ඇතුවත් බැරි නැතුවත් බිස්නස් | දිනමිණ

ඇතුවත් බැරි නැතුවත් බිස්නස්

“බිස්නස් කරන්නේ මුදලාලි ලා ය. ඉගෙන ගත් මිනිසුන් නොවේ ය. ඉගෙන ගත් මිනිසුන් කරන්නේ රස්සා ය“. මේ අප බොහෝ දෙනෙකුට සිතන්නට පුරුදු කර ඇති ක්‍රමය ය.

උගත්කම ලොකුවට සළකන සමාජයක “බිස්නස්“ කාරයාට ඇත්තේ කුඩම්මාගේ සැළකිල්ලක් ය. ඒ නිසා ඇතැම් ව්‍යාපාරිකයන් ද පුරුදුව ඇත්තේ සිය දරුවන්ට අධ්‍යාපනය දී තමන්ට නොලැබුණා යැයි හිතන “තැන“ අරන් දීමට ය.

මගුල් තුලා වෙළඳ පොළේ ද ඒ හැටි අගයක් “බිස්නස්“ කාරයෙකුට ලැබෙන්නේ නැත. එසේ ලැබෙතොත් ඒ තව “බිස්නස්“ කාරයෙකුගෙන් විතර ය.

එක හේතුවක් විය හැක්කේ ව්‍යාපාරයක් තුළ තිබෙන අස්ථාවරත්වය ය. අද ඉහළ නැගි ව්‍යාපාරයක් හෙට පහළට වැටිය හැකි ය. නිත්‍ය ආදායමක සුරක්ෂිතතාවය හොයන කෙනෙකුට මේ ඉහළ නැග ඇති ව්‍යාපාරය පවා පෙනෙන්නේ අවිනිෂ්චිත එකක් හැටියට ය. ඒ නිසා ඒ හැටි නොවටිනා එකක් හැටියට ය.

නිත්‍ය ලෙස ලැබෙන සොච්චම් පඩිය, එමෙන් සිය ගුණයක් වටිනා ව්‍යාපාරික ලාභයට ඉහළින් තැබෙන්නේ ඒ නිසා ය.

මෙයට තව හේතුවක් තිබේ. ඒ ආගම හා බැඳුනකි. ඇත්තටම රටේ වඩාත් ප්‍රචලිතව පවතින හීනයාන බුද්ධාගම හා බැඳුනකි. සීමාවක් නැති සල්ලි කියන්නේ ආශාවේ, ආගමික භාෂාවෙන් ම කිවතොත් තණ්හාවේ, සංකේතය ය. ඉතින් එය පිටු දැකිය යුතු ය. එය සමග බැඳී ඇත්තේ පාපය ය. රැකියාවෙන් ලැබෙන නිත්‍ය ආදායම මෙන් නොව, ව්‍යාපාරයකින් ලැබිය හැකි මේ අසීමිත ධනය පාපයේ දොරටු විවෘත කරන යතුර ය.

අතීතයේ මනස්ගාත

තුන්වෙනි හේතුව අප කුඩා කල රටේ ප්‍රචලිත වූ ද අදටත් නොනැසී පවතින්නාවූ ද සමාජවාදය විසින් දායාද කොට ඇති මතවාදයන් ය. එයට අනුව ව්‍යාපාරිකයා සූරා කන්නෙකි. ඉතින් සූරාකන්නෙකු ලෙස හංවඩුවක් ගසා ගැනීමට කැමති කවුරුන් ද? ඒ නිසා ම හැකියාවක් ඇති අය පවා ව්‍යාපාරිකයෙකු වීමේ අදහසට පිටුපාති.

මේ බොහෝමයක් අදට වලංගු නැති අතීතයේ අපේ මනස මතට පැටවුණු මනස්ගාත ය. අප එසේ කියන්නේ ඇයි?

