුන්ගේ මේ ක්‍රියාවලිය ඇදට ඇදී විකෘතව අපගමනය වෙයි. මාපියන්ගෙන් එක් අයකු මරණයට පත්වීමෙන් හෝ දික්කසාද වීමෙන් දුෂ්කරතාවන්ට මුහුණදෙන බාලයන් හෝ මාපියන් හා නිරන්තර ගැටුම්, භේද හා දබර ඇතිකර ගනිමින්, සුසංගත නොවූ ළමුන් සාමාන්‍යයෙන් මැදිවියේදී අමුතුම පුද්ගලයන් බවට පත්වෙයි. ඒ කෙසේ වෙතත් මොවුන්ගෙන් බොහෝදෙනා ජීවිත සාර්ථකත්වයට හිමිකම් කියයි. නමුත් ඉතිරි අය ප්‍රකටව මතුවන්නේ ලිංගික සහ වෙනත් ගැටලු බරින් පීඩිතවය.

උමතු බෝම්බයා, මෙබඳු ගැටලුවකින් බරපතළ කරදරයකට පත්ව ඇතැයි මට ඒකමතික තීන්දුවක් පහළ විය. විකෘති W අක්ෂරය හෝ පැලූ ආසන කවර හැර මගේ මේ අනුමාන කැබලිවලින් නිමවූ අනුමිතියට වෙනත් මාර්ගයක් නැත. මට දැනෙන අන්දමට, පුරුෂ ආධිපත්‍යය අවඥාවෙන් පහත්කොට සැලකීමටත්, පුරුෂයින් කෙරෙහි විශ්වාසය නොරැඳවීමටත් බෝම්බකරු ක්‍රියා කොට තිබේ. විශේෂයෙන්ම පොලිසිය හා ඔහුගේ පෙර සේවාදායකයා වූ කොන් එඩ් ඔහු විසින් තුට්ටුවකට හෝ ගණන් ගෙන නොතිබිණි. මේ කාරණය විසින් මට බල කළේ, ඔහු තම පියාට ආදරය නොකළාක් මෙන්ම වෛර කරන්නට ද ඇති බවය. ඕනෑම පුරුෂ ආධිපත්‍යයක් ඔහුට පෙනෙන්නට ඇත්තේ තම පියා විලසින් විය හැක. කොන් එඩ් බඳු සේවාදායකයකුට ඔහු වැඩකළේ නම් රාජකාරිය ඉතා හොඳින් කළ ද ආයතනය සමඟ හොඳ හිතක් හෝ ළෙන්ගතුකමක් වර්ධනය නොකරගත්තේ ය.

ඔහු තම පියා කෙරෙහි මෙබඳු වෛරී, විරෝධී හැඟීමක් ඇතිකර ගත්තේ මන්ද? සමහරවිට කෙසේ හෝ තම මවට තිබූ ආදර බැඳීම සහිත ඊඩිපස් සංකීර්ණයේ පියවර වර්ධනය වීමට ඔහුට කිසිදා ඉඩ නොලැබෙන්නට ඇත. මේ තත්ත්වය භින්නෝන්මාදී රෝගීන්ගේ පොදු රටාවකි. ‍

මගේ පුද්ගලික වෙද සේවයේදී මෙන්ම යුද හමුදාවේ මනෝචිකිත්සක යන සේවා දෙකෙහිදීම මේ රටාව මා හඳුනාගෙන තිබුණි. ලිංගික පරිණතභාවය අතින් බෝම්බකරු කිසියම් අවුලක සිටි බව පැහැදිලිය. මීට හේතුව ලෙස සැලකිය හැක්කේ, ඔහුගේ මනස තුළ නොනිමි මෙහෙවරක් ලෙස ස්ථාවරවූ මව් ආදර තහංචිය ය. ඒ කුමන හේතුවක් නිසා විය හැකි ද? සිදුවී තිබිය හැකි කාරණා දෙකක් මාගේ සිහියට නැඟිණි. එක්කෝ, බෝම්බකරුගේ මව මියගොස් තිබිණි. නැත්නම්, ඔහු කුඩා කාලයේදීම මව වෙන්වී යන්නට ඇත.

නමුත් මේ මොහොතේ මා කල්පනා ක‍ෙළ් ඔහු සඳහා සාධාරණ ලෙස ඒත්තුගත හැකිසේ පෙනෙන පැහැදිලි කිරීමක් මා සතුව ඇති බව සහ රංගශාලා ආසන කවර පැලීම නම් ක්‍රියාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් නැති බවය. කවර පැලීමේ ක්‍රියාව මඟින් ඔහු ප්‍රකාශයට පත්කොට තිබෙන්නේ තම මව පසාරු කරගෙන යාමේ හෝ කර ඇඹීම මඟින් පියා යටපත් කර ගැනීමට ගිල්වාගෙන සිටි ආශාවය.

විශ්වාස කිරීමට අපහසුයි?. සමහරවිට! නමුත් මෙතරම් හොඳින් විද්‍යාමාන වන හෝඩුවාවක් තවත්නම් මට සොයාගත නොහැක. ආධිපත්‍යයේ පුරුෂයින්ට, නොසි‍ඳෙන අහේතුක වෛරයක් දැක්වූ මිනිසෙක් සිතුවම් කිරීම සඳහා මේ විවරණය හොඳින්ම නොගැළපේ ද? ඔහු අවුරුදු දාසයක් පුරාම, තමන්ට අයත්විය යුතුය යන දෙයක් පුරුෂ ආධිපත්‍යය විසින් අහිමි කළාය යන විශ්වාසයේ එල්ලී සිට ඇත. ඔවුන් ඔහුට අහිමි කළේ කුමක් ද? ඔහුගේ ලිපි මඟින් කියා ඇත්තේ ‘යුක්තිය’ අහිමි කළ බවයි. නමුත් එය කුමක්දැයි නිවැරදිවම දැන සිටියේ ඔහුගේ ‘සිහි නැති සිහිය’ හෙවත් අවිඥානික මනස පමණි. ඒ අන් කිසිවක් නොවේ; මවට බැඳුණු ආදරය යි.

මේ අනුමිත හා අනුමාන තවදුරටත් තල්ලු කරමින් මම ඉදිරියට ගියෙමි. නිතර දෙවේලේ හුදකලාවේ සිටින පුද්ගලයකුගේ මානසික සිතුවමක් මම ඇඳගත්තෙමි. තම මව ආදරයේ කේන්ද්‍රයට පැමිණිදා සිට ඔහුට පිරිමින් සමඟ කිසිම ගනුදෙනුවක් නැත. ගැහැනුන් ගැනද ඔහුට තිබුණේ ඇබිති උනන්දුවක් පමණි. ඔහු කිසිදා විවාහ වූයේ නැත. නියත වශයෙන්ම ඔහු ‘කුමර බඹසර’ නොබිඳගත් පිරිමියෙකි.

සිංහල කළේ සමුනි සමරකෝන්

හෙට : උමතු බෝම්බයා සහ

වියපත් ගැහැනියක අතර සුලමුල


නව අදහස දක්වන්න

Or log in with...