විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය ඉ- ස්වාභිමානී සම්මානයෙන් පිදුම් ලබයි | දිනමිණ

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය ඉ- ස්වාභිමානී සම්මානයෙන් පිදුම් ලබයි

මහින්ද අලුත්ගෙදර
7වැනි ඉ-ස්වාභිමානී සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ ගලදාරී හෝටලයේ දී පසුගිය දා පැවැති අතර එහිදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයට හිමිවූ ඉ- ස්වාභිමානී සම්මානය කොන්සියුලර් කටයුතු අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ජනරාල් එස්. එස්. ගනේගමආරච්චි මහතා විසින් හිමිකර ගත් අයුරු.

මහජනතාව වෙත ලබාදෙන විශිෂ්ට සේවය අගය කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය ඉ- ස්වාභිමානී සම්මානයෙන් පිදුම් ලබයි.

කොළඹ ගලදාරි හෝටලයේ පැවැති 7වැනි ඉ-ස්වාභිමානී සම්මාන ප්‍රදානෝත්සවයේ දී විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු (ප්‍රදූත) අංශය "රජය සහ පුරවැසියන් සම්බන්ධ කරගැනීම" යන ප්‍රවර්ගය යටතේ සම්මානයකින් පිදුම් ලබා තිබෙන අතර කොන්සියුලර් සේවාවන් ලබාදීමේ දී පුරවැසියන් සම්බන්ධ කරගැනීමේ කාර්ය අනුකූලනය කරමින්, නව්‍ය ඩිජිටල් විසඳුම් මහජනයා වෙත ලබාදීම පිණිස අන්තර්ජාලය ඔස්සේ ලේඛන සත්‍යාපනය කිරීමේ ක්‍රමය හඳුන්වාදීම අගයමින් කොන්සියුලර් සේවා අංශයට මේ සම්මානය පිරිනැමූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

අන්තර්ජාලය ඔස්සේ ලේඛන සත්‍යාපනය කිරීමේ ක්‍රමය දෛනිකව පුද්ගලයන් 450කට අධික පුද්ගලයන් පිරිසකට කාර්යක්ෂම සේවාවක් සැපයීමට ඉවහල් වී ඇති අතර, එලෙස සත්‍යාපනය කරගත යුතු එක් ලේඛනයක් වෙනුවෙන් බලා හිඳීමට සිදුවන කාලය උපරිම වශයෙන් පැයකට සීමා කිරීමට සමත්ව ඇත. පැරණි ක්‍රමය යටතේ එක් ලේඛනයක් සත්‍යාපනය කිරීම වෙනුවෙන් පමණක් අවම වශයෙන් පැය හතරක කාලයක් ගතවූ අතර අන්තර්ජාලය ඔස්සේ ලේඛන සත්‍යාපනය කිරීමේ ක්‍රමය, ලේඛන සත්‍යාපනය කිරීමට ගතවන කාලය විශාල ලෙස අඩුකර කොන්සියුලර් සේවාවන් ලබාගැනීමට පැමිණෙන මහජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි සේවාවක් ලබාදීමට උපකාරී වී තිබේ.

කොන්සියුලර් කටයුතු අංශය, මහජනතාවට ලබාදෙන සේවාවන් වැඩිදියුණු කර අනුකූලනය කිරීමේ මං අඛණ්ඩව සොයා බලන අතර අන්තර්ජාලය ඔස්සේ ලේඛන සත්‍යාපනය කිරීමේ ක්‍රමය, 2017 පෙබරවාරි 06 වැනිදා එය ආරම්භ කළ තැන් සිට මේ දක්වා ලේඛන 250,000 කට අධික සංඛ්‍යාවක් සත්‍යාපනය කර තිබේ. ලේඛන සත්‍යාපනය කිරීමට ගතවන කාලය අඩුවීම මඟින් පැය 750,000 ක පමණ (එක් ලේඛනයක් සත්‍යාපනය කිරීම වෙනුවෙන් ඉතිරි කරගත් පැය තුනක කාලය ලේඛන 250,000 න් වැඩි කිරීමෙන්) සමස්ත කාල වේලාවක් මේ හරහා දැනට ඉතිරි කරගැනීමට සමත්ව ඇති බවට ගණන් බලා ඇත.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන ආයතනය විසින් ඉ-ස්වාභිමානී සම්මාන ප්‍රදානෝත්සවය ආරම්භ කරන ලද්දේ 2009 වසරේ දී වන අතර මහජනයාගේ සැබෑ වුවමනාවන් සඳහා විසැඳුම් ලබාදීම අරබයා නිශ්චිත වශයෙන්ම සමාජ බලපෑම් සිදුකළ හැකි ඩිජිටල් යෙදවුම් නිර්මාණය කිරීමේ විශිෂ්ටතාව හඳුනාගැනීම එහි අරමුණ වූ බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි. මේ වසරේ ඉ-ස්වාභිමානී සම්මාන ප්‍රදානෝත්සවය සඳහා අයැදුම්පත් 205 ක් ඉදිරිපත් කෙරුණු අතර, රජය හා පුරවැසියන් සම්බන්ධ කරගැනීම ද ඇතුළුව අංශ 9 ක් ඔස්සේ ඒවා භාර ගැනිණි.

මේ ඉ-ස්වාභිමානී සම්මානය කොන්සියුලර් කටයුතු අංශය විසින් පසුගිය මාස කිහිපය තුළ දිනාගනු ලැබූ සිව්වැනි සම්මානය වෙයි. රාජ්‍ය අංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ විශිෂ්ටතා සම්මානය, 19 වැනි ජාතික තොරතුරු හා සන්නිවේදන විශිෂ්ටතා තාක්ෂණ සම්මාන ප්‍රදානෝත්සවයේ රාජ්‍ය අංශය සඳහා ප්‍රදානය කෙරෙන ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ විශිෂ්ටතා රන් සම්මානය, සහ ඩිජිටල් රාජ්‍ය වෙනුවෙන් පිරිනැමෙන ඇසෝෂියෝ සම්මානය මීට පෙර කොන්සියුලර් කටයුතු අංශය විසින් දිනාගෙන තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් ග්‍රේස් ආශිර්වාදම් මහත්මිය, කොන්සියුලර් කටයුතු අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ජනරාල් එස්. එස්. ගනේගමආරච්චි මහතා සහ එම අංශයේ නිලධාරීහූ අැතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

නව අදහස දක්වන්න