පළමුව, බොහෝ රටවල බිස්නස් කරන්නේ උගත් මිනිසුන් ය. අප රටේ ද මෑතක දී මේ ප්‍රවණතාවය දක්නට ලැබෙන්නේ ය. එහෙත් මේ සඳහා ඉදිරිපත් වන්නේ අර අතීත මනස්ගාත ඉවත් කරලීමට සමත් වූ ටික දෙනෙකු පමණ ය. වඩ වඩා උගත් අය ව්‍යාපාර ආරම්භ කරන්නේ නම් ඒවා සාර්ථක වීමේ ඉඩ විශාල ය. අපට අවශ්‍ය එවැනි උගතුන් වැඩි වැඩියෙන් ඇති කිරීම ය. එහෙත් අපේ සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය තවමත් අපේ සිත් තුළ තිබෙන මනස්ගාත ඉවත් කිරීමට අසමත් ය. ඒ වෙනුවට අධ්‍යාපනික ආයතන බොහෝමයක සිදු වෙමින් ඇත්තේ ඒවා තව තවත් පොහොර දමමින් වැඩීම ය. ඒ නිසා ව්‍යපාරිකයන් වෙනුවට ඔවුන් බිහිකරන්නේ වැටුප් ශ්‍රමිකයන් ය. ඊටත් ආණ්ඩුවේ රස්සාවල් පතන, කුඩා හෝ අවදානමක් ගැනීමට අකමැති වර්ගයේ මිනිසුන් ය.

දෙවැන්න, එනම් රැකියාවක මෙන් නිත්‍ය ආදායමක් නොලබන නිසා අද හොඳට ජීවත්වන්නට හැකි වුව ද හෙට ඒ සහතිකය නැතැයි සිතා පසුබෑම, කරුණු නොදැනීම නිසා ඇතිවන්නකි. දක්ෂ ව්‍යාපාරිකයෙකු තමන් උපයන හැම දෙයක් ම පරදුවට තබමින් ව්‍යාපාරය දියුණු කරන්නේ නැත. ඔහු හැම විටම හෙට වෙනුවෙන් ඉතිරි කිරීමට කැප වේ. එවැනි ඉදිරි දැක්මක් ඇති ව්‍යාපාරිකයෙකුට තමන්ගේ ව්‍යාපාරය වැටීම ප්‍රශ්නයක් වන්නේ නැත. විශේෂයෙන් ම උගත් ව්‍යාපාරිකයන් මේ අවදානම හොඳින් කළමනාකරණය කරනු ඇත්තේ ය. ඊට අමතරව අප සුරක්ෂිත යැයි කියන රැකියා ඇත්තේ රාජ්‍ය අංශයේ පමණ ය. රටේ හැම කෙනෙකුටම රාජ්‍ය අංශය තුළ රැකියා සෙවිය නොහැකි ය. එයින් සිදු වන්නේ ඒ රැකියා බිංදුවට ම බැසීම ය. ඒ සමග රටත් බිංදුවට බැසීම ය. ඒ නිසා ම මේ නිත්‍ය ආදායම උදෙසා ව්‍යාපාරයකට පිටු පෑමේ මතවාදය දිගින් දිගට ගෙන යෑ හැකි එකක් නොවන බව අප වටහා ගත යුතු ය.

තෙවැන්න තණ්හාව පිළිබඳ කියන අනුවණ බණ ය. ඒ බණට අනුව මුදල් හඹා යෑම තණ්හාව ය. තණ්හාව නැති කළ හැක්කේ හා නැති කළ යුත්තේ අල්පේච්ඡ ජීවිතයක් ගත කරමිනි. හැම දෙයක්ම අත් හැරීමෙනි.

හොඳින් විමසුවොත් පෙනෙන්නේ තණ්හාව ප්‍රශ්නයක් වන්නේ එය ඇලීමට හා ගැටීමට මග පාදන නිසා බව ය. ඒ හරහා ජීවිතය අවුල් විය හැකි නිසා බව ය. මුදල් ඉපැයීමට ඉදිරිපත් වීම තණ්හාව නොවේ. එය මත සියල්ල තීරණය කිරීම හා එය අහිමිවී ගිය විට සිහිය විකල් කර ගැනීම තණ්හාව ය.

