මඟ වැරැදුණ දා අලුත් පාරක් හැදුවා | දිනමිණ

මඟ වැරැදුණ දා අලුත් පාරක් හැදුවා

බුද්ධික ජයසිංහ

මඟ වැරැදුණ දා.. සමඟ ගායන ක්ෂේත්‍රයට පැමිණි බුද්ධික ජයසිංහ තම ගායන දිවිය පිළිබඳත් ඉදිරි කලා කටයුතු පිළිබඳත් දැක්වූ අදහස් කීපයකි මේ.

* ඔබ කණ්ඩායම් සංගීතයත් එක්ක ඉදිරියට එන්න උත්සාහ කරන තරුණ ගායකයෙක්, ඔබේ රසිකයන්ට ඔබ කවුද කියලා හඳුන්වා දෙමු නේද?

මම රිකිල්ලගස්කඩ ඩ්‍රීම්ස් සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදක ශිල්පියා. මගේ ගම හේවාහැට, ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ, රහතුන්ගොඩ මහා විද්‍යාලයෙන්, ඊට පස්සේ උසස් පෙළ කලා අංශයෙන් වැඩිදුර අධ්‍යාපනයට පොරමඩුල්ල ජාතික පාසලට ඇතුළත් වුණා. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ සංගීතයට තිබුණ උනන්දුව නිසා ගලහ බෙල්හුඩ් ආයතනයට ටික කාලයක් ගියා. ඊට පස්සේ මිතුරන් එක්ක එකතු වෙලා ඩ්‍රීම්ස් සංගීත කණ්ඩායම බිහි කළා.

* ඔබ ගායනා කරන ‘අප්පච්චි‘ ගීතය කොහොම ද නිර්මාණය වුණේ?

අපේ සංගීත කණ්ඩායම ටිකෙන් ටික දියුණු කරගෙන එනකොට, කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදන ශිල්පියා සේම ගායන ශිල්පියාගේ භූමිකාවත් කරන්න මට අවස්ථාව ලැබුණා. මගේ මිතුරන් මාව උනන්දු කළා ගීත නිර්මාණයටත්, ගායනයටත් කියන කාරණා දෙකටම. මටත් ලොකු ආශාවක් තිබුණා ගීතයක් ගායනා කරන්න. ඒ වගේම මගේ අප්පච්චි ගැන ගුණ ගායනයක් කරන්නත් හිතේ තිබුණා.

ඒ නිසා මම නිර්මාණය කළ පද රචනාවකට ම‘විසින්ම තනු නිර්මාණය කරලා ගායනා කළා. ඒ වෙනකොටත් මගේ අප්පච්චි අසාධ්‍ය වෙලා හිටියේ. ගීතය ගායනා කරලා එයාට අහන්න සැලැස්සුවාට පස්සේ අප්පච්චි ගොඩක් සතුටු වුණා. මට තියෙන ආත්මීය සුවය ඒක. ඒ නිසා මම මේ ගීතය වගේම තවත් ගීත නිර්මාණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. දැනට මගේ ආර්ථික හැකියාව දුර්වල නිසා මේ ගීත පටිගත කරන්න හැකියාවක් නෑ.

* මේ වන කොට ගීත ගායනය වෙනුවෙන් ඔබට හිමි වෙලා තියෙන්නේ මොනව ද?

මගෙ මතකෙ විදිහට 2003 වර්ෂයේ පමණ විට පොරමඩුල්ල ජාතික පාසලේ තිබුණා ජංගම සේවයක්. එහි දී මධ්‍යම පළාතේ ඩ්‍රම්ස් වාදන ශිල්පීන් 121ක් අතරින් පළමු තැන ගන්න මට හැකියාව ලැබුණා. ඊට පස්සේ සමෘද්ධි මහා සංගමයෙන් සංගීත කණ්ඩායමක් හැදුවා. ඒකට අවශ්‍ය උපකරණ එදා එස්.බී දිසානායක ඇමැතිවරයා අපිට දුන්නා. එතනින් පටන් ගත්ත ගමනේ, මට සමුපකාරයේ 95වැනි සංවත්සරයට මධ්‍යම පළාත් ගායන තරගකරුවන් අතරින් පළමු තැන හිමි කරගන්න මට හැකියාව ලැබුණා. ලංකාවෙන්ම ඒ තරගයෙන් තුන්වැනි තැන ලැබුණෙත් මට. ඊට පස්සේ මම ගායනා කළ ගීතය හිරු එෆ් එම් වැඩසටහනකට ගිහින් සජීවීව ගායනා කළා. ඒ ගීතය ඕනෑම කෙනෙකුට යූ ටියුබ් (අප්පච්චී බුද්ධික ජයසිංහ) ජාලයට ගිහින් අහන්න පුළුවන්.

