ශ්‍රී ලංකා සුපර් සීරිස් සම්මාන රාත්‍රිය 2017 | දිනමිණ

ශ්‍රී ලංකා සුපර් සීරිස් සම්මාන රාත්‍රිය 2017

ගීෂා මුණසිංහ
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අතින් අශාන් සිල්වා සහ ඉසාන් දසනායක සම්මාන ලබාගත් අයුරු. ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමයේ සභාපති නිසාන් වාසලතන්ත්‍රී සහ භාණ්ඩාගාරික පුබුදු වික්‍රම මහත්වරුද මෙහි වෙති. ඡායාරූප - ගීෂා මුණසිංහ

අශාන්ට ‘පිකැන්ටෝ’
ඉෂාන්ට ‘හොනට්’

තරගාවලි 6කින් සමන්විතව මේ වසරේ පැවැති ශ්‍රී ලංකා සුපර් සීරිස් මෝටර් රථ සහ යතුරුපැදි තරගමාලාවේ සමස්ත ලකුණු සටහනේ පෙරමුණ ගත් අෂාන් සිල්වා දක්ෂතම මෝටර් රථ ධාවකයා ලෙසත්, ඉෂාන් දසනායක දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙසත් සම්මාන දිනාගැනීමට සමත්වූහ.

ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (SLARDAR), ආසියානු මෝටර් රථ ධාවයන්ගේ ක්‍රීඩා සමාජය (AMRC) එක්ව අබේ සහ සමාගමේ පූර්ණ අනුග්‍රහකත්වය යටතේ පසුගියදා රත්මලාන ඊගල් ලේක් සයිඩ් උත්සව ශාලාවේ පැවැති මේ සම්මාන උළෙලේ දක්ෂතම ධාවකයා ලෙස අෂාන් සිල්වා ‘කීයා’ මෝටර්ස් (ලංකා) මෝටර් රථ ආයතනය හා විෂන් කෙයා ආයතනය එක්ව පිරිනැමූ ‘කියා පිකැන්ටෝ’ මෝටර් රථය හා කුසලානය හිමිකරගත් අතර දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස ඉෂාන් දසනායක ස්ටැෆඩ් මෝටර්ස් ආයතනය පිරිනමන ලද ‘හොන්ඩා හොනට්’ යතුරුපදියේ හා කුසලානයේ හිමිකාරයා බවට පත්විය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ සහභාගීත්වයෙන් පැවැති මේ සම්මාන රාත්‍රීය ආරම්භ කරමින් මෙරට මෝටර් රථ ක්‍රීඩාව ජාත්‍යන්තරය වෙත ඔසවා තබමින් මෝටර් රථ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් හා තරග කරුවන්ගේ ආත්ම තෘප්තිය හා මානසික මට්ටම ඉහලට රැගෙන ඒමට කටයුතු කළ ජාත්‍යන්තර ජයග්‍රහන රැසක් දිනා සිටින ඩිලන්ත මාලගමුවටත්, වසර කිහිපයක් ආසියානු යතුරුපැදි තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර තරගාවලි ගණනාවක් නියෝජනය කරමින් මෙරටට රැගෙන ආ ජයග්‍රහණත්, කීර්තියත් උදෙසා ඒරන් ගුණවර්ධන හා ජේඩින් ගුණවර්ධන දෙසොයුරන්ටත් උපහාර තිළිණ ප්‍රදානය රුවන් විජේවර්ධන මහතා අතින් සිදුකිරීම විශේෂත්වයක් විය.

මීට අමතරව ලොව ප්‍රමුඛතම මෝටර් රැලි ධාවකයකු ලෙස ජයග්‍රහණ රැසකට හිමිකම් කියමින් සිටින ජපන් ජාතික මෝටර් රථ ධාවන ශූර ෆූමියෝ නුටාහාරා මෙරට මෝටර් රථ ධාවකයන් පුරුදු පුහුණු කරමින් සිදුකරන්නා වූ විශිෂ්ට මෙහෙවර උදෙසා උපහාර තිළිණ ප්‍රදානය ද සිදුවිය.