තණ්හාව කලින් කී ලෙස අර්ථකථනය කරනු ලබන්නේ හීනයාන බුද්ධාගම පවතින රටවල ය. දෙවනුව කී ලෙස අර්ථ දක්වන්නේ මහායාන බුද්ධාගම ඇති රටවල ය. හීනයාන බුද්ධාගම පවතින රටවල අඩු දියුණුවත් මහායාන බුද්ධාගම පවතින රටවල දක්නට ලැබෙන සීඝ්‍ර දියුණුවත් කියා පාන්නේ මේ වෙනසේ බලපෑම ය.

ලාභය වෙනුවෙන් මිනිසුන්ට හානි පමුණුවන ව්‍යාපාරිකයෙකු වීම නම් ආගමට පටහැනි ය. එහෙත් එසේ නොකරන ශිෂ්ඨ සම්පන්න ව්‍යාපාරිකයන් කරන්නේ අතිශය වැදගත් සේවයකි. අප විසින් අගය කළ යුතු සේවයකි. ඒ සේවය නොලැබුණොත් බොහෝ දෙනෙකුට ලැබෙන විපාක දරුණු වීමට ඉඩ තිබේ.

ව්‍යාපාරිකයන් වැඩ වර්ජනය කළොත් රැකියා කරන අය වැඩවර්ජනය කළාට වඩා හපන් ය. සූරා කනවා යැයි කියන මුදලාලි තම කඩය වසා දැම්මොත් අපට සිදු වන්නේ කුමක් ද කියා බොහෝ දෙනාට සිතී නැත. ඔවුන් සළසන සේවය අපේ අගැයීමට ලක් වී නැත. ඒ සඳහා ඔවුන්ට කිරීමට සිදු ව ඇති කැපකිරීම් කවරේදැයි අප සිතා මතා නැත.

නිත්‍ය වේතනයක් ලැබීමට කැමති බොහෝ අය වෙනුවෙන් රැකියා උත්පාදනය කරන්නේ ඔවුන් ය. ඒ සඳහා බොහෝ අය නොගන්නා අවදානම් ගන්නේ ඔවුන් ය.

ඇත්තටම තණ්හාව තියෙන්නේ තමන්ගේ වස්තුව ගොඩ ගසා ගෙන ඉන්නා අයට ද එසේත් නැතිනම් එය යම් සේවයක් ලබා දීම සඳහා යෙදවීම මගින් අවදානමක් ගන්නා අයට ද යන්න අප නැවත නැවතත් විමසිය යුතු ය.

ආයෝජකයන් කරන්නේ කුමක්ද?

සිව්වැන්න එනම් සමාජවාදීන් කියන පරිදි සූරාකෑමක් වන්නේ ද? ලාභය යනු සූරාකන ප්‍රමාණය ද? මෙය ද විමසිය යුතු ය. ලාභයෙන් කොටසක් ආයෝජනය කරන්නාගේ පරිභෝජනය සඳහා වැය වන බව ඇත්ත ය. එහෙත් වඩා විශාල කොටසක් වැය වන්නේ ව්‍යාපාරය තරඟකාරිත්වය තුළ ඉදිරියට ගෙන යෑමට හෝ රඳවා ගැනීමට ය. වඩා ඵලදායී කිරීමට ය. ඒ තුළින් වඩා ලාභයටත් පහසුවටත් තම සේවය හෝ භාණ්ඩය ලබා දීම පිණිස ය. එපමණක් නොවේ. දක්ෂ සේවකයින් රඳවා ගැනීම වෙනුවෙන් ඔවුන්ට වැඩි ප්‍රතිලාභයක් හිමි කර දෙන්නට ය. තරඟකාරිත්වය තුළ ඉදිරියට යෑම හෝ රැඳී සිටිම තීරණය වන්නේ ඒ ආයෝජනයන් මත බැවිනි. එයින් අදහස් කරන්නේ ලාභයේ කොටසක් බොහෝ විට සෙසු පාර්ශවයන්ට ද බෙදෙන බව ය. පාරිභෝගිකයන්ට පමණක් නොව සේවකයන්ට ද හිමි විය හැකි බව ය.

