‘5 සමත්’ හැමෝගෙම කතාවක් | දිනමිණ

‘5 සමත්’ හැමෝගෙම කතාවක්

සිවගුරුනාදන්

සිංහල සිනමා වංශ කතාවට අලුතින්ම එක්වන චිත්‍රපටය ළමා පර පුර වෙනුවෙන්ම නිෂ්පාදණය වූ චිත්‍රපටයකි. ‘ 5 සමත්’ යනුවෙන් නම්කර තිබෙන මෙම චිත්‍රපටය ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගෙ නවතම අධ්‍යක්ෂණයකි. කොළඹ රීගල් ඇතුළු සිනමාහල් රැසක මේ වන විට තිරගතවන ‘5 සමත්’ චිත්‍රපටය දරුවන්ට පාසල් නිවාඩු වාරයට පිදෙන තිළිණයක් වැනිය.

පසුගිය කාලයේ ළමා චිත්‍රපට රැසක් තිරගත වුවද ‘5 සමත්’ චිත්‍රපටය මඟින් දරුවන්ට ගෙන දෙන්නෙ වටිනා ආදර්ශයකි. කවදත් ප්‍රේක්ෂකයන්ට හොඳ දෙයක් ලබා දීමට කටයුතු කළ සිවගුරුනාදන් මෙවර පිදූ නිර්මාණය ඒ අතරින් විශිෂ්ට තැනක් හිමි කර ගනියි.

‘5 සමත්’ චිත්‍රපටය නිර්මාණය කිරී‍මේදී ඒ සඳහා පූර්ව ක්‍රියාකාරීත්වය වූ ආකාරයද සුන්දර එකක් විය. මෙම චිත්‍රපටයට මුල්ගල තැබුවේ මෙහි විධායක නිෂ්පාදක අනුරාධ බී රෑකඩය. ඔහුගේ මිත්‍රයෙක් වූ නිව් ඉම්පීරියල් ටෝකිස් අධිපතිතුමාට සිංහල චිත්‍රපටයක් කිරීමට අවශ්‍යතාවක් පැන නැඟුන අතර ඒ අදහස අනුරාධට යොමු කළේය. ඒ වන විටත් අලුත් චිත්‍රපටයක් කිරීමේ අදහස සිවගුරුනාදන්ගේ සිතේ තිබූ හෙයින් අනුරාධගේ යෝජනාව ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය ඇරඹුණි.

සිවගුරුනාදන් ව‍හා ඔහුගේ හිතවත් තිර රචකයකු වූ රසික සූරියආරච්චි ඇමතීය. ඒ වන විටත් රසික සන්තකයේ අලුත්ම චිත්‍රපට තනා තේමාවක් තිබූ අතර එය සිවගුරුනාදන් වෙත ඉදිරිපත් කළේය. ටික දිනකින් කතා තේමාවට කාගේත් කැමැත්ත ලැබුණ ‍හෙයින් ඒ සඳහා අවශ්‍ය පසුතල තෝරා ගැනීම සිදු කළහ. මේ සඳහා කිතුල්ගල ප්‍රදේශයේ ගන වනාන්තරයක් තෝරා ගැනීම ඔවුන්ගේ කාර්ය විය.

‘5 සමත්’ චිත්‍රපටය සඳහා අවශ්‍ය රංගන ශිල්පීන් හා ශිල්පිනියන් තෝරා ගැනීමේදී ඉතා දුෂ්කරතාවයකට පත්වූ සිවගුරුනාදන් ඒ සඳහා තමන්ගේ හිතවත් අයගේ සහයෝගයෙන් ඒ කටයුත්ත සිදු කර තිබේ.

චිත්‍රපට‍යේ ප්‍රධාන ළමා නළු චරිතය තේරීම ඉතා අසීරුම කටයුත්ත වී තිබුණ බව සිවගුරුනාදන් පැවසීය. ඒ කාර්ය ඉටු කරගැනීමට තිර රචක හා කතා රචක වූ රසික සූරවීරආරච්චි සමත් වූයේ අහම්බයෙන් ලැබුණ අවස්ථාවකිනි. මොරටුව ප්‍රදේශයේ කෙළිදෙලෙන් සිටි දඟකාර හැඩකාර පිරිමි දරුවකු ඔහුගේ නෙත ගැටී තිබුණේ හදිසියෙනි. රසික සිවගුරුනාදන් සමඟ ඒ දරුවාගේ මව්පියන්ගෙන් අවසරගෙන ‘5 සමත්’ හි ප්‍රධාන චරිතය වූ ‘සමත්’ගේ චරිතය සම්පූර්ණ කරගෙන ඇත. හේ නමින් අමිරු කෝරළගේ ය.

ළමා නළු නිළියන් තෝරා ගැනීමේදී රත්නා ලාලනි ගුරුතුමිය, සිවගුරුනාදන්ගේ මිතුරියක්වූ චන්ද්‍රිකා විශාල සහයක් දක්වා තිබේ. සතියක වැඩමුළුවක් පවත්වා දරුවන්ගේ දක්ෂතා හා ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීමටත් සිවගුරුනාදන් ක්‍රියා කළ අතර රත්නා ලාලනි ගුරුතුමිය වැඩමුළුව පවත්වා ඇත.