කටුකරුන්ද මාණ්ඩලික ධාවන තරගාවලිය, ‍ෆොක්ස්හීල් සුපර්ක්‍රොස්, කළම්බෝ සුපර්ක්‍රොස්, කැවරලි සුපර්ක්‍රොස්, කමාන්ඩෝ චැලේන්ජ් හා පන්නල දිවා රාත්‍රී තරග යන තරගාවලිවලින් සමන්විත වූ ‘ශ්‍රී ලංකා සුපර් සීරීස්’ තරග මාලාවේ ප්‍රධානතම තරග ඉසව් වලට අමතරව පැවැති සහායක තරග ඉසව් වෙනුවෙන් ශුරතා කුසලාන පිරිනැමූ අතර ඔහුන්ගේ කාර්මික ශිල්පීන්ද අගයමින් සම්මාන ප්‍රදානයත් එදින සිදුවිය.

“ශ්‍රී ලංකා සුපර් සීරීස්” මෝටර් රථ හා යතුරුපැදි තරග මාලාවේ සහයක තරග ඉසව් වන ‘ජේ.’ කාණ්ඩයේ එම්.එක්ස්. 65 – 85 සී.සී.(2ටී.)/ 150සී.සී. (4ටී.) 16 පහළ තරග ඉසව්වෙන් භානුක රත්නායක, එස්.එල්./එන්. ෆොඩ් ලේසර් මැස්ඩා 1300 සී.සී. තරග ඉසව්වෙන් කුෂාන් පීරිස්, එස්.එල්./ඊ. නිසාන් මාච් 1000 සී.සී. තරග ඉසව්වෙන් සප්නා විරසේකර, එස්.එල්./එන්. ෆොඩ් ලේසර් මැස්ඩා 1500 සී.සී. තරග ඉසව්වෙන් තරීඳු ධර්මරත්න, එස්.එල්./එස්. 1500 සී.සී. මෝටර් රථ තරග ඉසව්වෙන් ගිහාන් ධීරසේකර, එස්.එල්./එච්. 1600 සී.සී. මෝටර් රත තරග ඉසව්වෙන් සකීර් වහාබ්, එස්.එල්./එෆ්. ෆෝම්යුලා ඊ.එෆ්. අයි. 1300 සී.සී. තරග මෝටර් රථ ඉසව්වෙන් ඈන්ඩෘ චොක්සී, එස්.එම්. සුපර් මෝටාඩ් වීවෘත යතුරුපැදි ඉසව්වෙන් ඉමල් මංචනායක හා ‘එම්.’ කාණ්ඩයේ නවීකරණය කරන ලද 250 සී.සී. (4ටී.) යතුරුපැදි තරග ඉසව්වෙන් ප්‍රමුඛ සේසත් මෙහිදී ශූරතා කුසලාන දිනාගත්හ.

කණ්ඩායම් ශූරතාව සියැට් කණ්ඩායම නියෝජනය කළ උෂාන් පෙරේරා හා මල්ලිකකුරුවිටආරච්චි දිනාගත් අතර එක් එක් තරග කරුවන්ගේ කාර්මික ශීල්පීන් ලෙස ප්‍රවීණ යතුරුපැදි ධාවන හරේන් යටවක, ප්‍රවීණ මෝටර් රථ රියදුරු නදීර ජිනසේන, ටී.බී.නිහාල්, සිතුන දුලාජ්, දයාල් ගුණතුංග හා රන්දික නිරෝෂන් සම්මානයට පාත්‍රවූහ. අශාන් සිල්වාගේ ප්‍රධාන කාර්මික ශීල්පියා ලෙස ජපන් ජාතික ඔසාකා හා ඉෂාන් දසනායකගේ ටි.වී.එස්. කාර්මික ශීල්පී ඉන්දියන් ජාතික චන්ද්‍රකුමාරන් ද සම්මානයෙන් පිදුම් ලැබූහ.

ඩිලන්ත මාලගමුව මේ දින වල පැවැත්වෙන තරගාවලියට සහභාගී වෙමින් සිටින බැවින් සම්මාන උළෙලට සහභාගී නොවූ අතර ජේඩින් ගුණවර්ධන ද ඉන්දියාවේ පැවැත්වෙන ආසියානු තරගාවලියට එක්ව සිටින නිසා සම්මාන උළෙලට සහභාගී නොවීය.

ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමයේ ( SLARDAR) සභාපති ප්‍රවීන මෝටර් රථ ධාවක නිසාන් වාසලතන්ත්‍රී සහ ආසියානු මෝටර් රථ ධාවයන්ගේ ක්‍රීඩා සමාජයේ (AMRC) සභාපති ප්‍රවිණ මෝටර් රථ ධාවන දිනේෂ් ජයවර්ධන යන මහත්වරුන් මෙන්ම මෙරට මෝටර් රථ ක්‍රීඩාවේ නියැලෙන ප්‍රවීණයෝ රැසක් සම්මාන රාත්‍රියට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න