ඉදිරිය බලන ව්‍යාපාරිකයන් එසේ කරන බව ය. තෙැවන්න ආයෝජනය බිඳ වැටුනොත් ජීවත්වීම සඳහා කිසියම් ඉතිරියක් පවත්වා ගෙන යෑමට ය. සිව් වැන්න නවෝත්පාදනයට ය. අලුත් අත්හදා බැලීම් කිරීමට ය. මේ සියල්ල තමන් වෙනුවෙන් ද තමන්ගේ සේවා දායකයන් හා සේවකයන් වෙනුවෙන් ද කළ යුතු වැඩ ය. පරිභෝජනය සඳහා ඉහළ ප්‍රමාණයක් වැය කරතොත් ඉතිරි කාරණා සම්පූර්ණ කර ගැනීම අපහසු වෙයි. ඒ නිසා ම දක්ෂ ආයෝජකයෝ මේ සියල්ල තුලනය කර ගනිති.

එහෙම බැලුවහම ව්‍යාපාරිකයන් ගැන ඔවුන්ගේ ස්ථාවරත්වය ගැන සහ ඔවුන්ගේ ලාභය ගැන කියන කතා මුළුමණින් නිවැරදි නැත.

ව්‍යාපාරිකයන් යනු සමාජය ඉදිරියට මෙහෙයවන තීරණාත්මක ජන කොට්ඨාසයක් ලෙස, වැදගත් භූමිකාවක් රඟන මිනිසුන් පිරිසක් ලෙස, ශ්‍රී ලාංකීය ජන මනස තුළ නැවත ස්ථාන ගත කළ යුතු ය.දියුණු වූ බොහෝ රටවල ඒ දියුණුව පිටුපස සිටියේ ව්‍යාපාරිකයන් ය. දක්ෂ ව්‍යාපාරිකයින් ය. ආසියාවේ මෑතක දී ඉදිරියට පැමිණි බොහෝ රටවල උදාහරණ මගින් පෙන්වන්නේ එය ය. “සමාජවාදී“ චීනය පවා අලු ගසා නැගිටින්නේ එසේ ව්‍යාපාරිකයන්ට ඉඩ සළසා දීමෙන් පසු ය. එයින් අදහස් කරන්නේ ව්‍යාපාරිකයන් අතිශය අහිංසක පිරිසක් බව ද? නැත. අන් හැම කෙනෙක් මෙන්ම තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට, වැඩියෙන් බෙදා ගැනීමට, ඔවුන් ද කැමති ය.

එහෙත් එය පහසු නැත. එයට ප්‍රධාන හේතුව ඔවුනොවුන් අතර තියෙන තරඟය ය. වැඩි ලාභ ලැබීම උදෙසා සේවාව දුබල කරතොත් වෙන තරඟකරුවෙකුට පැරදෙන්නට ව්‍යාපාරිකයාට සිදු වෙයි. ඒ නිසා මුලින් ම ස්වයං නියාමනයක් දමා ගැනීමට ඔවුන්ට සිදු වේ.

අතුරු හේතු අතර ව්‍යාපාරිකයන්ගේ ක්‍රියාකාරිත්වය දෙස සූක්ෂම ඇස් යොමන ජනතාව හා මාධ්‍යය ද තිබේ. ඔවුන්ගෙන් ගැලවීම පහසු නැත. ඊටත් අමතරව පාරිභෝගික සේවා අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, පොලීසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාව, වැනි රජයේ නියාමන ආයතන ද තිබේ. ඒවායින් ගැලවී කටයුුතු කිරිම ද ලෙහෙසි නැත. මෙයින් පෙනෙන්නේ ස්වයං නියාමනයට අමතරව බාහිර නියාමනයකට ද ඔවුන් යටත් බව ය. ඒ නිසා මුළුමණින් ම නිදහසේ කොල්ල කෑම අසීරු බව ය.