බොහෝ දුෂ්කරතා මධ්‍යයේ රූපගත කිරීම් සිදු කර ඇති ‘5 සමත්’ ළමා චිත්‍රපටයේ අපට සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙයි. ඒ අතර උද්දික ප්‍රේමරත්න, දිල්හානි අශෝකමාලා, ශ්‍යාම් ප්‍රනාන්දු, සේමිණි ඉද්දමල්ගොඩ, අයිරාංගනී සේරසිංහ, ගිරිරාජ් කෞෂල්‍ය, ප්‍රියන්ත සෙනෙවිරත්න, දයාදේව එදිරිසිංහ, මැල්කම් මචාඩෝ, සද්ධා මංගල සූරියබණ්ඩාර, මල්කාන්ති ජයසිංහ, ආශා එදිරිසිංහ, සරත් චන්ද්‍රසිරි සහ උපතිස්ස බාලසූරිය වෙති.

මෙම චිත්‍රපටය සඳහා හඳුන්වා‍දෙන ළමා නළු නිළියන් වශයෙන් අමිරු කෝරළගේ, ශාරාද් චන්දුම, සේජාන් හංසන තන්ත්‍රි මුදලි, කවිඳි කසුන්දරා, වගීෂා සල්ගාදු, ඔබාබින කාන්නර ගේ, කැපී පෙනෙති. මේ දරුවන්ගේ දක්ෂතා ‘5 සමත්’ චිත්‍රපටය සාර්ථකව නිර්මාණය කර ගැනීමට ඉවහල්වූ බව සිවගුරුනාදන්ගේ අදහස විය.

රංගන ශිල්පි ශිල්පිනියන්ට අමතරව ආනන්ද එස්. කපුගේ සහාය අධ්‍යක්ෂණයෙන් තුසිත අනුරාධ කැමරා අධ්‍යක්ෂණයෙන්, මනෝජ් වික්‍රමසිංහ කලා අධ්‍යක්ෂණයෙන්, රුචිර සංජීව වේෂ නිරූපණයෙන්, ශ්‍රී ලාල් වික්‍රමගේ, නිෂ්පාදන කළමනාකරණයෙන්, රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණයෙන් කපිල පූගලආරච්චි පසුබිම් සංගීත අධ්‍යක්ෂණයෙන්, බන්දුල නානායක්කාරවසම්, රසික සූරවීරආරච්චි, නන්දන වික්‍රමගේ ගී පද රචනයෙන්, ගී තනු හා ගීත සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ, මහේෂ් දෙනිපිටිය හා කපිල පූගලආරච්චිගෙන්, ධම්මික පතිරත්න නිෂ්චල ඡායාරූපයෙන්, රසික සූරවීරආරච්චි කතාව හා තිර රචනයෙන් අනුරාධ බී. රෑකඩ හා සුසිල් ජයසේකර විධායක නිෂ්පාදනයෙන් දායක වූ ‘5 සමත්’ හි අධ්‍යක්ෂණය ජය ප්‍රකාශ් සිවගුරුනාදන්ගෙනි.

කිතුල්ගල දුෂ්කර ගම්මානයක් මැද රූගැන්වූ මෙම චිතපටයේ කලා අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළ මනෝජ් වික්‍රමසිංහට සුවිශාල කාර්යභාරයක් කිරීමට සිදු වූ බව අධ්‍යක්ෂ සිවගුරුනාදන් පැවසීය. කුඩා තේ ඉඩමක් ඉවත්කර තනිකර වෙල්යායක් බවට පත් කළ ඔහු චිත්‍රපටය රූ ගැන්වීමට පෙර තිබූ පරිසරය කතා පිටපතට අනුව සකසා තිබේ. එලෙසම මෙම චිත්‍රපටයට සම්බන්ධ සියලු දෙනාම ඉතා දැඩි වෙහෙසක් හා කැපවීමකින් කටයුතු කළ අතර එනිසාම ‘5 සමත්’ චිත්‍රපටය සාර්ථකව නිමවා ගැනීමට හැකිවූ බව එහි අධ්‍යක්ෂ සිවගුරුනාදන්ගේ අදහසය.

ඒකාකාරී ළමා චිත්‍රපට තුළින් මිදී අලුත්ම ආරක කතා තේමාවක් වන ‘5 සමත්’ වර්තමාන සමාජයට ආදර්ශමත් එකක් වනු ඇත. උද්දික ‍ප්‍රේමරත්න සහ දිල්හානි ඒකනායක ඇතුළු අනිකුත් රංගන ශිල්පි, ශිල්පිනියන්ගේ තාත්වික රංගනය තුළින්, ‘5 සමත්’ චිත්‍රපටයට ගෙන දෙන ආලෝකය ප්‍රසංසනීය වේ. කලකට පසු සිංහල සිනමාවට එක් වූ හොඳ චිත්‍රපටයක් වශයෙන් ද හැඳින්විය හැකි ‘5 සමත්’ චිත්‍රපටය දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද කාලෝචිත බව අධ්‍යක්ෂ සිවගුරුනාදන්ගේ අදහසයි.

 

සටහන
නිශාන් මෙන්ඩිස්
ඡායාරූපය-සුදත් මලවීර

නව අදහස දක්වන්න