මනල්තිව් මහ පරිමාණ වැලි ජාවාරම අල්ලයි | දිනමිණ

මනල්තිව් මහ පරිමාණ වැලි ජාවාරම අල්ලයි

පුත්තලම පොලිස් බල ප්‍රදේශයට අයත් මනල්තිව් ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් තිබූ නීති විරෝධි මහා පරිමාණ වැලි ජාවාරමක් වැටලූ පුත්තලම මූලස්ථාන පොලිසියේ නිලධාරින් එහි තිබී වැලි ගොඩ දැමීමට යොදා ගන්නා උපකරණ රැසක් පොලිස් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබුණි.

වසර ගණනාවක සිට ඉවක් බවක් නොතකා නීති විරෝධිව බලපත්‍ර රහිතව මනල්තිව් මී ඔය ආශ්‍රිතව පවත්වාගෙන යනු ලැබූ මේ මහා පරිමාණ වැලිජාවාරම සම්බන්ධයෙන් දිගින් දිගමට ප්‍රදේශවාසීන් කිහිප වතාවක්ම පුත්තලම පොලීසියට තොරතුරු ලබා දීමෙන් අදාළ වැටලීම සිදුකර ඇත.

ඒ අනුව මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලි ගොඩ දැමීමට යොදා ගන්නා උපකරණ අතරින් පාරු 6ක්, පාරු සඳහා යොදා ගන්නා යකඩ බැරල් 50කට ආසන්න ප්‍රමාණයක්, සවල් සහ පනිට්ටු ඒ අතර තිබී හමුව ඇති බවත්, අදාළ ස්ථානය වැටලීම් සිදුකරන අවස්ථාවේදී කිසිදු සැකකරුවකු එම ස්ථානයේ නොසිට ඇති බවත් පරීක්ෂණ පවත්වන පුත්තලම පොලීසිය සඳහන් කළේය.

නීති විරෝධි මෙම වැලි ජාවාරම හේතුවෙන් මේ වන විට මී ඔය ආශ්‍රිතව උග්‍ර පාරිසරික ගැටලු රැසක් පැන නැඟී ඇති අතර, මී ඔය ස්ථාන කිහිපයකින් මේ වන විට අවහිරවීම නිසාවෙන් ජලය ගලා යෑම තාවකාලිකව නතර වී තිබේ.

මේ හේතුවෙන් පවතින වර්ෂාපතනයත් සමඟ නුදුරේදී ගංවතුර අවධානම් තත්ත්වයක් උද්ගතවීමට ඇති න බව ප්‍රදේශවාසීහු පවසති.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන මහතාගේ උපදෙස් මත පුත්තලම පොලිස් ස්ථානයේ නිලධාරිහු පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

අත්අඩංගුවට පත් උපකරණ නඩු භාණ්ඩ වශයෙන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

සටහන හා ඡායාරූප
මුන්නේශ්වරම සමූහ ඊ. සී. ප්‍රනාන්දු
වනාතවිල්ලුව කේ. ප්‍රියංකර

 

නව අදහස දක්වන්න