ඔය කියන විදිහට වෙන්නේ නැති බව ය. මේ සියල්ල අභිබවන්නට ඇතැම් ව්‍යාපාරිකයන්ට පුළුවන. ඒ ඔවුන් සතුව ඇති මුදලේ බලය ද දේශපාලන බලය ද ඇතැම් විට සමාජ බලය ද භාවිතා කිරීම හරහා ය. ඇතැම් ව්‍යාපාර නැගීම පිටුපස ඇත්තේ අවදානමක් සහිත ආයෝජන නොව දේශපාලන බල පරාක්‍රමයේ ආරක්ෂාව ඇතුව කරන ලද කොල්ල කෑම් ය. එහෙත් හැම ව්‍යාපාරයක් ම ඒ ගොඩට තල්ලු කර දැමීම වැරදි ය.ජනතාව අවදියෙන් සිටින්නේ නම් මේ තත්වය යම් තාක් දුරකට පාලනය කිරීමට ඔවුන්ට හැකි ය. විශේෂයෙන් දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වන, මාධ්‍ය තරමක හෝ අපක්ෂපාත භූමිකාවක් රඟන, සිවිල් සංවිධාන ක්‍රියාකාරීව පවතින, ජනතාව දැනුවත් රටවල මේ තත්වය එක්තරා දුරකට කිසියම් පාලනයකට යටත් කර තිබේ.

එපමණක් නොවේ. ව්‍යාපාර ඇරඹීමට කැමැත්තෙන් සිටින ප්‍රජාවක් සිටින්නේ නම් දැනටමත් ක්‍රියාකාරීව සිටින ව්‍යාපාරිකයන්ට තරඟයක් දෙන්නට ඔවුන් ඉදිරිපත් වෙනු ඇත. එය සුපිරි ලාභ රේට්ටු දිගින් දිගට පවත්වා ගැනීම දුෂ්කර කර තිබේ. එය ද කොල්ලකෑම් එක්තරා දුරකට පාලනය කිරීමට හේතුවක් වේ. එහෙම ප්‍රජාවක් නැති, එහෙම ප්‍රජාවක් ඇති කිරීම අධෛර්මත් කරන, අප වැනි රටක කොල්ලකෑමට ඉඩ වැඩි ය. ඒ නිසා ම අපට වගකීමක් තිබේ. ව්‍යපාරිකයෙකු පිළිබඳව අපට පටවා ඇති මනස්ගාත වලින් නිදහස් වීම ය.

එසේ නිදහස් වීමට ජනතාවට ද අනුබල දීමට ය.පොදුවේ ව්‍යාපාරිකයන්ට තිබෙන අපේ විරුද්ධතාවය අප ඉවත් කර ගත යුතු ය. එය එල්ල කළ යුත්තේ දේශපාලන බල පරාක්‍රමය පතුරුවමින් මහජන දේපල හා අයිතීන් කොල්ලකෑමට ඉදිරිපත් වන ව්‍යාපාරිකයන්ට විරුද්ධව ය. අල්ලස හා දූෂණයේ යෙදෙමින් තමන්ට අයිති නැති දේ අත්පත් කර ගන්නට කැසකවන ව්‍යාපාරිකයන්ට එරෙහිව ය. තරඟයට ඉදිරිපත් වන සෙසු ව්‍යාපාරිකයන් මට්ටු කිරීමට බලය යොදවන ඒකාධිකාරී ව්‍යාපාරිකයන්ට එරෙහිව ය. ඔවුන් පිටුපස ඉන්නා දේශපාලනඥයන්ට එරෙහිව ය.

රජය විසින් කළ යුත්තේ ව්‍යාපාර කිරීම නොව ඒවා මැනවින් නියාමනය කිරීම ය. තරගකාරිත්වය සඳහා රජය කර ගෙන යන ව්‍යාපාර දිගින් දිගට කර ගෙන යෑම ගැටළුවක් නොවේ. එහෙත් රජය සතුව ඇති ඒකාධිකාරයන් ද තරගය සඳහා විවෘත කරමින් වඩා කාර්යක්ෂම ව්‍යාපාරිකයන්ට ඒ ක්ෂේත්‍රයට ඇතුළු වීමට ඉඩ හසර රජය විසින් සළසා දිය යුතු ය.