* ඔබ ප්‍රදේශයෙන් මේ ක්ෂේත්‍රයට පිවිසෙන්න තියෙන හැකියාව ගැන මොනව ද කියන්න තියෙන්නේ?

මට නම් පේන්නේ, මේ පැත්තෙන් ඒ තරම් ඉස්සරහට යන්න, අත දෙන්න කවුරුත් ගම් පළාත්වල නෑ. හැම පහසුකමක්ම තියෙන්නේ කොළඹ. මගේ ගීතය පටිගත කරලා රසිකයන්ට අහන්න සලස්වන්න තරම් ආර්ථිකයක් අපිට නෑ. ඒ වගේම ඒ සඳහා අනුග්‍රහයක් දක්වන්නත් මේ පැත්තෙ කවුරුත් නෑ. ඒකෙන් පෙනෙන්නේ දුෂ්කර පළාත්වල ඉන්න හොඳ හැකියාවක් තියෙන කලාකරුවන්ට ඉදිරියට එන්න හැකියාවක් නෑ කියලයි. කවුරු හරි අපිට අත දෙන්න ඉදිරිපත් වෙනවා නම්, අපේ හෙළ සංස්කෘතියට ගැලපෙන හොඳ නිර්මාණ කරන්න අපට පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. රැල්ලට නොගොස් අතීතයේ තිබුණ අර්ථවත් ගේය පද නිර්මාණය කරලා රසික සිත් සතන් පිනවන්න අපට පුළුවන්. කොහොම හරි මේ ක්ෂේත්‍රයේ ඉදිරියට එන්න හොඳ නිර්මාණ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

* ඔබේ දක්ෂතාවය හඳුනාගෙන ඉදිරියට එන්න උනන්දු කරන්නේ, උදව් කරන්නේ කවුද?

මම දැනට සේවය කරන්නේ රිකිල්ලගස්කඩ ග්‍රාමීය බැංකුවේ. එහි සභාපතිවරයා රංජිත් රත්නායක මහත්තයා මට සෑහෙන්න උදව් කරනවා. ඒ වගේම තමයි උප සභාපතිතුමා. එතුමත් මේ කලා කටයුතුවලට සහයෝගය දෙනවා. සමුපකාර ඉතිහාසයේ කලා අංශයෙන් රිකිල්ලගස්කඩට සම්මානයක් අරන් දුන්නේ පළවෙනි වතාවට. ඒ වගේම තමයි මගේ මිතුරන්, ඔවුනුත් නොසෑහෙන් න මාව ධෛර්යමත් කරනවා. මගේ ගෙදර සාමාජිකයන් කොපමණ දුෂ්කරතා තිබුණත්, මාව ධෛර්යමත් කරනවා. ඒ නිසා මම කොහොම හරි මේ දුෂ්කරතා මැඩගෙන හැකියාවෙන් උපරිම දෙයක් කරන්න උත්සාහ කරනවා.

* ඔබ වගේ යොවුන් ගායන ශිල්පීන්ට මුහුණ දෙන්න සිදුවන අභියෝග මොනවා ද?

මේ ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්න ටිකක් අමාරුයි. කැපිලි කෙටිලි වැඩියි. ඒ වගේම තමයි හැම දේටම මුදල් ඉස්සරහට දාගෙන තමයි අද සමාජය වැඩ කරන්නේ. එතකොට අපි වගේ අයට එන්න ටිකක් අමාරුයි. ඇත්ත දක්ෂතා තියෙන ගොඩක් අය ගම්වල ඉන්නවා. කොහොම නමුත් මම මේ සියලු බාධක මැඩගෙන ඉස්සරහට යන්න උත්සාහ කරනවා.

 

සංවාද සටහන
දුමින්ද අලුත්ගෙදර 

නව අදහස දක්වන්න