ඒකාධිකාරයේ බලය

මෑතකදී අත් දුටු ඛණිජ තෙල් අර්බුදයට එක් හේතුවක් නම් රජයට අමතරව ඒ තුළ සිටින්නේ තව එක් ව්‍යාපාරිකයෙක් පමණක් වීම ය. ඒ ව්‍යාපාරිකයාට ද ඇත්තේ 10% ක කොටසක් නිසා ප්‍රායෝගිකව එහි ඇත්තේ රජයේ ඒකාධිකාරයක් වීම ය. අනාගතයේ මෙවැනි ප්‍රශ්න ඇති නොවීම සඳහා ගත හැකි එක් සරල ක්‍රියාමාර්ගයක් නම් තවත් පාර්ශව කරුවෙකුට හෝ දෙදෙනෙකුට තරගයට පැමිණෙන්නට ඉඩ හසර සළසා දීම ය. ඉන්පසු ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය ස්වාධීන ආයතනයක් (ඛණිජ තෙල් සංස්ථාව නොවන රජයේ ආයතනයක්) මගින් නියාමනය කිරීම ය.

ඒකාධිකාරය පෞද්ගලික ද රජයේ ද යන්න අදාළ වන්නේ සුළු වශයෙනි. එවැන්නක් හැම විටම ඒ ක්ෂේත්‍රයේ දියුණුවට බාධාවක් වෙයි. දියුණු වන්නට, වෙනස් වන්නට, ආයතනයට වුවමනාවක් හෝ දිරිමත් වීමක් එවන් වටපිටාවක ඇතිවන්නේ නැත. ඒවා එහි අයිතිකරුවන්ගේ ලාභය පමණක්, ඔවුන්ගේ ඕනෑකම් පමණක්, බලන ආයතන බවට ඒ නිසා ම පත්වන්නේ ය. රජයේ ආයතන නම් ඒවා දේශපාලන හිතවතුන්ට රස්සා සහ ව්‍යාපාරික අවස්ථා දෙන, කොමිස් ගහන්නට අවස්ථාව සළසන, අල්ලසට යටවුනු ආයතන බවට පත්වන්නේ ය. පෞද්ගලික ආයතන නම් අයිතිකරුවන්ට සුපිරි ලාභ දෙන ආයතන බවට පත්වන්නේ ය.

ඒ නිසා ඒකාධිකාරයන් බිඳ දැමීමත් ඒවා ඇති වීම වැළැක්වීමත් රජයේ කාර්යය භාරයට අයත් ය. හොඳ ව්‍යාපාරික ප්‍රජාවක් ඇති කිරීමට හොඳ රජයක් ද අවශ්‍ය වන්නේ යැයි කියන්නේ ඒ නිසා ය. නීතියේ ආධිපත්‍ය තහවුරු කර ඇති පාරදෘෂ්‍ය ආණ්ඩුකරණයක්, යහපාලනයක්, රටකට අවශ්‍ය ඒ නිසා ය. අපක්ෂපාත නිර්භීත මාධ්‍ය සංස්කෘතියක් රටකට අවශ්‍ය ඒ නිසා ය. සජිවි සිවිල් සමාජයක් රටකට අවශ්‍ය ඒ නිසා ය.

අප කළ යුත්තේ ව්‍යාපාරිකයන්ට හෝ ව්‍යාපාරවලට පිටුපෑම නොවේ. ඒවා සාධාරණ ලෙස ක්‍රියාත්මක කරන වාතාවරණයක් රට තුළ ඇති කිරීම උදෙසා ක්‍රියාත්මක වීම ය. කොරහේ වතුරත් සමග දරුවා විසිකිරීම නොවේ. දරුවා සුරක්ෂිත කරගෙන අපිරිසුදු වතුර විසිකර දැමීම ය.

නිශාන්ත කමලදාස

නව අදහස දක්වන්න